Print this Article


මිත්‍යාවට රැවටෙනු එපා

මිත්‍යාවට රැවටෙනු එපා

උතුම් ත්‍රිපිටක ධර්මයෙහි, අංගුත්තර නිකායේ එන සුරම්බට්ඨ සූත්‍රයෙහි මේ යුගයට අතිශයින් වැදගත් පණිවුඩයක් අන්තර්ගත ය. සුරම්බට්ඨ යනු බුදුරදුන් දවස විසූ බුද්ධිමත් සිටුවරයෙකි. සිටුවරයාගේ ප්‍රඥා මහිමය දැන ගත් බුදුරජාණන් වහන්සේ ඔහුගේ නිවෙසටම වැඩම කොට ධර්ම සාකච්ඡාවක් පැවැත්වූ හ. එහි දී ධර්මාවබෝධය ලද සුරම්බට්ඨ සෝතාපන්න ඵලයට පත් විය.

ධර්ම දේශනාව පැවැත්වීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ ආපසු වැඩි සේක. ඉන් විනාඩි කිහිපයකින් පසු, තමන්ගේ නිවෙසට බුදුරජාණන් වහන්සේ නැවතත් ආපසු වඩින බව සුරම්බට්ඨ දකී. කුමක් නිසා ආපසු වැඩියේ දැයි ඔහු පුදුමව විමසී ය.

“සූරම්බට්ඨ , මම ධර්මය දේශනා කළා තමයි. ඒත් පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. කලින් පැහැදිලි කළ ධර්ම කරුණුවල අඩුපාඩුවක් වුණා. එය නිවැරැදි කරන්න යි ආපසු ආවේ. ‘සබ්බේ සංඛාරා අනිච්ඡා’ යනුවෙන්’ පැහැදිලි කළ දේශනාවේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කීවාට එහි වරදක් තිබෙනවා. ඇතැම් සංස්කාර නිත්‍යයි. මේ තත්ත්වය පැහැදිලි කරන්නයි ආවේ.” මේ ඇසූ සූරම්බට්ඨ තවත් පුදුමයට පත් විය. සැකයක් ඇතිවිය. “බුදු හාමුදුරුවන්ට කවදාවත් වරදින්නේ නෑ. උන්වහන්සේ කියන ලද දෙයක් නැවත වෙනස් කරන්නේ නෑ. උන්වහන්සේට කිසිම දෙයක් අමතක වෙන්නේ නෑ.” සුරම්බට්ඨ හොඳින් සිතී ය.

ඔබ බුදුරජාණන් වහන්සේ නොවෙයි. මාරයා නේද?” යි ඇසී ය. බුදු හිමියන්ගේ වෙස්ගත් රුව අතුරුදන් විය. සූරම්බට්ඨ නොමඟ යැවීමට සිතාගෙන මෙසේ බුද්ධ ස්වරූපයෙන් පැමිණියේ මාරයා ය. සුරම්බට්ඨ සූරයෙක් වන නිසා, බුද්ධිමත් පුද්ගලයෙක් වන නිසා, ඔහු තුළ වූ අචල ශ්‍රද්ධාව නිසා ව්‍යාජ බුද්ධ වේශයට ඔහු රැවටුණේ නැත. විචාරශීලි වීමෙන් සත්‍ය හෙළිදරව් කරගන්නට හැකි විය. බුදුරජාණන් වහන්සේ සූරම්බට්ඨගේ ක්‍රියාකලාපය පිළිබඳව ප්‍රශංසා කළ සේක. බුදුරදුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු නිසා සුරම්බට්ඨ අචල බුද්ධ භක්තිය ඇති පිරිස් අතර අග්‍ර තනතුරට පත් කළහ. මේ සිදුවීම බුද්ධ කාලයට පමණක් නොව වර්තමානයට ද, අනාගතයට ද පොදු කතාවකි. ශ්‍රී සද්ධර්මයේ ස්වරූපයෙන් මිත්‍යාමත පතුරුවන මිත්‍යා දෘෂ්ඨික මාරයෝ අද විශාල ප්‍රමාණයක් සිටිති. ඒ අතර,තමන් නිවැරැදි භික්ෂූන් වහන්සේලා ය.

තමන් පමණක් බුද්ධිමත් ය. උගත් ය.

තමන් මාර්ගඵල ලාභීය

ධර්මය සොයාගත් කෙනා මම ය

බුදුන් දෙසූ ධර්මය අවබෝධ කරගත් එකම පුද්ගලයා මම ය.

තමන් රහතෙක් ය, (රහතෙක් යන වචනය පවා රහතන් වහන්සේ යන්නට අගෞරවයකි. මෙවැන්නෝ එය ද නොදනිති)

බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ ය. එය සොයා ගත්තේ තමන් විසින් ය.

බුදුරජාණන් වහන්සේගේ චරිත කතා ව්‍යාජය ආදි වශයෙන් විවිධ මිත්‍යා ව්‍යාප්ත කරන්නට උත්සාහ දරන්නෝ වෙති. බෝසත් උපත, සම්මා සම්බුද්ධත්වය, සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ ස්ථාන පිළිබඳව මිත්‍යා ධර්මයක් ඉදිරිපත් කරමින් සම්‍යක් ස්වරූපයෙන් පෙනී සිටින්නෝ මාර නියෝජිතයන් ම ය. මෙය තේරුම් ගන්නට නම් බෞද්ධ පිරිස් එදා බුද්ධකාලීන ව විසූ සුරම්බට්ඨ වැනි අයගේ මානසික මට්ටමට වැඩි දියුණු විය යුතු ය. එසේ නැතිනම් අනවබෝධය තුළ සිදුවන්නේ ඇතැම් බෞද්ධ ගිහි පිරිස් සේ ම පැවිදි පිරිස් ද මාර ස්වරූපය, සැබෑ බුද්ධ ස්වරූපය සේ වැරැදි ලෙස වටහා ගැනීම ය.එවැනි පුද්ගලයෝ සමාන වන්නේ, වනේ අන්ධ මහිසෝ’ මහ වනයේ අතර මං වූ අන්ධ මී ගවයන්ට හෙවත් මී හරකුන්ට ය . මේ බොරු ප්‍රයෝගකාරීන්ට හසුවන කවර ගිහි පුද්ගලයකු වුව, කවර පැවිදි තැනැත්තෙකු වුව වේ නම් එය කනගාටුවට කරුණකි. බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුණා යැයි, ලංකාවේ වැඩ සිටියා යැයි ඔප්පු කිරීම සඳහා ඇතැම් චීවරධාරි, ශ්‍රමණ ප්‍රතිරූපකයන් පොත්පත් පවා ලියා මුද්‍රණය කරවා ඇත. ඒ කරුණ ත්‍රිපිටක ධර්මයට සපුරාම පටහැනි ය. ඉතිහාසයට පටහැනි ය. පුරාවිද්‍යාවට පටහැනි ය. ඒ බව මනාව වැටහෙන්නේ උගතුන්ට පමණි. මේ මතවාද පිළිගන්නේ ද පාලි නොදත්, ඉතිහාසය, පුරාවිද්‍යාව නොදත්, ත්‍රිපිටක ධර්මය ගැන අංශු මාත්‍රයකුදු නිවැරැදි අවබෝධයක් නැති මන්ද බුද්ධික අඥානයන් ය. එසේ නොමැතිව විචාර බුද්ධියෙන් කටයුතු කරන කිසිවෙක් මේ ප්‍රලාපවලට හසු නොවේ.

ඉතා සරල වශයෙන් මෙ කරුණ තේරුම් ගන්නවා නම් කිවයුතු වන්නේ බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධ කාලය හා පරිනිර්වාණය සම්බන්ධයෙන් අද මේ අඥානයන් කරන එළිදරව්ව පිළිබඳ අපේ පැරැණි මුතුන් මිත්තන් නො දැන සිටියේ කෙසේද යන්නයි. ඔවුන් ඉදිරිපත් කරන මත නිවැරැදි නම් මහින්දාගමනය බොරු ය. මිහිඳු මා හිමියන් ලංකාද්වීපයට වැඩම කළ මොහොතේ දේවානම්පියතිස්ස රජු අමතා දේශනා කරන්නේ,

සමණාමයං මහා රාජ
ධම්ම රාජස්ස සාවකා
තවේ ව අනුකම්පාය
ජම්බුදීපා ඉධා ගතා

මහ රජ, අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක යෝ ය. අපි ජම්බුද්වීපයේ සිට ඔබට අනුකම්පා පිණිස මෙහි පැමිණියෙමු’ යනුවෙනි. එයින් කියැවෙන්නේ තිස්ස රජුට මේ පිරිස අමුත්තන් වූ බව ය. එසේත් නැතිනම් භික්ෂු ස්වරූපය නොහඳුනන බව ය. භික්ෂූන් වහන්සේ නමක් යනු අලුත් ම දර්ශනයක් වන බව ය. ඒ නිසයි මිහිඳු මහ රහතන් වහන්සේ විසින් පළමුව තමන් වහන්සේ හඳුන්වා දෙනු ලැබුවේ. බුදුරජාණන් වහන්සේ ලංකාවේ වැඩ සිටියා නම්, අනුරාධපුරයේ සිටි තිස්ස රජු භික්ෂූන් වහන්සේගේ ස්වරූපය නොදැන සිටීමට ඉඩක් නැත.

ලංකාවේ ම උතුරු ප්‍රදේශය ගැන සිතන්න. එහි බෞද්ධාගමිකයන් නොවුණත් භික්ෂූන් වහන්සේ නමක් එහි වැඩම කළේ නම් ඔවුන් ඒ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස හඳුනා ගනී. එසේ බලන කල එදා මිහිඳු මා හිමියන් ද තමන් වහන්සේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස හඳුන්වා දීමේ අවශ්‍යතාවක් වන්නේ නැත. බුදු දහම නව දර්ශනයක් වූ බව එයින් ම පැහැදිලි වේ.

දුටුගැමුණු කුමරු රාජ්‍යත්වයට පත්වන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු තුන්සියයකට පසුව ය. ඒ අනුව එතුමා බුදුරජාණන් වහන්සේ ගැන නොදැන සිටින්නට ඉඩක් නැත. බුදු හිමියන් ලංකාවේ ඉපදුණ බවට මිත්‍යා මත ව්‍යාප්ත කරන පුද්ගලයාට අනුව අපේ රජ පරම්පරාවේ සියලු තොරතුරු ව්‍යාජ ඒවා ය. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා මේ සා විශාල ධනස්කන්ධයක් වියදම් කරගෙන අපමණ දුක් විඳිමින් බුද්ධගයාව බේරා ගන්නට ඉන්දියාවේ යන්නට ද අවශ්‍ය නැත. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි, හේන්පිටගෙදර ඤාණසීහ හිමි වැනි කුසාග්‍ර භික්ෂූන් වහන්සේ පිළිබඳ කතා ව්‍යාජ ය.

මහාචාර්ය ජී.පී. මලලසේකර තුමා සෙනරත් පරණ විතාන වැනි වියතුන්ගේ කතා ව්‍යාජ ය. සරලව ම කියනවා නම් මේ මිත්‍යා මත ව්‍යාප්ත කරන්නන්ට අනුව ලංකාවේ කිසිම උගතෙක්, පුරා විද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක් පහළ වී නැත. මහා වංශය ද බොරු ය. මෙවැනි පුද්ගලයින් හමුවේ දැන උගත් බෞද්ධ පින්වතුන්ට සුරම්බට්ඨ වැනි බුද්ධිමතුන්ට සේ වෙසෙස් හැකියාවක් තිබිය යුතු ය. ඒ ඔබ මාරයාගේ නියෝජිතයෙක් ද යන්න විමසීමට ය. මෙවැනි භික්ෂු ප්‍රතිරූපකයන් පිළිබඳව මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය ය. එසේ නොවුණොත් සිදු වන්නේ වනයේ අතරමං වූ මී ගවයකු සේ හැසිරීමට ය. මේ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව. ශ්‍රී සම්බුද්ධ දේශිතය පිළිබඳව අවෙච්ඡ ප්‍රසාද ගුණය හෙවත් අචල ප්‍රසාදයක්, එනම් නොසෙල්වෙන ප්‍රසාදයක් ඇතිකර ගත යුතු ය.