Print this Article


මව් පියවරුන් දෙස රවා බැලීමක් හෝ එපා

මව් පියවරුන් දෙස රවා බැලීමක් හෝ එපා

සෑම පුර පසළොස්වක පොහොයකට ම පළවන ‘බිහිසුණු අපාය’ ලිපි පෙළෙහි අද සඳහන් කරන අපාය විස්තරයෙහි පනස්වන අපාය වන්නේ කච්චවාද නරකය යි.

මනු ලොව සිටිය දී අනුන්ට අයත් ව තිබූ ඇඳ , පුටු, ලී දඬු ආදී ලීයෙන් සකස් කළ දැවමය භාණ්ඩ රැගෙන නො දෙන්නන් සහ සොරෙන් ගස් කපා දමන්නන් කච්චවාද නරකයේ උපත ලබයි. මේ අයට දැඩි දඬුවම් ලැබෙන අතර ඔවුන්ට ලෝ දිය බීමට සිදු වෙයි. අත පය කපා දමයි. ඇදගෙන ගොස් ගින්දරට වීසි කරනු ලබයි. මෙලෙස අනුන්ට කළ අලාභ හානි හේතුකොටගෙන දරුණු විපාක ලැබෙයි. ඒ නිසා අන් සතු දේ ගන්නා, රාජ්‍ය දේපළ විනාශ කරන්නන් මෙම අපායේ උපත ලබයි. ඒ නිසා මේවා ගෞරවයෙන් රැකගෙන අන් සතු දෙයක් බව වටහා ගත යුතු යි. එසේනම්, රාජ සන්තක දේ, තුනුරුවන් සතු දේ, ජාතික සම්පත්, ආරක්ෂා කළොත් සුගතිගාමී විය හැකි යි.

පනස් එක්වන නරකය පානිභිස්ස නරකය යි. මෙහි දරුණු ම වධ හිංසා පමුණුවනු ලබයි. මව්පියන්ට පහර දෙන, ඒ සඳහා දෑත් ඔසවන, මව්පියන් දෙස රවන, අසභ්‍ය වචනයෙන් බැණ දෝෂාරෝපණය කරන්නන් මෙලොව දී ද දුක් විඳ මරණින් මතු පානිභිස්ස නරකයේ උපත ලබයි. ඔවුන්ට එකවර කුළුගෙඩි පහර හාර පන්සියය හිසවට වදියි, අතපය කපා දමයි, දෑස් ගලවා දමයි, දඬු අඩුවට දමයි, ගින්නට විසි කරයි.

කුඩා කල ලේ කිරි කර පොවා ආදරයෙන් ඇති දැඩි කළ සිල්වත්, ගුණවත් මව් පියන්ට අඩත්තේට්ටම් කරන පාපකාරී දරුවන්ට ලැබෙන විපාක අප්‍රමාණ යි. මව් පියන් දෙස රවා බැලුවත් දෑස් අඳවන බව ධර්මයේ සඳහන් වෙයි. එසේනම්, මව්පියන්ට සලකා, වැඳුම් පිදුම් කර, උපස්ථාන කරන , ගෞරවය පුද කරන පින්බර දරුවන් සුගතිගාමී ව දෙව් රජවරු වෙයි. දෙවි දේවතාවුන් සේ උපත ලබා කිසිවකින්වත් අඩු පාඩුවක් නො වෙයි. මහා පුණ්‍යවන්ත ජීවිත පෙළක් ලබා ගෙන සංසාර ගමන කෙළවර කරගන්නා පින්කමක් වෙයි.

පනස් දෙවන අපාය වේළුදා නරකය යි. මනු ලොව සිටිය දී වැඩි ලාභ අපේක්ෂාවෙන් අනුන් රවටමින්, සොර වෙළෙඳාම් එනම් කූට වෙළෙඳාම් කළ අය යි. කංස කූට (රන් , රිදී කර දෙන්නන්), මාන කූට( මනින සොර ක්‍රම), තුලා කූට(හොරට මැනීම) ආදිය කූට වෙළෙඳාම් ක්‍රම තිබෙයි. එසේම මේ වෙළෙඳාම් ක්‍රම අනුන් දෙස රවමින්, අනුන්ට අවැඩක් වන සේ කරන්නන් මෙලොව දී ම අන්ත අසරණ වෙයි. දුගී , දුප්පත් අසරණ බවින් වාසය කරන්න සිදු වෙයි. මරණින් මතු වේළුදා නරකයට වැටී දුක් විඳියි.

වේළු යනු උණ පතුරු යි. උණ පතුරු සේ මේ අය වේළුදා නරකයේ පිළිස්සෙමින් පැසෙයි. අනුන්ට කළ සොර වෙළෙඳාම නිසා නිරි සතුන් මිය යන්නේ නැතිව උණ පතුරු සේ දැවී තැවී නැවත උපත ලබයි. කෙතරම් ම වේදනාවක් ඇති ද, බලන්න? ඒ නිසා සොරට වෙළෙඳාම් කරන්නට එපා. කරුණාවෙන්, මෛත්‍රියෙන් යුතුව අනුන්ට හිරිහැර නොවන සේ සාධාරණව වෙළෙඳාම් කිරීමෙන් මෙලොව පරලොව සුගතිගාමී විය හැකි යි.

පනස්තුන්වන නරකය ඔසුපත් සංජීව නරකය යි. මෙහි උපත ලබන්නේ මනු ලොව සිටිය දී මිනිසුන්ට මහා දරුණු ලෙස වධ දෙන අය යි. සමහරු නිවසේ දැසි දස්සන්ට, ආයතනවල සේවක, සේවිකාවන්ට දරුණු වධ හිංසා පමුණුවනු ලබයි. කරගත නො හැකි වැඩ පමුණුවයි. එහි විපාක සේ මෙලොව මෙන්ම පරලොව ද ඔසුපත් සංජීව නරකයට වැටෙයි. මෙහි ලැබෙන දුක සීමාවක් නැහැ. කෑ කෝ ගසා විළාප නඟනවා. මින්පසු අනුන්ට කරදර පීඩා නොකරන බවට දිවුර , දිවුරා ප්‍රකාශ කරනවා. ඒත් වැඩක් වන්නේ නැහැ. කළ පාපයට ඔසුපත් නරකයේ ම පරමායුෂ විඳියි. තවත් වැරැදි ඇත්නම්, ඒ වැරැදි වලට අනෙකුත් අපායන්වල වැටී දුක් විඳින්න සිදු වෙයි. මේවා හොඳට දැන කියාගෙන කවුරු වුණත්, පාපයෙන් නිදහස් ව පිනක් දහමක් කරගෙන තම ජීවිතය ගොඩ යන්න මහන්සි ගත යුතු යි. කරදර, කම්කටොළු බාධක ලැබෙන්නේ පව මුල් කරගෙන ම යි. පිනට දහමට ගුණයට ලැදිව කටයුතු කළොත් නම්, හොඳයි. අනුන්ට වධ දීමෙන් මේ නරකයට වැටී අපමණ දුක් විඳියි. අනුන්ට කරුණාවෙන් මෛත්‍රියෙන් අවවාද අනුශාසනා දෙන්නන්, අනුන්ට සලකන, උපස්ථාන කරන්නන් සුගතිගාමී ව උපත ලබයි.

පනස් හතර වන අපාය මහා ජාල නරකය යි. මෙහි උපත ලබන්නේ දැල් , බිලී කටු මඟින් මාලු අල්ලන අය යි. කෙසේ හෝ දැල් දමා සත්ත්ව ඝාතනය කළ අය මෙහි උපත ලබයි. මේ සතුන් දඟලා, උඩ පැන සාප කර මරණයට පත් වෙයි. මෙවැනි පාපකාරීන් මහා ජාල නරකයට වැටෙයි. මෙහි ඇත්තේ ගිනි දැල් ය. ගිනි දැලෙහි ම වෙලි, වෙලී , එහි ඇති උල් කටු වල වෙලී වේදනාවෙන් මරහඬ නඟන නිරි සතුන් ඇදගෙන යයි. මනු ලොව සිටිය දී සතාට දුන් දඬුවම සේ සිය දහස් ගුණයකින් විපාක මහා ජාල නරකයේ දී ලැබෙයි. ඒනිසා කිසිවිටෙකත් මැස්සෙක්, මදුරුවෙක් හෝ හිසේ සිටින උකුණෙක්වත් මරන්න එපා. ප්‍රාණඝාත නොකරන පින්වතුන් අපායෙන් නිදහස් ව දීර්ඝායු ලබා සුගතියකම වාසය කරයි.

ඒ නිසා කවුරුත් පිනට, දහමට, ගුණයට ලැදිව කටයුතු කළ යුතු යි. ස්වාමියාට, ස්වාමි දියණියට සලකා, දරුවන්ගේ අධ්‍යාපනයට උර දෙමින්, පින් දහම් කර සියලු පාපයන්ගෙන් වැළකුණොත්, අපායෙන් නිදහස් ව සුගතිගාමීව නිවන් පසක් කර ගත හැකි යි.