Print this Article


පින් කළ තැනැත්තා දෙලොවම සතුටුවෙයි

පින් කළ තැනැත්තා දෙලොවම සතුටුවෙයි

සැවැත ්නුවර ඉතා සිල්වත්, ගුණවත් ජීවිතයක් ගත කළ, කා අතරත් ප්‍රසිද්ධ ධම්මික නම් වූ උපාසක මහතෙක් සිටියේ ය. සියලු උපාසකවරුන් අතර නායකත්වයක් ගෙන කටයුතු කළ මොහු, අන් අයට ආදර්ශයක් දෙමින් කටයුතු කළ අයෙකි. පුතුන් සත්දෙනෙක් හා දූවරුන් සත්දෙනෙක් සිටියහ.

දාහතරදෙනාම පියතුමා අනුගමනය කරමින් නිවැරැදි, ගුණගරුක ජීවිත ගතකළහ. ධම්මික උපාසකතුමාගේ භාර්යාව ද, පිනට දහමට ලැදි චරිතවත් කාන්තාවකි. ඇය ද තම ස්වාමියා කරන සියලු පුණ්‍යකර්මයන්ට උපරිම අයුරින් දායකත්වය ලබාදෙමින් සහයෝගයෙන් කටයුතු කළා ය.

කලක් ගතවනවිට ධම්මික උපාසකතුමා රෝගී තත්ත්වයට පත්විය. වයස අනුව රෝගය සුව නොවන බවත්, මරණයට ඉතා ආසන්න බවත් පෙනෙන්නට විය.

තම පියා සංඝරත්නය දැකීමටත්, බණ ඇසීමටත්, මහත් ආශාවක් ඇතිබව දන්නා දරුවෝ ජේතවනාරාමයට ගොස් බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට එය දන්වා සිටියහ. ඒ අනුව මහා සංඝරත්නය දහසයනමක් ධම්මික උපාසකතුමාගේ නිවසට වැඩමකොට, උපාසකතුමාගේ ඇඳවටා පනවා තිබූ අසුන්වල වැඩසිටියහ. මහාසංඝරත්නය තම ඇඳ වටා වැඩ සිටිනු දුටු ධම්මික උපාසකතුමාට බලවත් සතුටක් ඇති විය.

“ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේලාගේ දැකීම මට හරිම සතුටක්, සුවයක්. මම රෝගීව සිටිමි. මගේ ඉන්ද්‍රියයන් ද දුර්වල ය. ශරීරය ද ජරාවට පත්වෙමින් ඇත. මට ධර්මය දේශනා කරනු මැනවි. මා නිතර අසා පුරුදු, මා නිතර පුරුදු පුහුණුකර ඇති සූත්‍රයක් වන ‘සති පට්ඨාන’ සූත්‍රය දේශනා කරන්නේ නම් ඉතා හොඳයි. එය දේශනා කරන සේක්වායි’ මහා සංඝරත්නයෙන් අයැද සිටියේ ය. ඒ අනුව මහා සංඝරත්නය සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවිට, දිව්‍යලෝකවල දෙවිවරු අහසෙහි රැස්ව සිටියහ. මරණාසන්නව සිටි උපාසකතුමාට ගති නිමිති පහළ විය. දිව්‍යලෝකවල ඒ ඒ දෙවිවරු අපේ දෙව් ලොවට එන්න,අපේ දෙව් ලොවට එන්න යැයි මරණාසන්න උපාසක තුමාගෙන් ඉල්ලා සිටියහ. ධර්මය අසමින් සිටින උපාසකතුමාට දෙවියන්ගේ ඉල්ලීම බාධකයක් හෙයින් ‘ටිකක් නවතින්න, ටිකක් නවතින්න’ යන වචන කිහිපය උපාසකතුමාගේ මුවින් පිටවිණි. මෙය දෙවියන්ගෙන් කළ ඉල්ලීමකි. මහා සංඝරත්නය සිතුවේ බණ නවත්වන්න යැයි උපාසකතුමා තමන්ගෙන් ඉල්ලීමක් කළ බවයි. ඒ අනුව මහා සංඝරත්නය ධර්මය දේශනා කිරීම නවතා ආරාමයට වැඩම කළහ. ධම්මික උපාසකතුමා කළුරිය කොට තුසිත දෙව්ලොව ඉපදුණි. බණ අතරමඟ නවතා ජේතවනාරාමයට වැඩමකළ භික්ෂූහු, බුදුරදුනට මේ කරුණ සැලකර සිටින විට බුදුරදුහු පෙන්වා දුන්නේ එය ඔබ වහන්සේලාගේ දේශනාව නතර කිරීමට කරන ලද ප්‍රකාශයක් නොව එය දෙවියන් සමඟ කළ කතාබහක් බවත්, ධර්මය ඇසීමට බාධාවක් නොවන ලෙස තව ටිකක් ඉවසන්න යනුවෙන් කරන ලද ඉල්ලීමක් බවත් ය. පින්දහම් කරමින් ධර්මානුකූලව ජීවත් වූ ධම්මික උපාසකතුමා ඒ පුණ්‍ය මහිමයේ බලයෙන් තුසිත දෙව්ලොවෙහි ඉපිද ඇති බව බුදුරදුහු පෙන්වා දුන්හ.

ධම්මික උපාසකතුමා හොඳට පින් දහම් කළ අයෙකු බවත්, ඒ අනුව මොහු මෙලොව දී කළ ඒ පුණ්‍යකර්ම ගැන සිතා සතුටට පත් වී, පරලොවදීත් එහි විපාක විඳිමින් සතුටුවන බවත්, කය, වචනය, සිත යන තුන් දොරින් සිදුකළ පිරිසුදු කර්මවල ඵල විපාක වශයෙන් දෙලොවම මහත්සේ සතුටට පත්වන බවත් පෙන්වා දෙමින්

‘ඉධ මෝදති පෙච්ච මෝදති
කත පුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති
දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ”

යන ගාථාව දේශනාකොට වදාළහ.

වර්තමාන සමාජයේ ජීවත්වන අපට ධම්මික උපාසක චරිතය වැදගත් ජීවන ගමනක් පෙන්වා දෙයි. මෙහිදී වැදගත් ම දෙය දරුවන් දාහතර දෙනාත්, භාර්යාවත් සමඟින් ධර්මානුකූලව ගතකළ ආදර්ශ සම්පන්න ජීවිතයයි.

දරුවන් දාහතර දෙනෙකුගෙන් එක් අයෙකු හෝ නොමගට යන්න නොදී හොඳ ඇවතුම්, පැවතුම් ඇති පිරිසක් බවට පත්කර ගැනීම මොනතරම් අමාරු කාර්යයක් ද? ඒ අනුව ධම්මික උපාසකතුමා ධාර්මිකව, ආදර්ශ සම්පන්නව තම දරුවන් වැරැදි මඟෙහි යන්නට නොදී නිවැරැදි ජීවන ගමනකට හුරුකර වීම අප අධ්‍යයනය කළ යුතුව ඇත.

මිනිසා සියලු දේ කරන්නේ සතුට බලාපොරොත්තුවෙනි. වැරැදි ක්‍රියාකාරකම් තුළින් සතුටක් ලබන අය සිටිති. නමුත් එය තාවකාලික ය. එහි දුක්ඛදායක ප්‍රතිඵලය අනිවාර්ය ය. නිවැරැදි දේ තුළින්, කුසල කර්මවලින්, සිදුවන්නේ තමන්ටත් අනුන්ටත් යහපතකි. එයින් ලබන සතුට සදා සැනසිල්ලකි. ඒ සතුට භුක්තිවිඳින්නේ මෙලොවදී පමණක් නොවේ. පරලොවදීත් ඒ සතුට භුක්තිවිඳීමේ අවස්ථාව උදාවනු ඒකාන්ත ය.

බුදුරජාණන් වහන්සේ අපට යහපත් මේවා ය, නරක මේවා ය. කුසල් මේවා ය, අකුසල් මේවා ය. නොකළ යුතු දේ මේවා ය. පිළිපැදිය යුතු දේ මේවා ය. අත්හළ යුතු දේ මේවා ය ආදී වශයෙන් ජීවතයක් අර්ථවත් වීමට අවශ්‍ය දේ පෙන්වා දුන්හ. උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ නිකම්ම නොවේ. අත්හදා බැලීමෙනි. පළපුරුද්දෙනි. මේ උතුම් මාර්ගෝපදේශකයාගෙන් අප ප්‍රයෝජන ලබාගත යුත්තේ උන්වහන්සේට ගෞරව කිරීමෙන්, වන්දනා කිරීමෙන් ම පමණක් නොවේ. ගෞරව කිරීම, වන්දනා කිරීම කළ යුතු ය. ආමිෂ පූජාව ද කළ යුත්තකි. නමුත් වැදගත්ම දෙය බුදුරදුන් අප හරිමගට ගැනීම සඳහා පෙන්වා වදාළ කරුණු අපේ ජීවිතයට එකතු කර ගැනීමයි. ඒ මග ගමන් කිරීමයි. උන්වහන්සේ සිතූ ආකාරයට සිතන්නටත්, කතාකළ ආකාරයට කතා කරන්නටත් උත්සාහ කිරීමයි.

අපි දිනපතා පන්සිල් සමාදන් වෙමු. නමුත් කී දෙනෙක් මේ පන්සිල් පද පහ කඩ නොකොට ආරක්ෂා කරනවාදැයි බලන්න. පංචශීලය බෞද්ධ ආචාර ධර්ම පද්ධතියේ අඩිතාලමයි. මෙහි එක් එක් ශිලයන් පුද්ගලයකුගේ අධ්‍යාත්මික පාරිශුද්ධියට පමණක් නොව සමාජ ස්ථාවරත්වයටත්, සමාජ සාධනයටත් ඉවහල් වනු ඇත.

යහ පැවැත්ම අතින් අද සමාජය දරුණු බිඳ වැටීමකට පත්ව ඇත. විෂම සමාජයක් කරා යොමුව ඇත. වර්තමාන සමාජය තුළ පන්සිල් රැකීම පුද්ගලයකුට කළ නොහැකිය, යන මිත්‍යා අදහසක් ද සමහරුන් තුළ පවතී. මෙය පන්සිල් පද පහ සහ එහි සමාජගත ක්‍රියාවලිය පිළිබඳ නිවැරැදි අවබෝධයෙන් කරන්නක් නොවන බව පැහැදිලි ය. අද සමාජයේ බොහෝ දෙනාගේ අරමුණ කුමන ක්‍රමයකින් හෝ මුදල් ඉපයීමයි. එය සාධාරණ ද, අසාධාරණ ද යන්න ඒ අයට ප්‍රශ්නයක් නොවේ. මෙයින් වන්නේ සමාජය අගාධයට ඇද වැටී දරිද්‍රතාව වැඩිවන සමාජයක් බිහිවීමයි. දිළිඳුකම වැඩිවීමත් සමඟ පංච දුෂ්චරිතයන් ශීඝ්‍රයෙන් පැතිරයන ස්වරූපය පැහැදිලිව දැකගත හැකි ය. පංච ශීලයෙන් දක්වන වැරැදි පහ එක ආගමකට පමණක් සීමා වූ දෙයක් නොව සියලු ආගමිකයන් විනාශය කරා රැගෙන යන කරුණු පහක් බව පරීක්ෂාකාරීව බලනවිට ප්‍රත්‍යක්ෂවනු ඇත. මේ නිසා අන්‍ය ආගමිකයින් ද පංචශීලයේ ඇති වටිනාකම තේරුම් ගත යුතුව ඇත. එවිට සමාජය සමස්තයක් වශයෙන් ශිෂ්ට සම්පන්න වනු ඇත. කුඩා කල සිටම දරුවාට පංචශීලය ගැන අවබෝධයක්, දැනුමක්, හුරුවක්, පුරුද්දක් ලබාදිය යුතුව ඇත. ඒ අනුව ඒ හුරු පුරුද්ද ළමා ජීවිතයෙන් බැහැර නොයනු ඇත.

අප සොරකමින් වැළකිය යුත්තේ නීතියෙන් දඬුවම් ලැබෙන නිසා ද? එසේත් නැත්නම් එයින් වන අපකීර්තිය නිසා ද? නොදුන් දේ ගැනීමෙන් අප වැළකිය යුත්තේ ඒ කිසිවක් නිසා නොව අප සිත කිලිටි වන නිසා ය. ලෝභය අන් සතු දේ අප වෙත ඇදගැනීමට පොළඹවයි. සොරකම යනු වෙනත් කෙනෙකුට අයිති දෙයක් උදුරා ගැනීමකි.

අන්සතු අයිතිය උදුරා ගැනීමට අපට බලයක් නැත. අන් සතු දේ නොගැනීම මෙන්ම අන්සතු දේත් පොදු දේපළත් විනාශ නොකර අප විසින් ආරක්ෂාකර දිය හැකි නම් එය ද ඉතා වැදගත් ය.

මිනිස්ලොවේ පමණක් නොව දෙව්ලොව ද කම්සැප විඳීම සිදුවේ. එය තහනම් කරන හෝ වැරැදියයි කියන ආගමක් මෙලොව නැත. ගිහියන් විසින් කම්සැප විඳීම බුදුරදුන් තහනම් කර නැත. සමාජයේ පැවැත්ම සඳහා පවුල අත්‍යවශ්‍ය ය. දරුවන් ලැබීම සඳහා මවගේත් පියාගේත් සම්බන්ධය තිබිය යුතු ය. එය ශිෂ්ට පැවැත්මකි. බෞද්ධයින් වශයෙන් එක් සැමියෙකුට සිටිය හැක්කේ එක් බිරිඳකි. මෙම සීමාව ඉක්මවා යාම ශිෂ්ට සමාජය අනුමත නොකරයි. පවුලකට අත්‍යවශ්‍ය ගරුත්වය, සමාදානය, සමගිය, විශ්වාසය, සෙනෙහස වැනි ගුණාංග පවත්වා ගැනීමට මෙම සීමා බන්ධනය තිබිය යුතු ය. මෙම බැඳීම් බිඳී ගිය විට එම පවුල් සංස්ථාව දෙදරා යයි. එයින් අශ්ලීල සමාජයක් බිහිවනු ඇත.

බොරුකීම, අසත්‍ය ප්‍රකාශන, අසන්නන්ගේ සිත් පාරන පරුෂ වචන භාවිතය, පුද්ගලයන් අතර භේද ඇතිකරන කේළම, ප්‍රයෝජනයක් නැති හිස් වචන කතාකිරීම, සමාජයට හානිකර වචන භාවිතය වැනි දැයින් වෙන්වීම සමාජ සංහිඳියාවට මොනතරම් පිටුවහලක් වනු ඇත්දැයි සිතා බලන්න.

බුදුරදුන් ආදර්ශයට ගෙන සත්‍ය වචනම කතා කරන්න. අප මුළා කරන, සිහිකල්පනාව නැතිකරන, ධනය විනාශකරන, කලකෝලහල, රෝග පීඩා ඇති කරන, බුද්ධිය නැති කරන, මත්දුව්‍ය පානයෙන් වළකින්න. සිහිය ඇති සතිමත්, බුද්ධිමත්, ක්‍රියාශීලී වැඩකරන සමාජයක් ගොඩ නැංවීම සඳහා ඔබට කළ හැකි මඟපෙන්වීම, සත්කාරය, උදව්ව, උපකාරය ඉටුකරන්න. එය ඔබටත් සමාජයටත් මහත් සැනසිල්ලක්වනු ඇත.