Print this Article


කැකණදුර පන්ථාරාමයේ පියරතන දහම් පාසල

කැකණදුර පන්ථාරාමයේ පියරතන දහම් පාසල

මාතර, කැකණදුර, හේවගෙවත්ත ශ්‍රී පන්ථාරාම පුරාණ විහාරස්ථානය ප්‍රදේශයේ ගෞරවාදරයට පත් පින්බිමකි.

බුද්ධ මන්දිරය, දාන ශාලාව, සංඝාවාස ගොඩනැගිල්ල, මෑතකදී ඉදි වූ 18 රියන් උසැති අවුකන අනුරූ පිළිම වහන්සේ , දේව මන්දිරය යනාදී විහාරාංග හා විහාරද්වාරයෙහි මකර තොරණ, උඩ මළුවට පිවිසෙන පියගැට පෙළ, ආරක්ෂක පවුර යනාදිය විහාරස්ථානයේ අලංකාරත්වය වඩාත් වර්ධනය කරයි.

 බෝගස්ඉඳිවැව සරණතිස්ස හිමි

අකුරුගොඩ පඤ්ඤාතිස්ස හිමි

පත්ථාරාමයේ ආදි කතුවරයාණන් වහන්සේලා ලෙස ගාල්ලෙරුප්පේ පියතිස්ස නා හිමි, හුණුවල රතනසාර නා හිමි, කිඹුලාගල පියරතන නාහිමිපාණන් වහන්සේ විහාරස්ථ දියුණුවට සුවිසල් මෙහෙවරක් ඉටුකළ යතිවරයාණන් වහන්සේලා වෙති.

වත්මන් විහාරාධිපති බෝගස්ඉඳිවැව සරණතිස්ස හිමියන් වයෝවෘද්ධ තත්වයෙන් පසු වුවද , විහාරස්ථානය වර්තමානයේ පවතින තත්ත්වයට ගෙන ඒමට අනුපමේය සේවයක් ඉටු කර ඇත. උන් වහන්සේ තම ශිෂ්‍ය භික්ෂු පිරිස උගත්, බුද්ධිමත්, සිල්වත් බවින් යුතුව ආගමික හා ශාසනික මෙහෙවර ඉදිරියට ගෙන යාමට අනුශාසනා ලබා දී ඇත.

මෑල්ලකැටිගොඩ පියතිස්ස හිමි, උඩුකාවේ සුමනතිස්ස හිමි, අකුරුගොඩ පඤ්ඤාතිස්ස හිමි, උනැල්ලේ ගුණතිස්ස හිමි යන හිමිපාණන් වහන්සේලා ප්‍රදේශයටත්, සමාජයටත් සුවිශේෂී මෙහෙවරක් සිදු කරමින් පවතී.

පැරැණි විහාරාංග නවීකරණය හා නව විහාරාංග ඉදිකිරීම සමඟ පන්ථාරාමයේ දර්ශනීයත්වය තීව්‍රර වී ඇත. විහාරාධිපති හිමිපාණන් වහන්සේගේ අසනීප තත්ත්වය හේතුවෙන් අකුරුගොඩ පඤ්ඤාතිස්ස හිමියන් ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් විහාරයේ සුබසිද්ධිය වෙනුවෙන් හා ගම්වාසීන්ගේ යහපත උදෙසා සිදු කරන මෙහෙය අගනේ ය.

සතරපේරුවේ දායක පිරිස ද උන්වහන්සේට මේ පුණ්‍ය කටයුතු සඳහා නන් අයුරින් උදව් උපකාර සිදු කරති.

මෙවන් පසුබිමක ගමට දහම් පාසලක පවතින අඩුපාඩුව සිතට නැගුණු අකුරුගොඩ පඤ්ඤාතිස්ස හිමියන් තම අදහස සාර්ථක කර ගැනීමට නොපසුබට වීර්යයෙන් කටයුතු කළ අතර ඊට සියලු දෙනාගේ නොමසුරු උපකාර ලබා ගැනීමට උන්වහන්සේ සමත් වූහ.

වසර 36 ක පමණ කාලයක් වසා තිබූ ධර්ම විද්‍යාලය නැවත ආරම්භ කිරීමට අකුරුගොඩ පඤ්ඤාතිස්ස හිමියන් මූලික වී සියලු කටයුතු සිදු කර අද වන විට සිරි / පියරතන දහම් පාසල නමින් ප්‍රසිද්ධ ධර්ම විද්‍යාලයක් පන්ථාරාම විහාරයට අනුබද්ධව ආරම්භ කර පවත්වාගෙන යනු ලැබේ.

වත්මන් විහාරාධිපති බෝගස්ඉඳිවැව සරණතිස්ස ස්වාමීන් වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ වන කිඹුලංවල පියරතන නා හිමිපාණන් වහන්සේට ගෞරව කිරීමේ අදිටනින් මෙසේ ආරම්භ කළ ධර්ම විද්‍යාලයට , ප්‍රධානාචාර්ය පඤ්ඤාතිස්ස හිමියන් විසින් සිරි / පියරතන දහම් පාසල ලෙස නම් තබා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලබාගෙන ඇත.

වසර 36 කට පසු 2016 වසරේ මාර්තු මස 06 වන දින ඇරැඹි සිරි / පියරතන දහම් පාසල අද වන විට බොහෝ සාර්ථක හා දියුණු තත්ත්වයට පැමිණ ඇත.

සිසුන් 250 කට අධික පිරිසක් එහි දහම් අධ්‍යාපනය හදාරන අතර ගුරු භවතුන් 25 ක් පමණ සේවයේ නිරතව සිටිති.

පසුගිය වසරේ කඨින චීවර පූජෝත්සවය නිමිති කරගෙන දහම් පාසල් දරු දැරියන් පැවැත් වූ සත්බුදු වන්දනා පෙරහර ඉතා සාර්ථක ලෙස පැවැත්වූ අතර එහි මූලිකත්වය ගනු ලැබුවේ ප්‍රධානාචාර්ය පඤ්ඤාතිස්ස හිමියන් ය.

එසේම පසුගිය දෙසැම්බර් මස 30 වන ඉරු දින අති උත්කර්ෂවත් අන්දමින් පියරතන ධර්ම විද්‍යාලයේ 3 වන සංවත්සරය පැවැත් වූ අතර විද්වත්හු රැසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.


අචාර්යය මණ්ඩලය