Print this Article


රුවන්වැලි සෑ රදුන් අභියස මෙත්මග පදනමෙන් පින්කම් මාලාවක්

රුවන්වැලි සෑ රදුන් අභියස මෙත්මග පදනමෙන් පින්කම් මාලාවක්

රටටත්, ජනතාවටත් ආශිර්වාද පතා අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියස දී 05 වන වතාවටත් පවත්වනු ලබන පින්කම් මාලාව මෙම මස 26 හා 27 දෙදින පැවැත්වීමට මෙත්මග පදනම කටයුතු යොදා ඇත.

ඒ අනුව 26 වන දින පෙරවරු 6.30 ට රුවන්වැලි මහ සෑ රදුන්ට කිරි ආහාර පූජාව පවත්වන අතර අනතුරුව සීල භාවනා වැඩසටහන් ද එදිනම ව්‍යාංජන 32 කින් සමන්විත සම්බුද්ධ පූජාව රුවන්වැලි මහ සෑ රදුන් අබියස පූජා කිරීමට නියමිත ය.

පසුගිය 19 වන දින මාතර ඓතිහාසික බෝධිරාජයාණන් වහන්සේ අභියස දී කප්රුක රැගත් රිය පෙරහර අනුරාධපුර දක්වා ගමනාරම්භ කරන ලදී. එම කප්රුක 26 වන දා සවස 3.30 ට ථූපාරම චෛත්‍ය රාජයාණන් අභියස සිට රුවන්වැලි සෑ රදුන් හා පරිවාර චෛත්‍යයන් වෙත හේවිසි සහිතව පූජාවන් සිදුකිරීමට නියමිත අතර නෙළුම් මල් ලක්ෂයක් පූජා කිරීම, ගිලන්පස හා ඖෂධ වර්ග 108 පූජාව, සුවඳ පූජාවන් පූජා කිරීම ට ද මෙත්මග පදනම සංවිධානය කර ඇත.

රාත්‍රී 7.00 සිට 8.00 දක්වා රුවන්වැලි මහ සෑ රදුන් අභියස දම් දෙසුමකි. එදින රාත්‍රීයේ සිට පසුදා පහන්වනතුරු රතන සූත්‍රය 108 වරක් සජ්ඣායනා කිරීමට නියමිත ය. 27 වන දින විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට රුවන්වැලි මහ සෑයටත් කිරි ආහාර පුජාවන් සිදු කෙරේ. රත්ගම, මෙත්මග භාවනා මධ්‍යස්ථානයේ සිට රතන සූත්‍රය 108 වරක් සජ්ඣායනා කළ පිරිත් පැන් හා පිරිත් නූල් බෙදාදීමටත් නියමිත ය. ශාස්ත්‍රපති ඕවිටිගමුවේ සංඝසීල හිමියන්ගේ අනුශාසනා පරිදි මෙත්මග පදනමේ හා ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවගේ සංවිධානයෙන් එම වැඩසටහන් සිදු කෙරේ.