Print this Article


භයභෙරව සූත්‍රය

භයභෙරව සූත්‍රය

මජ්ක්‍ධිම නිකායේ මූලපර්යාය වර්ගයට අයත් භයභෙරව සූත්‍රය පුච්ඡාවසික නම් නික්ඛේපයක් හෙවත් බුදුරජාණන් වහන්සේ ඉදිරි පිටට පැමිණ අසනු ලැබූ පැනයකට පිළිතුරු දේශනයක් ලෙස බිය, තැතිගැනීම් සහ හොල්මන් (භයභෙරව) ආදි කරුණු සහ තවත් ධර්ම විග්‍රහයන් කෙරෙන සූත්‍ර දේශනයකි. ඒ පිළිබඳ පෙළෙහි හා අටුවාවේ එන සංක්ෂිප්ත විවරණය මෙහි දැක්වේ.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන දිනක දී ජානුස්සොණිය නම් බ්‍රාහ්මණයෙකු බුදුරදුන් වෙත පැමිණ පිළිසඳර කථාව නිමවා, භාග්‍යවතුන් වහන්සේ, ශ්‍රද්ධාවෙන් ගිහිගෙය අතහැර පැවිද්ද ලැබූ කුලපුතුන්ට මූලික බවත්, බහූපකාර බවත්, ශීලාදියෙහි සමාදන් කරවන හෙයින් කුලපුත්‍රයෝ බුදුරදුන්ගේ දේශනාවට අනුව හැඩගැසෙන්නෝ බවත් පැවසී ය. බුදුරජාණන් වහන්සේ එය එසේම යි. එය එසේම යි. (එවමෙතං, බ්‍රාහ්මණ, එවමෙතං බ්‍රාහ්මණ) යනුවෙන් එය අනුමත කළහ.

තවද, ජානුස්සොණිය බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ද විමසී ය. භාග්‍යවත් ගෞතමයන් වහන්ස, අරණ්‍ය, ඝන වනාන්තර, එපිට සෙනසුන්වල වැඩ සිටීම අසීරු ය. අමාරු ය. තනිව සිටීමට අපහසු ය. සමාධියක් නො ලබන භික්ෂු නමගේ මනස වනාන්තරය ගිලගනිතියි සිතෙයි (දුරභිසම්භවානි හි ඛො,භො ගොතම, අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි, දුක්කරං ,පවිවෙකං දුරභිරමං එකත්තෙ, හරන්ති මඤ්ඤෙ මනො වනාහි සමාධිං අලභමානස්ස භික්ඛුනො) යනුවෙන් විමසී ය.

බ්‍රාහ්මණය, බුදුවීමට පෙර බුදු නො වූ අවදියේ මටත් ආරණ්‍ය,ඝනවනාන්තර, එපිට සෙනසුන්වල වැඩ සිටීම අසීරු ය. අමාරුය . තනිව සිටීමට අපහසු ය. මනස වනාන්තර ගිලගනී, යනුවෙන් අදහසක් විය. අපිරිසුදු කායකර්ම ඇතිව අරණ්‍ය , ඝන වනාන්තර ඇසුරු කරන මහණ බමුණෝ ඒ අපිරිසුදු කායකර්ම නිසාම නරක භයභෙරව හෙවත් බිය, තැතිගැනීම් සහ හොල්මන් ළගාකර ගනිති. මම අපවිත්‍ර කාය කර්ම ඇතිව අරණ්‍ය ඇසුරු නො කරමි. මම පිරිසුදු කායකර්ම ඇත්තෙක්මි. පිරිසුදු කාය කර්ම ඇතිව අරණ්‍ය, ඝන වනාන්තර ඇසුරු කරන ආර්යයන්ගෙන් කෙනෙක් වෙමියි යන අදහස ඇති විය. මෙම පිරිසුදු කායකර්ම තමා ළඟ ඇති බව දකිමින් මම වනවාසය පිණිස වඩ වඩාත් බිය නොවීමි. ( බ්‍රාහ්මණ , පරිසුද්ධකායකම්මතං අත්තති සම්පස්සමානො භිය්‍යො පල්ලොමමාපාදිං අරඤ්ඤ විහාරාය)

අපිරිසුදු වාක්කර්ම ඇතිව, අපිරිසුදු මනඞකර්ම ඇතිව, අපිරිසුදු ජීවිකා ඇතිව, පංච නීවරණයෙන් පැරැණි සිත් ඇතිව, මානයෙන් යුක්තව අරණ්‍ය සෙනසුන්වල වෙසෙන මහණ බමුණෝ ලොමු දැහැගැනීම්, තැතිගැනීම් , බියවීම් ඇතිව වෙසෙති. ඒ මහණ බමුණෝ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා කැමැත්තෙන්. කුසීත වීර්යය පිරිහී, සිහි නුවණ නැතිව, නො තැන්පත් කැළැඹුණු සිත් ඇතිව, මෝඩ කෙළතොලු කමේ වරදින් ම නරක බිය, තැතිගැනීම් සහ හොල්මන් (භයභෙරව) ළගාකර ගනිති. මම එසේ නො කළෙමි. මම ප්‍රඥාසම්පන්න අයෙක්මි. ප්‍රඥා සම්පන්නව අරණ්‍ය ඇසුරු කරන ආර්යයන්ගෙන් කෙනෙක්මි කියා සිත් විය. මේ ප්‍රඥාසම්පත්තිය තමා තූළ දකිමින් මම වනවාසය පිණිස වැඩි වැඩියෙන් නිර්භයට පැමිණියෙමි.

ඒ මට පක්ෂයෙහි තුදුස්වක, පසළොස්වක අටවක කියා ගැණෙන ප්‍රසිද්ධ රාත්‍රීවල බිහිසුණු ලොමු ඩැහැගැන්වෙන පූජනීය ආරාම, පූජනීය වන, පූජනීය වෘක්ෂ සේනාසනවල වසන්නට ඇත්නම් හොඳ ය. එම භයභෙරව හෙවත් බිය, තැතිගැනීම් සහ හොල්මන් බලන්නට ඇත්නම් හොඳය කියා සිතිණ. එහෙයින් මම භයභෙරය පිළිබඳ ගවේෂණය කළෙමි. පසුකාලයක මම ඒ බියගෙන දෙන රාත්‍රිවල සේනාසනවල වාසය කළෙමි. මම එහි වාසය කරන විට සිවුපාවෙක් හෝ එයි. මොණරෙක් (සාක්ෂියෙක්) හෝ වියළි දරකඩක් ගසකින් හෙලයි. සුළඟ හෝ වියළි පරඬලා සොලවයි. මුවන්ගේ අංකුර ආදින්ගේ ශබ්ද බිය ගෙනදෙයි. එවිට මට මේ නම් හරියට ම ඒ භයභෙරවයා ( හොල්මන) එනවා තමයි කියා සිතෙයි. එවිට අනෙකක් නැතිව බියම සිත සිතා වසන්නෙම්දැයි යම් විදියකින් සිටින මා ළගට ඒ හොල්මන් ආවොත් ඒ හිටිහැටියෙන් ම සිට ඒ හොල්මන් නැති කරගත යුතුයැයි සිතිණ. එලෙසින් සක්මන් කරද්දී, හිඳගෙන සිටිද්දී, සිටගෙන සිටිද්දී, හොල්මන මා ළඟට ආවොත් නැති කරගන්නා තුරු මම නිදා නො ගනිමි. නො හිඳිමි.නො සිටගනිමි. සක්මන් නො කරමි.

ඇත්ත ඇති සැටියෙන් කියන කවුරු නමුත් යමෙකු ගැන මුළා නො වන ගති ඇති සත්ත්වයෙක් බහුජන හිත පිණිස, සැප පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවිමිනිසුන් හිත පිණිස, සැප පිණිස, වැඩ පිණිස උපන්නේයැයි කියනවා නම් ඒ මා (බුදුරජුන්) සඳහාම ය. භයභෙරව ගැන සිතූ මාගේ වීර්යය දැඩි විය. නො හැකිළුණේ ය. සිහිය එළඹ සිටියේ ය. නො නැසුණේ ය. සන්සිඳුණේ ය. පීඩා රහිත විය. සිත සමාගත විය. එකඟ වූයේ ය.

මම කාමයෙන් වෙන්වන, අකුසල ධර්මවලින් වෙන්වන විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් ජනිත පී‍්‍රති සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ, ද්විතීය ධ්‍යානයට පැමිණ, තෘතිය ධ්‍යානයට පැමිණ, චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කළෙමි. මෙසේ සිත සමාහිතව, පිරිසුදුව, පැහැපත්ව, නිකෙලෙස්ව, නිකිලිටිව, මෘදුව, කර්ම යෝග්‍යව ස්ථිරව, නිශ්චල වූ පසු පුබ්බේනිවාසානුස්සති ඤාණය සඳහා, චුතූපපාත ඤාණය සඳහා සිත යොමු කළෙමි. ඉන්පසු රෑ මධ්‍යම යාමයේ දෙවැනි විද්‍යාව ලැබූ හෙයින් ආසවක්ඛ ඤාණය සඳහා සිත යොමු කළෙමි. ඉන්පසු රෑ මධ්‍යම යාමයේ දෙවැනි විද්‍යාව ලැබු හෙයින් ආසවක්ඛඤාණය සඳහා හිත යොමු කළෙමි. එවිට චතුරාර්ය සත්‍යය ඇති සැටියෙන් දැන ගතිමි. ඒ මට කාමාසව, භවාසව, අවිජ්ජාව, නැති විය. රාත්‍රී පශ්චිම යාමයෙහි තුන්වන විද්‍යාව, ලැබිණ. අවිද්‍යාව නැසුණේ ය. විද්‍යාව උපන්නේ ය. අන්ධකාරය නැසුණේ ය. ආලෝකය උපන්නේ ය.

අවිතරාගාදී ගුණයෙන් යුත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ මෙලොව සැප විහරණය සලසාගෙන පශ්චිම ජනතාව ගැන අනුකම්පාත් කොට යන ප්‍රයෝජන දෙකක් සලකා වනසෙනසුන් ඇසුරු කරමියි වදාළහ. ජානුස්සොණිය බ්‍රාහ්මණයා මෙම භයභෙරව දෙසුම කෙළවර මැනව. පින්වත් ගෞතමයනි, මැනව පින්වත් ගෞතමයනි, (අභික්කන්තං භන්තේ, අභික්කන්තං භන්තේ) යනුවෙන් දේශනාවට ස්තුතියත්, තමාගේ පැහැදීමත් ප්‍රකාශ කළේ ය.

‘භයෙ කොධෙ පසංසායං
තුරිතෙ කොතුහලච්ඡරෙ
භා සෙ සොකෙ පසාදෙ ච
කරෙ ආමෙණ්ඩිතං බුධො’

භයෙහි ද, ක්‍රෝධයෙහි ද, පසංසාවෙහි ද, සීඝ්‍රයෙහි ද, කුහුල් බැව්හි ද, පුදුම වීමෙහි ද, සිනහවෙහි ද, සෝකයෙහි ද, ප්‍රසාදයෙහි ද බුද්ධිමත් තෙමෙ ආමෙණ්ඩිතය හෙවත් එක ශබ්දය දෙවරක් ප්‍රයෝග කිරීම කරන බව පපංචසූදනී නම් මජ්ක්‍ධිමනිකායට්ඨ කථාවෙහි දැක්වේ. භයභෙරව සූත්‍ර දේශනය අවසානයේ ජානුස්සොණිය බ්‍රාහ්මණ තෙමේ තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය.