Print this Article


පූජාච පූජනියනං

ඇම්බැක්කේ උත්තරානන්ද නා හිමි

උඩුනුවර ඇම්බැක්කේ ඒ.එම්.උක්කුබණ්ඩා හා ඒ.එම්. බණ්ඩාර මැණිකේ දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස උපත ලද කුමරුවා උඩුනුවර රංගම විදුහලේ හත්වෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබී ය. 1959 ඔක්තෝබර් 30 දින තෙලබුගල විහාරාධිපති අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ නිකපිටියේ විමලවංශ නාහිමියන් වෙත සසුන්ගත කිරීම සඳහා භාරදෙන ලදී.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරි කහවන්දල පඤ්ඤාවංශ නාහිමිගේ අනුශාසනා පරිදි බණ දහම් ඉගෙන 1960 ජුනි 27 වන දින ඇම්බැක්කේ උත්තරානන්ද නමින් පැවිදි දිවියට ඇතුළත් විය.

උන්වහන්සේ නිකපිටියේ විමලවංශ, කහවන්දල පඤ්ඤාවංශ හා පිලපිටියේ ඥානවංශ යන ස්වාමීන් වහන්සේලාගේ ශිෂ්‍යයෙකු විය.

තෙලබුගල පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ ගුරුවරයෙකු වශයෙන් ද සේවය කළහ.

1966 ජූලි 22 දින උපසම්පදාව ලැබූහ. ධර්ම කථිකයෙකු වන උත්තරානන්ද හිමියන් උඩුනුවර මෙන්ම කන්ද උඩරට ප්‍රදේශයේ ජනතාව අතර මහත් ගෞරවාදරයට පත්වූ හිමි නමකි.

පේරාදෙණිය ශ්‍රී සරණංකර විවේකාශ්‍රමාධිපති වශයෙන් ද කටයුතු කරන අතර උඩුනුවර තෙලඹුගල නිග්‍රෝධඛෙත්තමන්තින්දාරාම මහ පිරිවෙනෙහි විශ්‍රාමලත් නියෝජ්‍ය පරිවෙණාධිපති ලෙස ද කටයුතු කර ඇත.

උන්වහන්සේගේ ශාසනික සේවය අගයමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නා හිමි ප්‍රමුඛ කාරක සංඝ සභා සම්මානයෙන් පිරිනමන ලද ශාසන කීර්ති ශ්‍රී ශාසන සෝභන සිරි අත්තදස්සි විමලවංශ වංශාලංකාර ගෞරව නාමය සහිත මහෝපාධ්‍ය තනතුර පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 2019 ජනවාරි 26 වන දින උඩුනුවර බඹරදෙණිය ශ්‍රී අග්‍රබෝධි විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත රාජකීය නාපාන පේමසිරි මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහ මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් එම උත්සවය සිදු කිරීමට නියමිතව තිබිණි.

උත්තරානන්ද නා හිමි උපහාර පිදීමේ උත්සවය 2019 ජනවාරි 27 දින මහවැලි මාවත, පේරාදෙණිය ශ්‍රී සරණංකර විවේකාශ්‍රම විහාරස්ථානයේ දී පැවැත්වේ.


තලගල සුමනරතන නා හිමි

රයිගම් – සල්පිටි දෙකෝරළයේ සහ පාණදුර තොටමුණේ අධිකරණ සංඝ නායක පදවිය හොබවන තලගල සුමනරතන නා හිමියෝ 2019 ජනවාරි 25 දින 71 වැනි ජන්ම දිනයට පා තැබූහ.

තලගල ගමේ ආරියපාල වෙත්තසිංහ හා උඩුවගේ චීටිං මෝනා යන මව්පියන් දෙපළගේ දරුවන් අතර හුරුබුහුටි මේ පුතු තලගල පාසලේ අකුරු කළේ ය. අපවත් වී වදාළ තලගල මංගලාරාමාධිපති, වීදියගොඩ ශ්‍රී පේමරතන උපාධ්‍යාය මාහිමියන්ගේ පා සෙවණේ ආසිරි ලබමින් වැඩසිටි සුමනරතන හිමියන් හොරණ විද්‍යාරත්න පිරිවෙනින් ඉගෙනුම ලබා විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලැබ අගනුවර ඩී.එස්. සේනානායක මහ විදුහලින් ද රජයේ මහ විදුහල් කීපයක ම පිරිවෙන්වල උගන්වා විභාග ප්‍රතිඵල අගැයීමේ කාර්යයේ ද නිරත විය.

තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ද, කඳුබොඩ ජාත්‍යන්තර සියනෑ විපස්සනා භාවනා මූලස්ථානයෙන් ද, භාවනා ප්‍රගුණත්වය ලැබී ය. පසුකල තායිලන්තයේ “වෝල් බුරි විවේක් අසම්” භාවනා මධ්‍යස්ථානයේ දී ද භාවනාව වැඩීමේ නිරත විය.

“තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම” නම් වූ බහුජන සංවිධානයේ නිර්මාතෘ වෙමින් තුඟුවිසල් – විපුල ප්‍රජා සත්කාරය තුළින් ළමා – යොවුන්, වැඩිහිටි, ආබාධිත, අසරණ හැමට සරණ විය. දහම් පාසල ඇතුළු තලගල ගමේ දියත් කළ ව්‍යාපෘති රැසකි. අනුරපුර මහාදාඨික මහානාග රජුගේ පූජාව අනුව යමින් ගිරිභණ්ඩ පූජාව තුළින් අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර, බදුල්ල, මොනරාගල, මාතලේ යන දුෂ්කර දිස්ත්‍රික්ක තුළ විහාරස්ථාන 1045 කට වටිනා ද්‍රව්‍ය පූජා කළ සේක. 160 කට අධික පිරිවෙන්වල පැවිදි ගිහි සිසුන් 5500 කට වැඩි පිරිසකට පොත් පරිත්‍යාග කෙරුණි. වැව් බැඳි රාජ්‍යයේ විහාරස්ථානවල බුද්ධ මන්දිර, සංඝාවාස, දානශාලා, ධර්මශාලා, බෝධිප්‍රාකාර , වැසිකිළි , නාන කාමර සාදවමින් විහාරස්ථාන 15 ක කඨින පූජෝත්සව උත්කර්ෂවත් ලෙස සිදු කළ ආදර්ශවත් ජනකාන්ත සංඝ නේතෘවරයෙක් වෙති. පැවිදි සිසුන් 40 කට වැඩියෙන් සසුනට දායාද කළ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක්ද වෙති.

තලගල මංගලාරමාය – සුවාරපොළ තපෝදාරාමය හා අනුරාධපුර සිරි සුගත යෝගාශ්‍රමයේ විහාරධිපති වෙමින් ද තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානය , ඔලබොඩුව ශී‍්‍ර ජයවර්ධනාරාමය, අවිස්සාවේල්ල සුමනගිරි ආරණ්‍ය සේනාසනය , වැලිමඩ උඩකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානය, මහියංගන වෙහෙරලාගල භාවනා මධ්‍යස්ථානය යන ආයතනයන්හි සම්මාන අධිපති වෙමින් ද ශාසනයේ සැබෑ මුර දේවතාවෙක් වන්නේ ය.

71 වැනි නා හිමි ජන්ම දිනය වෙනුවෙන් මෙවරද පින්කම් රැසක් සිදු කෙරේ.

නාහිමිපාණන් වහන්සේට සියවස් දිගාසිරි සුවසිරි ලැබේවා


මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ආරම්භ කොට 2019 ජනවාරි 26 වැනි දිනට වසර හතළිස් අටක් සම්පූර්ණ වේ. අඩ සියවසකට ආසන්න කාලයක් තම ජීවිතයේ කොටසක් මෙන් රැකගෙන හෙද සේවය විධිමත් කොට ගෞරවණීය ජනතා සේවයක් සිදු කිරීමට නායකත්වය සැපයූ මුරුත්තෙට්ටුවේ ආනන්ද මාහිමියන්ගේ හැත්තෑ හයවන ජන්ම දිනය සම්පූර්ණ වන්නේ එදිනට ය. ආනන්ද හිමියන් රෝගීව මහ රෝහලේ වැඩ සිටි දිනයක හෙද හෙදියන් උන්වහන්සේ වෙත තම දුක් ගැහැට, ප්‍රශ්න ප්‍රකාශ කළ අවස්ථාවේ ඔවුන්ගේ දුක, වේදනාව සුවපත් කිරීමට කළ අධිෂ්ඨානයෙහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ආරම්භ විය. එදා සිට මේ දක්වා එහි සභාපති පදවියට නිතරගයෙන් ම ආනන්ද හිමියන් තෝරා ගන්නේ හෙද හෙදියන්ගේ දහසකුත් එකක් වෘත්තීය ගැටලු විසඳා දීමේ දී උන්වහන්සේ ලබාදෙන නායකත්වය අගය කිරීමක් වශයෙනි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මුරුත්තෙට්ටුව නම් ග්‍රාමයෙහි ඒරත්න පතිරන්නැහැලාගේ ඒබ්‍රහම් සිංඤෝ උපාසක මහතාගේත්, අලුත්ගම රාළලාගේ පොඩි මැණිකේ උපාසිකා මාතාවගේත් පුත්‍ර රත්නයක් ලෙසට 1943 ජනවාරි මස 26 දා මෙලොව එළිය දකින ආනන්ද හාමුදුරුවන්ට සොයුරු සොයුරියන් හතර දෙනෙක් වූහ. වයස අවුරුදු නවය සම්පූර්ණ වන තෙක් මුරුත්තෙට්ටුව යෝගම විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා නාරාහේන්පිට අභයාරාමයේ වැඩ සිට අපවත් වී වදාළ පත් බේරියේ ධම්මාලෝක මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි ජීවිතය ආරම්භ කළ ආනන්ද හාමුදුරුවෝ 1958 ජූලි මස 07 වන දා කෝට්ටේ රජමහා විහාර සීමාමාලකයේ දී සුපරිශුද්ධෝප සම්පදාව ලබා ගත්තේ ය. නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරය කේන්ද්‍ර කරගෙන සිය ආගමික, ජාතික, සංස්කෘතික , සාමාජික, අධ්‍යාපනික සියලු කටයුතු දියත් කළහ. වර්තමානය වන විට නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ මහා විහාරය විහාරංගවලින් සම්පූර්ණ වූ පූජා භූමියකි. කොළඹ පිහිටා ඇති සම්භාවනීය විහාරස්ථානයකි. ප්‍රදේශවාසීන්ගේ ද සියලු ආගමික අවශ්‍යතා සම්පූර්ණ කරමින් සියලු දෙනා සමගම ආගම්, ජාති භේදයකින් තොරව කටයුතු කිරීමේ හැකියාවක් ඇත.

අනාගත හෙද පරපුරට ආලෝකයක් ලබා දුන් ආනන්ද හිමියන්ගේ ජාතික ආගමික ශාසනික සේවයට උපහාරයක් ලෙස සංඝ සභාවේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පුදනු ලැබීය. තම කාලය, ශ්‍රමය, බුද්ධිය, ධනය වැය කරමින් රට, දැය, සමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරනු ලබන අභීත සංඝ පීතෘ නමක් හැටියට මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන් හැඳින්විය හැකි ය. මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ හැත්තෑ හයවෙනි ජන්ම දිනය සිහිපත් කරන මේ අවස්ථාවේ දී උන්වහන්සේට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.


ගෝණදූවේ ගුණානන්ද නා හිමි

කළුතර දිස්ත්‍රික්කයේ ගෝණදූව ග්‍රාමයෙහි උපත ලැබූ නාහිමියන් වහන්සේගේ 76 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට ආශීර්වාද කිරීම් වස් පින්කම් රාශියක් කොරොස්දූව විහාරස්ථානයේ දී පැවැත්විණි.

තම ගුරු වෘත්තියෙන් ලැබෙන සියලු මුදල් වැය කරමින් එදා කුඩාවට පැවති විහාරස්ථානය සියලු විහාරාංගවලින් සමන්විත ප්‍රදේශයේ රමණීය ස්ථානයක් බවත් පත්කොට ජනතාවගේ ආගමික කටයුතු සඳහා සියලු කටයුතු සපුරා දීම උන්වහන්සේගේ ආගිමික සේවාවන් අතරින් එකකි. තව ද ප්‍රදේශයේ ජනතාවගේ ආගමික කටයුතු මැනවින් ඉටුකර දෙමින් සමස්ත රටවාසී දූ දරුවන්ගේ ආගමික ඤාණාභිවර්ධනය උදෙසා කැප වූ හිමිනමකි.

වත්මන් දහම් පාසල් අධ්‍යාපනය කාගෙත් අවධානයට පත්කොට එයට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරය හොබවමින් දහම් පාසල් අධ්‍යාපනය සඳහා අතිවිශාල සේවාවක් අවුරුදු 40 කට අධික කාලයක සිට සිදුකරනු ලබයි. එම සේවාවන් අතර දහම් පාසල් ගුරුවරුන්ට නිසි වරප්‍රසාද ලබා දීමට කටයුතු කිරීම, දහම් පාසල් දරුවන්ගේ පෙළපොත් ලබා දීමට කටයුතු සම්පාදනය කිරීම, දහම් පාසල් සඳහා භෞතික සම්පත් ලබාදීමට කටයුතු කිරීම, ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දහම් පාසල් අවසාන පරීක්ෂණය සහ ධර්මාචාර්ය පරීක්ෂණය සමතුන්ට නිසි ඇගයීමක් ලබා දීම ආදී කටයුතු දහම් පාසල් සේවාව අතුරින් ප්‍රමුඛත්වයක් ගනී.

අනාගතයෙහි තමන්ට ලැබෙන උසස්වීම් සභ ආර්ථික වටිනාකම් පිළිබඳව නොසලකා හරිමින් තම ශිෂ්‍යවරයන් වහන්සේලාගේ අධ්‍යාපනය සඳහා විහාරස්ථානයේ ආගමික කටයුතුවලින් ඒ හිමිවරුන් නිදහස් කිරීම පිණිස තම ගුරු වෘත්තිය පවා කැපකළ පීතෘවරයෙකි. උන්වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා මනා කැපවීමෙන් කටයුතු කළ උන්වහන්සේ ඔවුන්ගේ අනාගත දිවිය සාර්ථක කිරීම සඳහා මංපෙත් විවරකරමින් කටයුතු කරති.

ආර්ථික දුෂ්කරතාවන්ගෙන් යුතු දූ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය නංවාලීම උදෙසා ‘නිපොන්’ ජපන් ශිෂ්‍යත්ව වැඩසටහනෙහි කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරමින් තම සාමාජීය සේවාව තවදුරටත් ව්‍යාප්ත කළ නාහිමියන්ගේ එම සේවාව ඉතා අගය කළ යුත්තකි. දසක 06කට අධික කාලයක් පුරා ජාතික, ආගමික ආදී වශයෙන් අතිමහත් සේවාවක් සිදුකරන ගෝණදූවේ ගුණානන්ද නාහිමියන් සංඝ පීතෘන් වහන්සේ නමකි.