Print this Article


සැබෑ ලෝකය දකින්නෝලොව දිනති

සැබෑ ලෝකය දකින්නෝ ලොව දිනති

අප හැමවිට ම යම් දෙයක ලස්සන අපේක්ෂා කරනවා. හැඩ වැඩ බලාපොරොත්තු වෙනවා. ඊට රැවටෙනවා. මෙය සනාතනික තත්වයක්. මොක ද? කෙලෙස් සහිත පුහුදුන් ගතිය නිසා. අපි ඉඳුරන් පිනවීමට ලොකු උත්සාහයක් ගන්නවා. ඉතින් ඇහැට ගැටෙන රූපය ලස්සන නම් එය අයිති කරගන්න යි අපි බලාපොරොත්තු වන්නේ.

අපේ බුදුරජාණන් වහන්සේ මෙම කාරණය ඉතා හොඳට පැහැදිලි කරලා දෙනවා, ස්ත්‍රීරූපය හා ඊට ප්‍රතිවිරුද්ධ පුරුෂ රූපය අන්‍යොන්‍ය වශයෙන් ක්‍රියා කරන ආකාරය පෙන්වා දීමේ දී. උන්වහන්සේ පෙන්වා දෙන විදිහට මේ ලෝකයේ ස්ත්‍රීරූපය තරම් පුරුෂයාගේ සිත ඇද බැඳ ගන්නා තවත් දෙයක් නැහැ. ඒ වගේ ම තමා පුරුෂ රූපය. පුරුෂරූපය තරම් ස්ත්‍රියගේ නෙත් ඇද ගන්නා තවත් දෙයක් නැහැ. ඉතින් ලස්සන යි කියන රූපය නිසා බොහෝ දෙනා නොයෙක් විපත්තීන්ට ද ගොදුරු වෙනවා. සමහරවිට ජීවිත නසා ගැනීම පවා සිදු කරනවා. මෙම කරුණ කොතරම් සනාතනික ද කිවහොත් සද්ධර්මාලංකාරයේ එන ස්වර්ණතිලකා කථා වස්තුවේ දී ස්වර්ණතිලකාවගේ රුප ශෝභාව ඇගේ ජීවිතය විනාශවීමට තරම් හේතු වුණේ ඇය අපේක්ෂා කරන පුරුෂයෝ හත් දෙනෙක් ම එක් අයෙකුට එක් අයෙක් නො දෙවෙනි ව, තරගකාරීව ඇය අත්පත් කර ගැනුමට ඉදිරිපත් වුණු නිස යි.

වැදගත් වන කරුණ වන්නේ මේ බාහිර රුවට අපි තවදුරටත් රැවටෙනවා ද? යන්න තමන්ගේ ම හෘදයසාක්ෂියෙන් විමසා බැලීම යි, බුදුරජාණන් වහන්සේ මේ සඳහා අපට පෙන්වා දෙන අදහස. මෙහි දී අපට වැදගත් වෙනවා අපේ බුද්ධ දේශනාවේ එන සූත්‍රදේශනාවන්. අපේ බුදුරජාණන් වහන්සේ දවසකට තුන් වතාවක් ම හමුවෙමින්, උන්වහන්සේ ළඟින් ම ඇසුරු කළ ප්‍රසිද්ධ ම රජතුමා කොසොල් රජු යි. මේ රජතුමා දවසක් සවස් කාලයේ බුදුරජාණන් වහන්සේ හමුවීමට විශාඛාව විසින් සාදවා පූජාකරන ලද මිගාරමාතු ප්‍රාසාද කියන පූර්වාරාමයට පැමිණියා.

එසේ පැමිණ බුදුරජාණන් වහන්සේට ඇඳීලි බැඳ” වැඳ නමස්කාර කර එකත්පසෙකට වී සිටියා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙම විහාරයෙහි අප අද කියන විදියට ඉස්තෝප්පුවේ(බිහිදොර කොටුවේ) වැඩ සිටියා. ඉතින් එම විහාරය ඉදිරියෙන් වැටී තිබෙන මාර්ගයෙහි ජටිලයෝ හත්දෙනෙක්, නිගණ්ඨයෝ හත් දෙනෙක්, අචේලකයෝ හත්දෙනෙක්, ඒකසාටකයෝ හත් දෙනෙක්, පරිබ්‍රාජකයෝ හත් දෙනෙක් වශයෙන් ඔය විදියට පිළිවෙලින් 35 ක් මිත්‍යාදෘෂ්ටික පූජකවරු ගමන් ගත්තා. රජතුමා මේ පිරිස් දුටු විගසින් වහාම ඉක්මන් වී සිටි තැනින් නැගිට දුව ගොස් අර කියපු පූජකවරුන්ට දණින් වැටී වැඳ බොහොම යටහත් පහත් ඇවතුම් දක්වා ඒ පිරිස් නික්ම ගිය පසු නැවතත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තැනට අවුත් බුදුරජාණන් වහන්සේ ට වැඳ ප්‍රකාශ කරනවා. දැක්කද? ස්වාමීනි, අර මෙතනින් ගිය පූජකවරුන්. ඒ අයත් මේ ලෝකයේ ඉන්න කෙලෙස් දුරු කරපු රහතන් වහන්සේලාගෙන් කොටසක්, කියලා.

ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා රජතුමනි, ඔබ වැනි ගිහි ජීවිත ගත කරන, පංචකාම සම්පත් ඇතිතරම් අනුභව කරන, දරු මුණුපුරන්ගෙන් නිතර කරදර බාධක ගොඩ නැගී ඇති, ඒ විතරක් නොවෙයි සිනිදු සුවපහසු සයනාසනවල නිදන, හිඳීන, සුවඳවිළවුන් දරන, රන් රිදී මසු කහවණු භාවිත කරන උදවියට මේ අය තමයි රහතන් වහන්සේලා, මේ අය රහත් නො වූ අයයි කියලා විස්තර විභාග වශයෙන් දැනගන්ට, එක්වර ම ප්‍රකාශ කරන්නට තරම් දැනුමක් නොමැති බව. යමක බාහිර ස්වරූපය දුටු පමණින් ඊට රැවටෙන පුහුදුන් ජීවිත ගත කරන පිරිස්වලට ඇත්ත ඇති සැටිය වටහා ගැනීමේ ශක්තිය නැති බව යි බුදුරජාණන් වහන්සේ මෙහිදී පෙන්වා දී තිබෙන්නේ. ඒ උදවිය හැමවිට ම ලෝකය දෙස බලනවිට ඔවුන්ට පෙනෙන්නේ එහි යථාර්ථය නොවෙ යි. අවුකණ්ණාඩියකින් බාහිර පරිසරය දකිනවිට කණ්ණාඩියේ කාචයේ ඇති වර්ණයෙන් ඒ සියල්ල පෙනෙනවා වාගෙයි. ඒ පරිසරයේ ඇති ඇත්ත වර්ණය නොවෙයි. ඉතින් ඒ නිසා තමයි අප තාවකාලික ලස්සනට රැවටෙන්නේ. මේ තත්වයෙන් අතමිදීමට අවශ්‍ය වැඩ පිළිවෙල බුදුරජාණන් වහන්සේ ම අපට මෙහිදී පැහැදිලි කර දෙනවා. එය උන්වහන්සේ පෙන්වා දෙන්නේ පියවර හතරක් යටතේ යි.

අප සමාජයේ ජීවත් වන විට එක් එක් උදවිය දැකලා ඔවුන් ගැන හදිසි තීන්දු තීරණවලට එනවා. එහිදී අපි දකින්නේ ඔවුන්ගේ බාහිර පෙනුම යි. මෙය වර්තමානයේ බොහෝ සැදැහැති බෞද්ධයෝ අත්විඳින කරුණක්. එනම් හදිසියේ බාහිරින් පැමිණී හිමිනමක් ලෙස පෙනී සටින අයෙකු දැක ඒ අයගේ සිවුරේ වර්ණය, ගමනබිමන, ශරීරයේ රූපශෝභාව දිහා බල ලා හදිසියේ මහත් පැහැදීමක් ඇති කර ගන්නවා. ඒ දක්වා තමන් ඇසුරු නිසුරු කළ පන්සල, විහාරස්ථානය, එහි වැඩ වසන ස්වාමීන් වහන්සේ අත්හරිනවා. අලුතෙන් ආවාස ගෙවල් පවා ඉදි කරලා පන්සලකුත් ඉදි කරනවා. එහෙත් කලක් යනවිට ඔහුගේ නොදැහැමි පිළිවෙත් දැක කළකිරෙනවා. අලුත් පන්සල අත්හරිනවා. තවදුරටත් සංඝභේදත් ඇති වෙනවා. විවිධ ගැටලු ප්‍රශ්න රැසකුත් ඇති කර ගන්නවා. එවැනි අවස්ථා පිළිබඳ නිදසුන් ඕනතරම් අප ජීවත් වන සමාජයෙන් ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ නිසා බාහිර පෙනුම හෝ රුව දුටු පමණින් වසඟ නො වී මේ කරුණු පිළිබඳ බුද්ධිමත් ව අපවිසින් ක්‍රියා කළ යුතු ආකාරය මෙහිදීී අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

පුද්ගලයාගේ දුසිල් බව හෝ සුසිල් බව මිණිය හැක්කේ ඒ පුද්ගලයා දීර්ඝ කාලයක් තුළ සිදු කරනු ලබන ඇසුරෙන් බව යි පෙන්වා දී ඇත්තේ. ඒ වගේ ම එම කාර්යය කිරීමේ දී බුද්ධිමත් පුද්ගලයෙකු වශයෙන් ම ඒ කටයුත්ත සිදු කළ යුතු වෙනවා. ඒ වගේ ම ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමසිලිමත් ව, සිහියෙන් ම එය සිදු කළ යුතු වෙනවා. එහෙත් සිදු වන්නේ එය නොවෙයි. අද අප ජීවත් වන සමාජයේ ඒ කාර්යය සිදු වන්නේ ඇඳුම පැළඳුම දිහා බලලා. එහෙම නැතිනම් රූසපුව දිහා බලලා. කථාකරන විලාසය දිහා බලලා. ඉතින් බොහෝ සැදැහැතියෝ අද මේ ආකාරයෙන් භික්ෂූන් වහන්සේ සම්බන්ධව පවා දුසිල් , සුසිල් බව තීරණය කරන අවස්ථා අපට පැහදිලිව දකින්ට ලැබෙනවා.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ යම් භික්ෂුවක් හෝ ගිහියෙක්, උපාසකයෙක්, උපාසිකාවක් හෝ වෙනත් කවර පුද්ගලයෙකුගේ වුව ද ජීවන පැවැත්මේ පිරිසුදු බව හෝ අපිරිසුදු බව එහෙමත් නැතිනම් ජීවන පැවැත්මේ සරු නිසරු බව එක්වර ම කෙනෙකුට තීරණය කරන්නට පුළුවන් කමක් නැති බවයි. පවිත්‍රභාවය දැන ගැනීමට අනුගමනය කළ යුතු පිළිවෙල ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ එම පුද්ගලයා සමඟ දීර්ඝ කාලයක් තුළ සල්ලාපයෙහි හෙවත් කථාබස් කිරීමෙන් වගේ ම එම කාර්යයත් නුවණැති ව සිහිබුද්ධියෙන් දීර්ඝකාලයක් තුළ සිදු කිරීමෙන් පමණක් බව යි.

මී ළඟට මෙම සූත්‍ර දේශනාව අනුව පෙන්වා දෙන්නේ පුද්ගලයෙකුගේ තවත් විශේෂ චරිතාංගයක්. එය තමා පුද්ගලයා සතු ඥාන ශක්තිය කෙබඳු ද යන්න තීරණය කිරීම යි. අපි සමාජයේ ජීවත් වනවිට එක් එක් පුද්ගලයාගේ හැකියාව, ඥානශක්තිය පිළිබඳ විවිධ කෝණයන් ඔස්සේ බලා තීරණ ඉදිරිපත් කරනවා. මේ පුද්ගලයා හොඳ ඥානවන්තයෙක්, නැතිනම් අඥානයෙක්. ආදි වශයෙන්. ඒ වුණත් බුදුරජාණන්වහන්සේ පෙන්වා දෙන්නේ කෙනෙකුªගේ ඥානශක්තිය කෙබඳු මට්ටමක පවතිනවා ද යන්න තීරණය කළ යුතු වන්නේ ඒ පුද්ගලයා මුහුණ දෙන විපත්ති කර අවස්ථාවන්හි දී එයින් අතමිදීම පිණිස ඔහු විසින් අනුගමනය කරනු ලබන උපාය මාර්ග දෙස විමසිලිමත්වීමෙන් බව. ආපදාවට පත්වන පුද්ගලයා විවිධ ක්‍රියා මාර්ග තුළින් එබඳු විපත් අනදර, කරදර වලින් අතමිදිය හැකි විවිධ ක්‍රම තිබෙනවා. එහෙත් ඒ ගන්නා ක්‍රියාමාර්ගය තමන්ට මෙන් ම තමන්ගෙන් බාහිර සමාජය වෙත මොන විදිහේ බලපෑමක් ඇති කරනවා ද? එයින් සමාජයට මෙන් ම තමන්ට දැනුත් හෙවත් වර්තමානයෙහි ත් , අනාගතයෙහිත් කෙබඳු බලපෑමක් ඇති කරයි ද? එය කෙතෙක් හිතකර ද? අහිතකර ද? ආදි වශයෙන් දී්ර්ඝ කාලයක් විමසා සිහියෙන් සිට ක්‍රියා කිරීමේ දී පමණ යි නිවැරැදි පියවර අනුගමනය කළ හැකි වන්නේ.

එමෙන් ම අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කෙනෙකු සතු ප්‍රඥාව කෙබඳු ආකාරයක පවතිනවා ද යන්න විනිශ්චය කිරීම යි. එහිදී අප බොහෝවිට සමාජයේ ජිවත් වන්නවුන් බුද්ධිමතුන්, නුවණැත්තවුන් වශයෙන් හා අනුවණ මෝඩ පුද්ගලයන් වශයෙන් වර්ග කර කථා කරනවා. තීරණය කරනවා. මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අපවිසින් අනුගමනය කළ යුතු නිවැරැදි ක්‍රමය කුමක් විය යුතු ද යන මේ කාරණය. ඒ අනුව විවිධ මාතෘකා ඔස්සේ අදාළ පුද්ගලයා සමඟ අප දීර්ඝ කාලයක් තුළ යම් කරුණක් පිළිබඳ සිදු කරන සාකච්ඡාවෙන් පසු ඒ පුද්ගලයා සතු නුවණැති බව පිළිබඳ විනිශ්චය කළ යුතු වෙනවා. මේ සියලු ම පියවරයන්හි දී බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන්නේ මෙසේ විනිශ්චය කර ගනු ලබන තීරණය සදොස් විය හැකි වන්නේ තීරකයා හැකිතරම්දුරට ගිහිජීවිතයේ ගැටලු වලින් මිදී කාමභෝගි ජීවිත පැවැත්මෙන් මිදුණු තරමේ ප්‍රමාණයට අනුව බව යි. එසේ වන්නේ එවැනි කාමභෝගි ජීවිත ගත කරන පිරිස් ව්‍යාජත්වයට නිරන්තරයෙන් ම ගොදුරුවීම යි.

අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා රූපයේ හැඩ වැඩ දිහා බලා මිනිසා හඳුනා ගැනීමට හැකියාවක් ඇත්තේම නැහැ කියන කරුණ. කෙටි කාලයක සිදු කරන විමසුමකින් යමෙකු පිළිබඳ ඇති කරගන්නා විශ්වාසය අතිශයින් දොස් සහිත යි. මනා සංවර වූ සිල්වතුන්ගේ ස්වභාවය රටට, බාහිර සමාජයට පෙන්වා දෙමින් , සැබෑ අසංවර, පවිටු පූජකවරයොත් විවිධ පරිස්කාරයෙන් ගත සරසවා ගෙන මේ ලෝකය රවටමින් හැසිරෙනවා .මිනිසුන් මුළා කරනවා. හරියට එවැනි උදවිය රන් ආලේප කරන ලද එහෙත් මැටියෙන් නිමවන ලද කණකර ආභරණයක් වගෙයි. එමෙන් ම රන් ආලේප කළ ලෝහයෙන් නිමවන ලද කාසියක් මෙන් බව. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ එදත් ලෝකය ව්‍යාජත්වයෙන් රවටගෙන ලාභ ප්‍රයෝජනවලට යොමු වූ තවුස් වෙස් ගත්තවුන් සිටි බව යි. ගිහි පිරිස් සම්බන්ධයෙන් ද එහෙම යි. ඉතින් ඒ නිසා පිටතට පෙනෙන ලස්සනට එක්වර ම වසඟ වීමෙන් ඇති වන අනිටු ුවිපාක දැඩි වන්නේ කාලය ඉකුත්වීමත් සමඟ බව අප අද දවසේ තේරුම් ගැනීම වැදගත් වෙනවා.