Print this Article


බෝසත් දරුවන්ට: බුදු හිමි සියැසින් දුටු දෙවිවරු

බුදු හිමි සියැසින් දුටු දෙවිවරු

පින්වත් දරුවනේ, අදත් අප කතා කරන්නේ සුගතිගාමී ලෝක පිළිබඳවයි. පසුගිය බුදුසරණ කලාපයෙන් දිව්‍ය ලෝක සතරක් ගැන කතා කළා මතකයි නේද? අද නිම්මානරතිය දිව්‍ය ලෝකය ගැන කතා කරමු.

නිම්මාන රතිය

තුසිත දිව්‍ය ලෝකයේ සිට යොදුන් හතළිස් දෙදහසක් දූරින් නිම්මානරතිය පිහිටා තිබෙන්නේ. පස්වැනි දිව්‍යලෝකය වන නිම්මානරතියෙහි අධිපති වන්නේ ‘සුනිම්මිත’ නම් දිව්‍ය රාජයා. මේ දිව්‍ය ලෝකයේ විශේෂත්වය වන්නේ මෙහි වාසය කරන දෙවිවරුන්ට තමන්ට කැමැති, කැමැති දේ, තමන් කැමැති, කැමැති පුද්ගලයන් මවාගෙන සැප විඳින්නට හැකියාව තිබීමයි. ‘නිම්මිත’ කීවේ නිර්මාණය කරනවා කියන එකයි. යමක් නිර්මාණය කරන්නට තිබෙන කැමැත්ත නිසා, ඒ කෙරෙහි පවතින ඇල්ම නිසා මේ ලෝකයට ‘නිම්මාන රතිය’ කියලා කියනවා. තමන්ට අවශ්‍ය ලෙසට නිර්මාණය කළ සම්පත්වලට, ඇලීමෙන් වාසය කරන නිසා ‘නිම්මාන රතිය’ කියනවා. මිනිස් ලෝකයෙහි අවුරුදු අටසියයක් නිම්මාන රතියෙහි එක දවසයි. එවිට සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ඒ දිව්‍ය ලෝකයට ගෙවී තිබෙන කාලය දිව්‍ය ලෝක ආයුෂවලින් දින තුනයි පැය කිහිපයයි.

පරනිම්මිත වසවර්තිය

දරුවනේ, හයවැනි දිව්‍ය ලෝකය ‘පරනිම්මිත වසවර්තිය’ යි නිම්මානරතිය දිව්‍ය ලෝකයෙහි සිට යොදුන් හතළිස් දෙදහසක් දුරින් මේ දිව්‍ය ලෝකය පිහිටා තිබෙනවා. මේ ලෝකයට අධිපති වන්නේ ‘වසවර්ති’ නම් දිව්‍ය පුත්‍රයායි. අනෙක් දිව්‍ය ලෝකයන්ට වඩා උපරිම සැප පවතින නිසා එයට පරනිම්මිත වසවර්තිය කියනවා. මෙහි දෙවිවරුන්ට තමන්ට කැමැති සැප සම්පත් මවා ගන්නට නොහැකියි. ඒ අය විඳින්නේ අනෙක් අය මවා දෙන සැප සම්පත්. අනුන් විසින් නිර්මාණය කරන ලද සැප සම්පත් විඳින නිසා පරනිම්මිත වසවර්තිය කියලා කියනවා. මනුෂ්‍ය ලෝකයේ වසර එක්දහස් හයසියයක් පරනිම්මිත වසවර්තියේ එක දිනයයි. ඒ අනුව බලනවිට බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වී පරනිම්මිත වසවර්තිය දිව්‍ය ලෝකයට ගෙවී තිබෙන කාලය වන්නේ එක් දිනක් සහ පැය කිහිපයක් පමණයි.

දිව්‍ය ලෝක ආයු කාලය හා මිනිස් ලොව ආයුෂවලින් එය කොපමණදැයි පහත සටහනින් අවබෝධ කර ගනිමු.

දරුවනේ, මෙම දිව්‍ය ලෝකයන්හි ආයුෂ ප්‍රමාණය මිනිස් ලෝකයට වඩා කොපමණ නම් වැඩිද? එක් දිනක් ගෙවීමට ගතවන කාලය මොන තරම්ද කියනවා නම්, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වී ඒ දිව්‍ය ලෝකයන්ට එක දවසයි. සමහර විට දින කිහිපයයි. ඒ විතරක් නොවෙයි. මේ දිව්‍ය ලෝකයන්හි ඇතැම් දෙවිවරු බුදුරජාණන් වහන්සේලා කිහිප නමක්ම සියැසින් දුටු බවටත් සාක්ෂි තිබෙනවා.

‘සමචිත්ත’ නම් සූත්‍රය ශ්‍රවණය කර සාධුකාර දුන් දෙවිවරුන්ගේ නම් අංගුත්තර නිකායේ අට්ඨකතාවල දැක්වෙනවා. ඒ කතාවන්හි සඳහන් වෙනවා. දෙවිවරුන් දෙතිසක් පිළිබඳව ඒ අය තමයි.

1. ආකාසට්ඨක දෙවිවරු

2. අබ්භවළාහක දෙවිවරු

3. උණ්හ වළාහක දෙවිවරු

4. සීත වළාහක දෙවිවරු

5. වැස්සවළාහක දෙවිවරු

6. චාතුම්මහාරාජික දෙවිවරු

7. සතර වරම් දෙවිවරු

8. තාවතිංසය දෙවිවරු

9. ශක්‍ර දෙවියෝ

10. යාමය දෙවිවරු

11. සුයාමය දෙවිවරු

12. තුසිත දෙවිවරු

13. සංතුසිත දෙවිවරු

14. නිම්මානරතීය දෙවිවරු

15. සුනිම්මිත දෙවිවරු

16. වසවර්ති දෙවිවරු

17. වසවර්ති දිව්‍ය රාජයා

18. බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්මයෝ

19. බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්මයෝ

20. මහා බ්‍රහ්ම බ්‍රහ්මයෝ

21. පරිත්තාභා බ්‍රහ්මයෝ

22. අප්පමාණ සුභා බ්‍රහ්මයෝ

23. අප්පමාණභ බ්‍රහ්මයෝ

24. සුභ කිණ්ණක බ්‍රහ්මයෝ

25. වේහප්ඵල බ්‍රහ්මයෝ

26. ආභස්සර බ්‍රහ්මයෝ

27. පරිත්තසුභ බ්‍රහ්මයෝ

28. අවිහ බ්‍රහ්මයෝ

29. අතප්ප බ්‍රහ්මයෝ

30. සුදස්ස බ්‍රහ්මයෝ

31. සුදස්සී බ්‍රහ්මයෝ

32. අකනිට්ඨක බ්‍රහ්මයෝ

දරුවනේ, ඊටත් ඉහළ බ්‍රහ්ම ලෝකවල ආයු කාලය දිව්‍ය ලෝකයන්හි ආයු කාලයටත් වඩා වැඩියි. ඒ වගේම සත්බුදුරජාණන් වහන්සේලා සියැසින් දුටු බ්‍රහ්මයෝත් ඉහළ බ්‍රහ්මතලවල තවමත් වැඩ වාසය කරනවා.

දිව්‍ය ලෝකයන්හි සැප සම්පත් කොයි වගේද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ දිව්‍ය ලෝක සැප සම්පත් අසීමිත බවයි. දිව්‍ය ලෝක කියන්නේ සතර අපායට නොවැටී සත්වයින්ට වාසය කරන්නට තිබෙන ආරක්ෂිතම තැනක්. ඉතාම ප්‍රබල කුසල කර්ම හේතු කොටගෙනයි ඒ වගේ දිව්‍යතලවල ඉපදී සැප සම්පත් විඳින්නේ. එක් දිනක් භික්ෂූන් වහන්සේගේ ඉල්ලීම පරිදි බුදුරජාණන් වහන්සේ මේ සැප සම්පත් පිළිබඳව උපමාවකින් දේශනා කොට වදාළා.

“මහණෙනි, දිව්‍ය තලයන්හි සැප සම්පත් සසඳනවිට සක්විති රජවරු විඳින සැප හරියට වැලි කැටයක් හා සමානයි” යනුවෙන්, උන්වහන්සේ දේශනා කළා.

දිව්‍ය ලෝකයේ යන්නේ කොහොමද? දිව්‍ය ලෝකයට ගිහින් සැප සම්පත් විඳින්නේ කොහොමද කියලා අපි පෙබරවාරි 04 දුරුතු අමාවක පෝදා ලිපියෙන් දැන ගනිමු.