Print this Article


උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර

උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර

ගාල්ල, උඩුගම, ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයේ රෝපිත ඉන්දියාවේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛා බෝධීන් වහන්සේට උපහාර පූජා පිණිස 33 වන වරටත් පැවැත්වෙන උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර ජනවාරි 26 වන දින රාත්‍රී 07.00 ට උඩුගම නගරයේ වීථි සංචාරය කෙරේ.

උඩුගම ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානය විසි වැනි සියවසේ ලංකාවාසී බොහෝ දෙනාගේ ගෞරවාදරයට පත් වූ අතර ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරගත් බෞද්ධ සිද්ධස්ථානයකි. විහාරාධිපතිව වැඩ සිටි නෙළුවේ ශ්‍රී ගුණානන්ද නා හිමිපාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ සිදුකෙරුණු ජාතික, ආගමික, සාමාජික, ආර්ථික සහ සංස්කෘතික සේවාවන් අසීමිත ය. ගුණානන්ද නායක හාමුදුරුවෝ නෙළුව නම් ගමෙහි ඉපිද ගැමි සිරිය අත්විඳිමින් කුඩා කල දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් සමඟ කල් ගෙවූහ. අනතුරුව පැවිදි භූමියට ඇතුළත් වීමෙන් පසු පිරිවෙන් අධ්‍යාපනය මගින් සිංහල, පාලි, සංස්කෘත භාෂාත්‍රය මෙන්ම ත්‍රිපිටක ධර්මය මනාව හැදෑරූහ. නා හිමියෝ තරුණ වයසේදිම ජනතා ගෞරවයටත් ,රාජ්‍ය ගෞරවයටත් පාත්‍ර වූහ. උන්වහන්සේගෙන් රටටත්, ජාතියටත්, ශාසනයටත්, සිදුවන උදාර සේවාව දුටු ස්‍යාමෝපාලි වංශික සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයෙන් ගාලු පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරයට පත් කළහ. උන්වහන්සේ ලෝක බෞද්ධ සාම මහා සංඝ සම්මේලනයේ සභාපති වශයෙන් ද කටයුතු කළහ. විහාරස්ථානයෙහි අඩුපාඩුවක් ලෙස පැවති බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ යුතුයැයි සිතූ නා හිමියන් එම බෝධින් වහන්සේ ඉන්දියාවේ බුද්ධගයාවේ වැඩ සිටින බෝධින්වහන්සේගේ අංකුරයක් විය යුතු යැයි සිතා ඒ සඳහා අපමණ වෙහෙසක් දැරූහ.

ඒ වන විට ඉන්දීය මහා බෝධි සමාගමේ ප්‍රධාන සභාපතිව සිටියේ නෙළුවේ ශ්‍රී ජිනරතන නා හිමියන් ය.

ගුණානන්ද නා හිමියෝ සිය අදහස වූ බුද්ධගයාවේ ඇති ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් සිය විහාරස්ථානයට වැඩමවා ගැනීමට අවශ්‍ය බව දැන්වූහ. ඉන්දීය රජයේ ගෞරවාදරයට පාත්‍රව සිටි නෙළුවේ ශ්‍රී ජිනරතන නායක ස්වාමීන් වහන්සේ ඉහත සඳහන් අදහස එවකට ඉන්දීය අග්‍රාමාත්‍යවරිය ලෙස සිටි ඉන්දිරා ගාන්ධි මැතිනියට දැන්වීමෙන් පසු ඒ අවශ්‍ය පහසුකම් ඉන්දීය රජය විසින් ලබාදෙන ලදී. එවකට ලංකාවෙහි අග්‍රාමාත්‍යවරිය වූයේ සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මැතිනියයි. එතුමිය සමඟ ඉතා කුළුපග ඇසුරක් තිබූ නෙළුවේ ශ්‍රී ගුණානන්ද නා හිමියන් සිය අදහස අග්‍රාමාත්‍යවරියට දැන්වීමෙන් පසු ලංකාවෙහි ද ඒ සඳහා පහසුකම් ලංකා රජය විසින් සපයන ලදී. 1976 ගුවන් මඟින් බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් මෙරටට වැඩමවන ලදී. ගුවන් තොටේදී උපරිම රාජ්‍ය ගෞරවය ලැබුණු අතර, පිළිගනු ලැබුයේ එවකට ජනාධිපතිව සිටි ශ්‍රීමත් විලියම් ගොපල්ලව මැතිඳුන් විසිනි. එසේ වැඩමවූ බෝධි ශාඛාව රිය පෙරහරකින් උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම විහාරස්ථානයට වැඩම කළහ. එම බෝධීන් වහන්සේ 1976 ජූලි මස 11 දින රෝපණය කරන ලදී.

එම ඓතිහාසික සිදුවීම සිහිකරලීම වස් ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයෙහි රෝපණය කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජෝපහාර වශයෙන් අලංකාර පෙරහරක් වාර්ෂිකව පවත්වනු ලැබේ.

33 වන වරටත් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මෙම පෙරහර ජනවාරි 26 වන දින රාත්‍රී 07.00 සුවිශේෂ පූජාවෙන් හා කෙටි දහම් හමුවෙන් අනතුරුව වීදි සංචාරය කෙරේ. 28 දින දක්වා විහාරස්ථානයේ රෝපණය කොට ඇති බෝධින් වහන්සේ අභියස දී දින පතා තේවාව සහිතව පූජාවන් පැවැත්වේ.