Print this Article


අභිමානවත් අනාගතයක් සඳහා උත්තුංග මෙහෙවරක අභිමානය

අභිමානවත් අනාගතයක් සඳහා උත්තුංග මෙහෙවරක අභිමානය

රටේ ජීවනාලිය බඳු දරු පරපුර නැණ ගුණයෙන් පෝෂණය කිරීම මෙකල වෙසෙන වැඩිහිටි පරපුරෙහි වගකීම ය. ඒ තුළ, ගුණ නැණ දෙකෙන් පොහොසත් වන දරුවකුගේ අනාගතය නිතැතින්ම ශෝභමාන ය. එසේ ලබාගත් ස්වකීය දියුණුව රටේ අභිවෘද්ධිය ම වේ. ආර්ථික දුෂ්කරතා මඟ හරවා ගැනීමට ඇති සාර්ථක මඟක් වනුයේ මනාව අධ්‍යාපනය ලැබීම ය. නූගත්කම, දිළිඳුබවට හේතුවකි. යහගුණ නො හඳුනන්නෝ සමාජයට පිළිලයකි. නැණවත්කම පමණක් නොව ගුණවත් බව ද ඇති දරුවා රටටම සම්පතකි.

එබඳු නැණ ගුණ පිරි දරු පරපුරක් බිහිකිරීම රජයට පමණක් කළ හැකි පහසු කාර්යයක් නොවේ. ආර්ථික දුෂ්කරතා ඇති එවැනි දරුවන්ට ඇති හැකි අය ශක්ති ප්‍රමාණයෙන් උදව් උපකාර කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

දැයේ දරුවන් මනා පෞරුෂයකින් යුත් ගුණ නැණ පිරි දරු පිරිසක් කිරීමේ උදාර අරමුණෙන් හොඳින් අධ්‍යාපනය ලබන්නට පාසල් ගොඩනැගිලි තනා දරුවන්ට දායාද කිරීමේ මාහැඟි ව්‍යාපෘතියක් මෙයට දශක දෙකක පමණ කාලයක සිට මෙරට වැඩ සිටින සංඝපීතෘන් වහන්සේ නමක් විසින් නිහඬව සිදුකරගෙන එනු ලබති.

ඒ අංග සම්පූර්ණ සුවිසල් පාසල් ගොඩනැගිලි තුළ පාසල් දරුවන් පහළොස් දහසකට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබති. එසේ ඔවුන් පහසුවෙන් සිප්සතර හදාරනුයේ උන්වහන්සේගේ උදාර වෑයමෙහි ප්‍රතිඵල ලෙස ය. එම උදාර සමාජ මෙහෙවර සිදු කරනු ලබන්නේ මෑත යුගයේ සසුනඹරට උදාර මෙහෙවරක් සිදු කරන මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. මෙරට බොහෝ දෙනා නම කී පමණින් දන්නා හඳුනන ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පුරා වසර හතළිහකට ආසන්න කාලයක් යුරෝපා මෙන් ම, ආසියාතික දියුණු රටවල ධර්මදූත මෙහෙවරෙහි යෙදෙමින් ලබාගත් අනභිබවනීය අත්දැකීම් සමුදායත්, මහජන සුහදතාවයත් මූලික කරගෙන ශ්‍රී ලාංකේය ජන සමාජයට සිදුකළ හා දැනුදු සිදු කරන සේවාව ගිහි පැවිදි උභය සමාජයට ම මහත් ආදර්ශයකි. ආශීර්වාදයකි.

උත්තුංග සමාජ මෙහෙවර ජාලයක යෙදී ඇති ආනන්ද නායක හාමුදුරුවන්ට මහ පොළොව ම එකම පවුලක් වැනි ය. හැමවිටම පටු අපේක්ෂාවලින් තොර ය. උන්වහන්සේගේ සමාජ මෙහෙවර අර්ථවත් ය. ආදර්ශවත් ය.

පන්නිල ආනන්ද නායක හාමුදුරුවෝ අත්තනගල්ල රජමහා විහාරය සියලු විහාරාංගයන්ගෙන් අලංකාර කළහ. අත්තනගල්ල රජමහා විහාරස්ථ ශ්‍රී පතිරාජ සාමණේර භික්ෂු පුහුණු ආයතනය අරඹා එමඟින් ත්‍රිපිටක දහම ප්‍රධාන විදේශීය භාෂා පුහුණු කරමින් සාමණේර හිමිවරු රැසකට ධර්මාධ්‍යාපනය ලබාදීමට කටයුතු කළහ. එහි අධ්‍යාපනය ලබන සාමණේර හිමිවරුන් සඳහා තෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාර දෙකක් 2010 දී ඉදිකරවූහ.

වතුපිටිවල මූලික රෝහල ප්‍රධාන මහනුවර මහරෝහල ආදී රෝහල් සඳහා අවශ්‍ය වාට්ටු, වෛද්‍ය උපකරණ, බුද්ධ මන්දිර ආදී විවිධ පහසුකම් සැලසීමෙහි මහත් මෙහෙවර රැසක් නිහඬව සිදු කළහ. අත්තනගල්ල ප්‍රදේශයේ දහම් පාසල් දරුවන් ගුණ නැණ පිරි දරු පිරිසක් කිරීමේ පරමාර්ථයෙන් දහම් පාසල් ගොඩනැගිලි තනවා පරිත්‍යාග කළහ. ඒ අතර අත්තනගල්ල රජමහා විහාරස්ථ දහම් පාසලේ තෙමහල් පාසල් ගොඩනැඟිල්ලත්, යටියන ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථ දහම් පාසල් ගොඩනැගිල්ලත් ප්‍රධාන වේ.

සුනාමි උවදුර සිදු වූ අවස්ථාවේ තෙල්වත්ත, පැරෑලිය ආදී ප්‍රදේශයන්හි නිවාස 350 ක් පමණ ඉදිකරවා අසරණ වූ ජනතාවගේ හිසට සෙවණක් දී දිවිමඟ සරුකර ගැනීමට මහත් මෙහෙවරක් සිදු කළහ. ස්වභාවික විපත් පැමිණි සෑම අවස්ථාවකම ප්‍රදේශය ළඟ පහත ද, දුර බැහැර දැයි නොසලකා පිහිටවෙමින් උපකාර කළහ. පන්නිල ආනන්ද නායක හාමුදුරුවන් වහන්සේ ආගමික, ශාසනික, සාමාජික, සෞඛ්‍ය ආදී විවිධ ක්ෂේත්‍ර සඳහා සිදු කර ඇත්තේ උදාර මෙහෙවරකි.

දශක දෙකක් පුරා උන්වහන්සේ සිදු කරන අධ්‍යාපනික සේවාව මෙරට වෙනත් කිසිවෙකු හෝ පෞද්ගලිකව සිදුකර ඇත්දැයි විමසා බැලීම වටී. එබඳු යුග මෙහෙවරක් ඉටු කිරීමට උන්වහන්සේට හැකි වී ඇත්තේ විදේශීය කලණ මිතුරු ඇසුරේ සහාය හේතුවෙනි. ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි පාසල් ගොඩනැගිල්ල නමින් වල්පොල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල, ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල, මහනුවර නියංගොඩ ශ්‍රී ධම්මාලෝක පිරිවෙනේ දෙමහල් ගොඩනැගිල්ල, කඹුරාගල්ල පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල, මහියංගණය දඹාන ආදීවාසී ගම්මානයේ දහම් පාසල් ගොඩනැගිල්ල, කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල, වේයන්ගොඩ ශාන්ත මරියා මහා විද්‍යාලයේ තෙමහල් විද්‍යාගාර පාසල් ගොඩනැගිල්ල, තිහාරිය අල් අස්හර් මුස්ලිම් මහ විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල, අලවල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල, නිට්ටඹුව සංඝබෝධි මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල, මීරිගම ගණේගොඩ රාජසිංහ මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ල, කන්දේගම මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ල, වේයන්ගොඩ විද්‍යාලෝක මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල, ගොරකදෙණිය මහා විද්‍යාලයේ දෙමහල් පාසල් ගොඩනැගිල්ල, එල්ලක්කල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල, නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල මේ වන විට සිසු අයිතියට පිරිනමා ඇත.

මෙම වසරේ ජනවාරි 24 වන දා තිහාරිය මයුරපාද විද්‍යාලයේ දෙමහල් පාසල් ගොඩනැගිල්ලත්, 25 වන දා රදාවඩුන්න සිරි මිහිඳු මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලත් සිසු අයිතියට පිරිනැමූහ. 26 වන දා වේයන්ගොඩ ජනාධිපති මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පිරිනැමීමට කටයුතු යොදා තිබුණේ උන්වහන්සේගේ පාසල් ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘතියේ විසි වන ගොඩනැගිල්ල ලෙස ය. ඒ උන්වහන්සේගේ ජන්මදින සමරුවටද සමගාමීවය. පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් මාසිකව සරසවි වෛද්‍ය සිසුන් ඇතුළු පාසල් දරුවන් 1260 දෙනෙකු වෙත ශිෂ්‍යාධාර පිරිනැමීම ද සුවිශේෂී කරුණකි.

ඓතිහාසික අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජමහා විහාරාධිපති, ඇමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරයේ සහ තායිවානයේ ථෙරවාදී බෞද්ධ විහාරයේ අධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක හාමුදුරුවන්ගේ එම උදාර ශාසනික, ආගමික, අධ්‍යාපනික, සෞඛ්‍ය හා සමාජයීය මෙහෙවර තවත් දශක කීපයක් පුරා සිදු කිරීමට තෙරුවන් බලෙන් චිර ජීවනයත් නිදුක් නිරෝගී සුවයත් නිරතුරුව පතමු.