Print this Article


බෝසත් දරුවන්ට: සදෙව් ලොව විඳින සුව

සදෙව් ලොව විඳින සුව

පින්වත් දුවේ, පුතේ, අද දුරුතු පුර පසළොස්වක පොහොය දවස. අපේ දිවිමග එකම ආත්ම භවයක දී කෙළවර නොවී ආත්මයෙන් ආත්මයට ගමන් කරන බව දන්නවා නේද?

මේ සංසාර ගමනේ අකුසල් කළොත් දුගතිගාමී වන බව පසුගිය ලිපි වලින් අප දීර්ඝ ලෙස කතා කළා. දුගතිගාමී කීවේ අපාය ගැන . අද අපි කතා කරන්නේ යහපත් දේ සිතන, යහපත් දේ කියන, යහපත් දේ කරන අය උපදින තැන් පිළිබඳව. ඒ කියන්නේ 'සුග්ගතිංගතෝ' සුගතිගාමී ආත්ම ගැන. සුගතිගාමී ආත්ම කියලා කියන්නේ. දිව්‍යලෝකවලට. තවත් සුගතිගාමී ලෝක තිබෙනවා.රූප ලෝක, අරූප ලෝක, ඒවාට කියන්නේ බ්‍රහ්ම ලෝක කියලයි. අද අපි කතා කරන්නේ දිව්‍ය ලෝක ගැන. මේවාට සදෙව් ලොව කියලත් කියනවා.

දරුවනේ, සංසාර ගමනේ ඇවිදින අපි නිවන් දකිනතුරු උපදින ලෝක තුනක් තිබෙනවා. කාම ලෝකය, රූප ලෝකය හා අරූප ලෝකය යනුවෙන්. කාම ලෝකයේ භූමි එකොළහක් තිබෙනවා. ඒ තමයි දරුවනේ, අපාය සතර, දිව්‍ය ලෝක සය සහ මනුෂ්‍ය ලෝකය. මේ කාම භූමි එකොළහෙන් ඉතාම සැප සම්පත් ලබන, භූමි වන්නේ දිව්‍ය ලෝකයි. සැපයෙන්, බලයෙන්, රූපයෙන් අනූන දිව්‍ය ලෝක හයක් තිබෙනවා. ඒ තමයි චාතුර්මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාන රතිය හා පරනිම්මිත වසවර්තිය.

චාතුර්මහා රාජිකය

චාතුර්මහා රාජිකය යන්නෙහි තේරුම සතර දෙනෙක් පාලනය කරනවා යන්නයි. ඒ කියන්නේ රාජ්‍ය සතරක් තිබෙනවා. මේ සතර පාලනය කරන්නේ සතරවරම් දෙවිවරු. ඒ තමයි ධෘතරාෂ්ඨ, විරූඪ,වීරුපාක්ෂ හා වෛශ්‍රවණ, මේ දිව්‍ය ලෝකයට අධිපති වන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය ලෝක අතරින් පහළින් ම පිහිටා තිබෙන්නේ චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයයි. මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් හතළිස් දෙදහසක් දුරින් මේ දිව්‍ය ලෝකය පිහිටා තිබෙන්නේ. මේ දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියන්, මිනිස් ලෝකයේ මිනිසුන් සිදු කරන හොඳ වැඩ, නරක වැඩ, කුසල් අකුසල් දෙස දිවැස් හෙළාගෙන බලා ඉන්නවා. ඒ වගේම දරුවනේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී මේ දිව්‍ය සමූහයා සූත්‍ර දේශනා පවා අසන්නට මනුෂ්‍ය ලෝකයාට පැමිණිලා තිබෙනවා. නැගෙනහිර දිශාවට අධිපති වන්නේ ධෘතරාෂ්ඨ දෙවියන්, දකුණු දිශාවට විරූඪ දෙවියන්, බස්නාහිර දිශාවට විරූපාක්ෂ දෙවියන් හා උතුරු දිශාවට වෛශ්‍රවණ දෙවියන් අධිපති වෙනවා. මේ දිව්‍ය ලෝකයේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස හඳුන්වන්නේ විශ්ව කර්ම දිව්‍ය රාජයා. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු පනහක් චාතුර්මහා රාජිකයේ එක දවසයි. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මෙම දිව්‍ය ලෝකයේ ගෙවී තිබෙන දිව්‍යලෝක කාලය දින පනස් එකයි.

තාවතිංසය

තාවතිංසය තව්තිසා දිව්‍ය ලෝකය නමින් ද හඳුන්වනවා. චාතුර්මහා රාජිකයේ සිට යොදුන් හතළිස් දෙදහසක් දුරින් තාවතිංසය පිහිටා තිබෙනවා. ඉතා විශාල සැප සම්පත් තිබෙන මෙම දිව්‍ය ලෝකයට අධිපති වන්නේත් ශක්‍ර දේවේන්ද්‍රයන්මයි. ඒ නිසා දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දෙවිඳු කියලා කියනවා. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වන මහා මායා දේවිය කළුරිය කරලා, තාවතිංසය දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය රාජයෙක් ලෙසයි උපත ලබා තිබෙන්නේ. එතුමියට ධර්ම දේශනා කරන්නට පවා බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළා. ඒ වගේම දරුවනේ, බුදුරජාණන් වහන්සේ හත්වැනි වස් කාලය ගත කර තිබෙන්නේත් තව්තිසා දිව්‍ය ලෝකයේ. ඒ වස් තුන්මාසයේ මාතෘ දිව්‍ය රාජයා ඇතුළු දිව්‍ය සමූහයකට උන්වහන්සේ අභිධර්මය දේශනා කොට තිබෙනවා. ඒ කාල සීමාවේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කර තිබෙන්නේත්, දෙවිවරු, තව්තිසාවේ ඉන්නා දෙවියන්ගේ ස්වරූපය, නැතිනම් ලස්සන රූපශ්‍රීය ලිච්ඡවී රජ දරුවන්ගේ රූපයට සමාන වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. සිළුමිණි සෑය, පරසතු වෘක්ෂය, පරසතු වෘක්ෂය පාමුල ඇති පණ්ඩුකම්බල ශෛලාසනය පිහිටා තිබෙන්නේත් තව්තිසාවේ. මනුෂ්‍ය ලෝකයෙන් වසර සියයක් තව්තිසා දිව්‍ය ලෝකයේ එක දවසයි. බුද්ධ පරිනිර්වානයෙන් පස්සේ තාවතිංස දිව්‍ය ලෝකයේ ගෙවී තිබෙන කාලය දින විසි පහයි.

යාමය

තව්තිසා දිව්‍ය ලෝකයේ සිට යොදුන් හතළිස් දෙදහසක් ඉහළින් යාමය දිව්‍ය ලෝකය පිහිටා තිබෙනවා. යාමය දිව්‍ය ලෝකයේ අධිපති “සූයාම’ නම් දිව්‍ය රාජයා. යාමයෙහි වාසය කරනවා කියන්නේ කිසිම දුකකින් තොරව ජීවත් වනවා යන්නයි. මනුෂ්‍ය ලෝකයේ වසර දෙසීයක් යාමයේ එක දිනයයි. බුද්ධ පරිනිර්වානයෙන් පසුව යාමය දිව්‍ය ලෝකයේ ගෙවී තිබෙන කාලය දින දහතුනයි.

තුසිතය

තමන් ලැබූ සැප සම්පත් නිසා ඉතා සතුටින් ජීවත්වනවා යන්න තුසිතය යන්නෙහි අර්ථයයි. සතුටු වන දෙවියන් සිටින දිව්‍ය ලෝකය තුසිතයයි. යාමයේ සිට යොදුන් හතළිස් දෙදහසක් දුරින් පිහිටා තිබෙන තුසිතයට අධිපති ‘සංතුසිත’ දිව්‍ය රාජයා. ‘සංතුසිත’ කියන්නේ සැම විටම සතුටින් සිටීමයි. අනෙක් දෙවිවරුන්ට වඩා සුවිශේෂී අයයි මෙහි වාසය කරන්නේ. සිදුහත් බෝසතාණන් වහන්සේ මේ ලෝකයට පහළ වීමට පෙර තුසිත දිව්‍ය ලෝකයේ ‘ශ්වේතකේතු’ නම් දිව්‍ය පුත්‍රයෙක්වයි උපත ලබා සිටියේ. මිනිස් ලෝකයේ අවුරුදු හාරසියයක් තුසිත දිව්‍ය ලෝකයේ එක දිනයයි. බුද්ධ පරිනිර්වාණයෙන් පසු එහි ගෙවී තිබෙන කාලය දින හයයි.

දරුවනේ, දිව්‍ය ලෝක පිළිබඳව තවත් අපූර්ව තොරතුරු එළඹෙන බුදුසරණ පුවත්පත්වලින් සාකච්ඡා කරනවා. මේ ලිපි පෙළ එක් රැස් කර තබා ගන්නට ඕනෑ. ඒ විතරක් මදි. යහපත් දේ සිතන, යහපත් දේ කරන, යහපත් දේ කියන ගුණ ගරුක දරුවන් වන්නට මේ අවුරුද්දේ පළමුවෙනිම පුන් පොහෝ දිනයේ අදිටන් කරගන්නටත් ඕනෑ.