Print this Article


ලජ්ජාව සහ බිය

ලජ්ජාව සහ බිය

ලෝකයේ කොතැනක සිටියත් , කවර ආකාරයකින් ජීවත් වුවත් සෑම මිනිසෙකුගේ ම එකම අපේක්ෂාව වන්නේ හිංසාවක් පීඩාවක් හා හිරිහැරයක් නැතිව සතුටින් ජීවත් වන්නේ කෙසේද යන්න යි. මෙම ප්‍රාර්ථනාව ඉෂ්ට වීමට නම් අප ජීවත්වන ලෝකය අපට ජීවත්වීමට අවශ්‍ය පරිදි සැකසී තිබිය යුතු ය. ලෝකය යනු අප සහ අප අවට පවතින පරිසරය යි.

මිනිසා ද ස්වභාව ධර්මයේම කොටසකි. ඔහුට කිසිදු හිරිහැරයකින් තොරව පැවතීමට ස්වභාව ධර්මයේ අනෙක් සියලුම වස්තූන් අනේකවිධ අයුරින් උපකාර කරයි. ගහ කොළ, සුළඟ, වැස්ස, ඇළ දොළ, ගංගා, වළාකුළු, අව්ව, පින්න, සීතල, උණුසුම, සතා සිවුපාවන් සහ කුරුලු කිරිල්ලියන් ආදීන් ගැන සිතන්න. එකී සකලවිධ වස්තූන් අපගේ කායික මානසික සතුට වෙනුවෙන් කරනු ලබන දේ අසීමිත ය. එහෙත් අවාසනාවන්ත සිද්ධිය නම් මෙකී වස්තූන් කෙරෙහි උසස් මනසක් සහිත යැයි සැලකෙන මිනිසා දයාබර නොවීම හා ඒවාට හිංසා කිරීමයි. මේ නිසා ලෝකය මිනිසා ඇතුළු සත්ව ප්‍රජාවගේ පැවැත්මට දිනෙන් දින අහිතකර තැනක් වෙමින් පවතී.

ඉහත කී කරුණ බුදුන් වහන්සේ මැනවින් දැන සිටියහ. ලෝකය පාලනය වීමක් අවශ්‍ය බව දත් බුදුන් වහන්සේ ලෝකයේ යහපත් පාලනයට අවශ්‍ය කරුණු දෙකක් පෙන්වා දුන්හ. සුක්ඛ ලෝකපාලන ධම්ම යනුවෙන් හැඳීන්වෙන් ඒ කරුණු දෙක නම් ලජ්ජාව හා බිය යි. හිරි ඔත්තප්ප යන පද දෙක යටතේ බුදුදහමේ එය විස්තර කෙරේ. මේවා කුශල චෛතසික දෙකකි. අහිරික හෙවත් පවට, වරදට ලජ්ජාවක් නැතිකම හා අනොත්තප්ප හෙවත් ඊට බියක් නැතිකම අකුශල චෛතසික දෙකකි. මේවා කෙනෙකු තුළ පවති මනෝභාවයන් ය. මෙයින් මෙකල අපට දක්නට ලැබෙන එක් ප්‍රබල කරුණක් වන්නේ වැරැදි කිරීමට ලජ්ජාවක් නැතිකමයි. ලජ්ජාවක් නැත්තේ විශේෂයෙන්ම තිරිසනුන්ට ය. බුදුදහමේ ලජ්ජා නැති මිනිසුන් සමාන කොට ඇත්තේ ගම් ඌරන්ට ය. ඊට හේතුව ග්‍රාම සූකරයන්ට අසූචි අප්‍රිය හෝ පිළිකුල් නැත්තාක් මෙන්ම ලජ්ජා නැති මිනිසාට ද වැරැදි කිරීමට නැතහොත් පව් කිරීමට ලජ්ජාවක් නොතිබීම යි. ලජ්ජාව නැති නිසා තිරිසන් සත්වයන්ට විළිවසා ගැනීමට වුවමනාවක් නැත. කෑම බීම, ගමන් බිමන්, නිදාගැනීම ආදිය සම්බන්ධ කිසිදු චාරිත්‍ර වාරිත්‍ර පිළිපැදීමක් ඔවුන්ට අවශ්‍ය නැත. මේ නිසා තිරිසන් ලෝකය තුළ හොඳ නරක, හරි වැරැදි, යුතු අයුතුකම් ආදිය පිළිබඳ සැලකිල්ලක් ද සිදු නොවේ.

මිනිසුන් වශයෙන් ජීවත්වන අපට ඉහත කී තිරිසනුන් ලෙස කටයුතු කිරීමට මිනිස් සමාජය තුළ කිසිදු අයිතියක් නැත. සදාචාරමය වශයෙන් හෝ නීතිමය වශයෙන් හෝ ලෝක ධර්ම අනුව හෝ යමෙක් එසේ ජීවත් වන්නේ නම් , ඔවුන් සැලකෙන්නේ පහත් ගණයේ මිනිසුන් වශයෙනි. තිරිසන් සත්වයෝ මේ මව්පියෝ ය, දුව ය, පුතා ය, නැන්දා ය, මාමා ය යනාදී වශයෙන් කිසිවෙක් හඳුනා නො ගනිති. ඔවුන්ට ඇත්තේ තිරශ්චීන සංඥාව හෙවත් මෘග සංඥාව පමණකි. එලෙසින් මිනිස් ලොව උපන් යමෙක් මව්පියන්, දරුවන්, බිරිඳ හෝ ස්වාමියා, අක්කා, අයියා, මල්ලී යනාදී සම්බන්ධකම් හෝ මේ බුදුරජාණන් වහන්සේ ය, මේ භික්ෂූන් වහන්සේ නමකි, මේ ගුරුවරයෙකි, මේ සමාජ හිතෛෂී පුද්ගලයෙකි යනාදී කිසිවක් මායිම් නොකොට, ඔවුනොවුන් කෙරෙහි යුතුකම් හා වගකීම් ඉටු නොකරයි නම්, ගරු සත්කාර නොකරයි නම්, ඒ කවරෙක් වුවත් තවත් එක් පුද්ගලයෙක් පමණකි යන සංඥාවෙන් කටයුතු කරයි නම් ඔහුත් ඉහත කී තිරිසන් සත්වයාත් අතර කිසිදු වෙනසක් නැත. මෙසේ වෙනසක් නොදකින්නේ ලජ්ජාව නමැති මනෝභාවය ඔහු තුළ ක්‍රියාත්මක නොවන නිසා ය.

ලජ්ජාවක් නැතිකම යනුවෙන් මෙහිලා අදහස් කෙරෙනුයේ පවක්, වරදක් ,අයුක්තියක් හෝ අසාධාරණයක් කිරීමට පවතින ලජ්ජාවයි. වරදක් කිරීමට පසුබට නොවීමයි. ලජ්ජා නැති මිනිසා නිතරම සිතනුයේ ආත්මාර්ථකාමී ලෙස ය. ඔහු තමන්ගේ යහපත වෙනුවෙන් අනුන්ගේ දේපළ පමණක් නොව ජීවිත වුවද විනාශ කිරීමට පසුබට නොවේ. ලෝකයේ අලජ්ජී මිනිස්සු යනු යහගුණ නොදන්නෝ ය. ඔවුහු සත්පුරුෂ අසත්පුරුෂකම් නො දනිති. දහම් නොදහම් නො දනිති. තම මව්පිය දූදරු ආදීන් කෙරෙහි වුවද දයාබරිතව ක්‍රියා නො කරති. රාජ්‍ය සේවකයෙක් වුවහොත් නිසියාකාරව වැඩ නො කරති. වංචා කරති. පොදු දේපළ සොරා කති. වනසති.

බුදුන් වහන්සේ මෙසේ වදාළහ. “කපුටෙකු මෙන් ගසා කෑමෙහි ශූර වූ, ලජ්ජා නැති අනුන්ගේ ගුණ මකන, ගෙන් ගෙට දුවන, කිළිටි දිවි පෙවෙතක් ඇති මිනිසුන්ට පහසුවෙන් ජීවත්විය හැකි ය.” එසේම “පිරිසුදු ක්‍රියා කිරීමට බලන, පවට වරදට ලජ්ජා ඇති, වැරැදි දිවි පෙවෙතක් නැති තැනැත්තාට ජීවත්වීම අපහසු ය.” (ධම්මපදය).

මෙසේ හෙයින් ඇතැම් මිනිසුන් ලෙහෙසියෙන් පහසුවෙන් ජීවත්වන සේ පෙනුණත් ඔවුන්ගේ ජීවිතය කපුටන්, බල්ලන් වැනි සතුන්ගේ ජීවිතවලට වඩා වෙනසක් නැත. මෙය දුකසේ හෝ නිවැරැදිව ජීවත්වන මිනිසුන් විසින් පැහැදිලිව තේරුම් ගතයුතු කරුණකි. ආගමක් , ධර්මයක් , නීතියක් , යුක්තියක් නැති නිර්ලජ්ජිත මිනිසුන්ගේ ලෙහෙසි පහසු ජීවිතය කිසි දිනෙකත් තම ජීවිතයට ආදර්ශයක් කොට නොගත යුතු ය. කුමක් නිසා ද යත් යථාර්ථයක් වශයෙන් එහි දරුණු මායාවක් හා ඇස් බැන්දුමක් සැඟවී ඇති නිසා ය. නිර්ලජ්ජිත ගති සිරිත් ඇති මිනිසුන් ඔවුන්ගේ අපා දොර ඔවුන් විසින්ම විවර කොටගෙන ඇත. සුඛිත මුදිතව වෙසෙත් යැයි පෙනෙන ඔවුන්ගේ සැබෑ ජීවිත කතන්දරය ඊට වඩා වෙනස් ඛේදවාචකයකි. සැබෑව නම් ඔවුන් මෙලොවදීම අපාගත වූවන් වී ඇති බවයි. බණ පොතෙහි සඳහන් බුදුරජාණන් වහන්සේගේ මෙම ප්‍රකාශය දෙස බලන්න.

“ගිහි පැවිද්දන් අතුරෙන් දැන දැන වැරදි කරන අය හීන පුද්ගලයෝ ය. ඔවුනට බලය දෙන තැනැත්තේ ද මහත් දුකට පැමිණෙන්නේ ය.

මේ ලෝකයෙහි ගෘහස්ථ ප්‍රව්‍රජිත යම් කිසිවෙක් අලජ්ජී වූ පාපීන්ට බලය දී මා විසින් පණවන ලද කෙළ සුවහසක් සක්වළ පැතිර පවතින්නා වූ මාගේ ආඥා චක්‍රය මර්දනය කරවන්නේ නම්, ඒ තෙමේ ජීවත් වන්නේ ම ඒකාන්තයෙන් අපායෙහි උපදනේ ය, හෙවත් ජීවත්ව සිටියදීම ඒ මනුෂ්‍ය ශරීරයෙන් ගොස් ගිනිගෙන දිලිසෙන ලොහොදියෙන් පිරී තිබෙන අතිගම්භීර වූ ලොහොකුඹු නිරයෙහි උපදනේ ය.“

නිර්ලජ්ජිත වූවන් පමණක් නොව ඔවුන්ගේ ක්‍රියාවන් අගය කරමින් ඔවුන්ට අනුබල දෙන පුද්ගලයන් පවා සාංසාරික වශයෙන් මෙලොවදීම අපාගත වන බව බුදු ඇසින් දුටු කරුණකි. අප කිසිවිටෙකත් යහපත් දේ කිරීමට ලජ්ජා විය යුතු නොවේ. යහපත් දේ කිරීමට ලජ්ජාවීම දුර්වල පෞරුෂත්වයේ ලක්ෂණයකි. යහපත් දේ කිරීම උසස් පුද්ගලයන්ගේ ලක්ෂණයක් වන බැවින් එයට පසුබට නොවී ඉදිරිපත් වීමෙන් උසස් පෞරුෂත්වයක් ගොඩනගා ගත යුතු ය. එසේම අයහපත් දේ කිරීමට ලජ්ජා වීමත් උසස් ගුණයකි. ලෝකය ස්වභාවයෙන්ම පාපයට නැඹුරු වූවක් බැවින් බොහෝ අය තුළ ඇත්තේ නිර්ලජ්ජිත ලෙස යුක්තිය, ධර්මය, සාධාරණය කෙළෙසීම යි.

ලෝකයේ ජීවත් වන සෑම පුද්ගලයෙකුටම අයිති භූමිකාවක් ඇත. මවක, පියෙකු, දරුවෙකු, ස්වාමියෙකු හෝ භාර්යාවක වශයෙන් හෝ, රාජ්‍ය සේවකයෙකු, ගුරුවරයෙකු, ව්‍යාපාරිකයෙකු, වෛද්‍යවරයෙකු, නීතිඥයෙකු, දේශපාලනඥයෙකු, පූජකයෙකු හෝ පැවිද්දෙකු යනාදී වශයෙන් සමාජයේ සෑම පුද්ගලයෙකුටම තම කටයුතු කිරීමේ දී පැවරෙන යුක්තියක් , ධර්මයක්, ක්‍රමයක් ලෝකයේ සම්මතව පවතී. තම බුද්ධිය බලය හෝ හැකියාව යනාදී කිසිවක් ඔප් නංවමින් ඒවා නිර්ලජ්ජිත ලෙස කඩ කිරීමට යමෙක් පෙළඹේ නම් , ඔහු හීන, පහත්, ළාමක මිනිසෙක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. නිදසුනක් ලෙස අල්පේච්ඡ බව භික්ෂුවක තුළ තිබිය යුතු ගුණාංගයකි. එහෙත් බුද්ධ කාලයේ එක්තරා භික්ෂුවක් සිවුරු පිරිකර ආදිය බොහෝ ලෙස රැස් කරමින් සිටියේ ය. එනිසාම ඔහු බහුභාණ්ඩික භික්ෂුව යැයි ප්‍රකට විය. මෙම අප්‍රිය දර්ශනය දුටු සෙසු භික්ෂූහු ඒ බව බුදුන් වහන්සේට දැන්වූහ. බුදුරජාණන් වහන්සේ එම භික්ෂුව කැඳවා මෙබඳු අල්පේච්ඡ වූ ශාසනයක හිඳ මෙසේ බහුභාණ්ඩික වූයේ කවර හෙයින් දැයි විමසා එය නිග්‍රහ කොට අවවාද කළ සේක. එයින් කෝපයට පත් බහුභාණ්ඩික භික්ෂුව නිර්ලජ්ජිත ලෙස තම සිවුර ශරීරයෙන් ඇද ඉවත්කොට මට ඉන්නට කියන්නේ මෙසේ දැයි බුදුරදුන්ගෙන් ප්‍රශ්න කළේ ය. එහිදී බුදුන් වහන්සේ ලජ්ජා නැතිකම නිසා එම භික්ෂුව පෙර ආත්මභාවවලදී ද මෙබඳුම හැසිරීම් ඇතිව, ව්‍යසනයට පත්වූ බව පැහැදිලි කර දුන්හ. එසේම මෙබඳු චරිත ඇතිව විසූ ඡබ්බග්ගිය, සත්තරස වග්ගිය යනාදී වශයෙන් කණ්ඩායම් ගැසී සිටි භික්ෂූන් මෙන්ම භික්ෂුණීන් පිළිබඳ ව විනය පිටකයෙහි සඳහන් වේ. ඔවුන්ගේ සුවිශේෂී ලක්ෂණය වූයේ ලජ්ජා නැතිකම යි. ඔවුන්ගෙන් ශාසනයට සිදු වූ හානි ද අපමණ ය. එය පොදු සමාජයේ පැවැත්මට ගැටලුකාරී විය. පෞද්ගලික වශයෙන් ඔවුන්ට සිදුවූ අනර්ථය ද ඉමහත් ය.

මිනිසුන් වන අප තිරිසනුන් සිතන විධියට නො සිතීමටත්, ඔවුන් ක්‍රියා කරන පරිදි කටයුතු නො කිරීමටත් වග බලා ගත යුතු ය. දුර්ලභ මිනිස් ආත්මභාවයක් ලබා යමෙක් ඒ බැව් තේරුම් නොගෙන මෙලොවදී ම තම ජීවිතය අපාගත කර ගනී නම් ඊට බලපෑ හැකි හේතු කිහිපයක් තිබිය හැකි ය. ඇතැම්විට එය තමා ඉගෙනගත් ශාස්ත්‍රයේ තිබෙන දුර්වල කමක් විය හැකි ය. එසේ නැත්නම් තමා ජීවත් වූ පරිසරයේ හා ඇසුරු කළ පුද්ගලයන්ගේ හෝ ආගම ධර්මයට නිගරු කළ නිසා විය හැකි ය. නො එසේ නම් පින්මඳ බව හෝ බුද්ධියේ මඳ බව විය හැකි ය. එසේත් නැත්නම් සාංසාරික බලපෑමක් නිසා විය හැකි ය. ඒ කවර හේතුවක් නිසා වුවද ලෝකය පවතින්නේ ලෝක පාලක ධර්ම නිසා ය. වැරැදි අයුක්ති සහගත සහ අසාධාරණ දේ, අකුසල් යැයි සම්මත දේ කිරීමට ලජ්ජාවීමත් , බියවීමත් අප තුළ ගොඩනැගී තිබිය යුතු ය. යමෙකු තුළ එය නො පවතින්නේ නම් ඔහු ලෝකයේ පහත් මිනිසෙකු බව මෙන්ම වැරැදිකරුවෙකු හා අපරාධකාරයෙකු වන බව තේරුම් ගන්න. එසේම ඔහුට මරණින් මතු හිමි වනුයේ අපාගාමී වීම බවත් වටහා ගන්න. එවිට ඔබ ලෝකයට ප්‍රියශීලී , ස්වභාව ධර්මයේ අමිල දායාදයක් වනු ඇත.