Print this Article


සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ළමා ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම් ,අදහස් පුර අටවක, පුර පසළොස්වක, අව අටවක, අමාවක බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


පැන විසඳුම් ජයග්‍රාහකයා:

පුරිසදම්මසාරථි ගුණය

මනුෂ්‍ය, තිරිසන් , යක්ෂ,දේව, බ්‍රහ්ම ආදි සියලු සත්ත්ව සමූහයා අතරින් නොහික්මුණු පිරිස් හික්මවා ගැනීමේ මහා බලයක් බුදුරජාණන් වහන්සේට තිබුණි. එම බලය නව අරහාදී බුදුගුණවල පුරිසදම්මසාරථි ගුණය ලෙස දැක්වේ. නො හික්මුණූ පිරිස් හික්මවා ගැනීමට උන්වහන්සේ භාවිත කළේ කරුණාව, මෛත්‍රිය , ඉවසීම, ප්‍රඥාව වැනි වූ අධ්‍යාත්මික ගුණාංග ය. මෙකී උතුම් බුදුගුණය මත පිහිටා දමනය කළ පිරිස් අතර අංගුලිමාල එක් අයෙකි. අහිංසක නම් තරුණයා තම ගුරුවරයාගේ පවිටු ඉල්ලීම ඉටුකිරීමට අංගුලිමාල කෙනෙක් විය. ඔහු හමුවන ඕනෑම අයෙකුගේ තරාතිරම, ඥාතීත්වය, හිතවත්කම, නොබලා සිය දහස්ගණන් මිනිස් ජීවිත විනාශ කළේ ය. මේ තත්ත්වය දුරු කිරීමට බුදුරජාණන් වහන්සේ අංගුලිමාල වෙසෙන කැලයට වැඩම කොට ඔහු දමනය කළේ දඬු මුගුරු, ආයුධවලින් තොරව කාරුණික වචනවලිනි. අවසානයේ අංගුලිමාල පැවිදිව රහත් උතුමකු බවට පත් විය.

මීට අමතරව ආලවක, සුචිරෝම , ඛරරෝම වැනි යක්ෂයින් ද, දේවදත්ත තෙරුන් විසින් එවනු ලැබූ නාලාගිරි නම් වූ දරුණු ඇතු ද බුදුරදුන්ගේ සිරිපා අබියස දණ නැමුවේ උන් වහන්සේගේ උතුම් මෛත්‍රීය ගුණය නිසා ය . විවිධ මත කර පින්නාගෙන සිටි පුද්ගලයින් ද තම ප්‍රඥා මහිමයෙන් බුද්ධ ශ්‍රාවකයින් බවට පත්කරලීමට උන්වහන්සේට හැකිවිය. සච්චක,බක බමුණා , උපාලි ගෘහපති තුන්බෑ ජටිලයන් ආදී පිරිස් උදාහරණ ලෙස ගත හැකි ය. මේ සියලු දෙනා දමනය කරන ලද්දේ බුදුරදුන්ගේ අධ්‍යාත්මික ශක්තිය හා ගුණ බලය මඟිනි.උන්වහන්සේ ගේ පුරිසදම්මසාරථි ගුණය තුළින් පිළිබිඹු වන්නේ නොහික්මුණු දරදඬු සත්ත්වයින් හික්මවා ගැනීමට දඬුමුගුරු අවි ආයුධ හෝ සැඩපරුෂ වචන භාවිත නොකොට එම පුද්ගලයින් සංවරශීලි වචන හා විවිධ ක්‍රමවේද මගින් සන්සුන් කරගත හැකි බවයි.


අගනා ඔවදන්

පුද්ගලයෙකු උසස් වන්නේ බාහිර පෙනුමෙන් නොව අභ්‍යන්තර ගුණාංග වලින් ය.
(කට්ටහාරි ජාතකය)

දැඩි ආශාව පුද්ගලයා විනාශ කරයි.
(කපොත ජාතකය)

බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් වෛරය තුරන් කළ හැක.
(උරග ජාතකය)

උපාය දන්නෝ අපායේ නො වැටෙති.
(නලපාන ජාතකය)

උඩඟුවීමෙන් තමා ම පිරිහේ
(විනීල ජාතකය)


පොහොය දාට අපේ පන්සල

පොහොය දාට පායන පුන් සඳ එළිය
තුරන් කරයි හද තුළ ඇති දුර්ගුණය
බෝ සෙවණේ සිලි සිලි හඬ සුමිහිරිය
පොහොය දාට අපෙ පන්සල සුන්දරය

බුදු හිමියන් ගුණ කඳ සැම විට කියන
ලොකු හාමුදුරුවෝ දෙසනා බුදු බණ පදය
සිත් තුළ තැම්පත් කරනා ගුණ නිතින
පොහොය දිනේ සුවපත් වෙයි සියලු දන

සංසාරේ සැරි සරනා සියලු දෙන
විඳනා දුක් කඳ නිවනා පොහොය දින
සිත් සුවපත් කරනා මෙත් සිසිල් ගුණ
දහම් දියෙන් නෑවී යයි සියලු දෙන


දුරුතු පොහොය

සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී නව මසක් ගත වූ දුරුතු පෝදා ලක්දිව සම්බුදුසසුන බබළන ද්වීපයක් ලෙස දැක, මහවැලි ගඟ අසබඩ වූ යක්ෂ ගෝත්‍රිකයන් ජීවත් වූ මහියංගන ථූපය පිහිටන ස්ථානයට ඍද්ධියෙන් වැඩම කළහ. එහි සිටි යක්ෂයන් ප්‍රාතිහාර්ය පා බිය ගන්වා ගිරි දිවයිනට යවන ලදී. ඉන්පසු උන්වහන්සේ දහම් දෙසූහ. එදා ශ්‍රීපාදස්ථානයට අධිපති සුමණ සමන් දෙව් මහරජු ධර්මය අසා සෝවාන් ඵලයට පත්වූහ. සුමන දෙව් රජු පූජා වස්තුවක් ඉල්ලා සිටිය දී බුදු සමිඳුන් කේශ ධාතු මිටක් ප්‍රදානය කළ සේක. සුමණ සමන්දෙව් රජු එය රන් කරඬුවක බහා බුදුහිමි වැඩ සිටි ස්ථානයේ තැන්පත් කොට සෑයක් ඉදිකළහ. එම සෑය මියුගුණ සෑය හෙවත් මහියංගණ සෑය වේ. බුදුරදුන්ගේ ආදාහනයේ දී උන්වහන්සේගේ ගී‍්‍රවා ධාතුන් වහන්සේ මෙම සෑයෙහි නිදන් කොට දොළොස් රියන් උසට සෑයක් ඉදි කළහ. උද්ධචූලාභය රජු තිස්රියන් උසටත්, දුටුගැමුණු රජු සැට සතරක් උසටත් සෑය බඳවන ලදී. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිද්දී ඉදිවූ එකම චෛත්‍යය මියුගුණ සෑය වේ.


දුරුතු පොහොය වරුණ

වසරේ පළමු පොහොය දුරුතු පොහොය යි. අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වී ඇත්තේ ද අදවන් දිනයක ය. ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනයේ සිට රජගහනුවරට වැඩම කරන අතරදී තුන්බෑ ජටිලයන් වූ උරුවෙල් කස්සප, නදී කස්සප, ගයා කස්සප දමනය කළහ. ඉන් අනතුරුව පළමු ලංකා ගමනය සිදුවූයේ මහියංගණය ප්‍රදේශයටය.එදා එහි වාසය කළේ යක්ෂ ගෝත්‍රිකයන් පිරිසකි. එම යක්ෂයන් දමනය කොට දම් දෙසූහ. එතැන සිටි සුමන සමන් දෙවියන් ධර්මය ශ්‍රවණය කොට සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. ලංකාවේ ප්‍රථම දාගැබ නිර්මාණය වූයේ ද දුරුතු පොහොය දිනයක ය. බුද්ධත්වයට පත්වී පළමු වසරේ දී ම අප ලක්දිවෙහි දාගැබක් ඉදිවීම බෞද්ධ ජනතාව වශයෙන් අපට වැදගත් සිදුවීමකි.