Print this Article


බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය

බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය

බුදුරජාණන් වහන්සේ ම දේශනා කර තිබෙනවා ‘සුඛො බුද්ධානං උප්පාදො - සුඛා සද්ධම්ම දේශනා’ කියලා බණ පදයක්. 'සුඛො බුද්ධානං උප්පාදො', ලොව්තුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම සුවදායකයි. 'සුඛා සද්ධම්ම' දේශනා උන්වහන්සේලා දේශනා කළ ධර්මය සුවදායක යි. අප හැම දෙනාට ම සැනසිල්ලක් සුවයක් ලබා දෙනවා. අපිත් මේ වෙලාවේ කියවන්නේ බලන්නේ, සැනසිලිදායක නිර්මල බුදුබණ පදයක් කියන ධර්ම ගෞරවය පළමුවෙන් ම හැමදෙනාගේ ම හිත්වල ඇතිකරගන්න ඕන.

පින්වතුනි, අද මාතෘකා කරගත් මූලාශ්‍රය මජ්ක්‍ධිම නිකායේ එන අඤඡරියබ්භූත සූත්‍රයයි. මෙහිදී දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සෘද්ධියේ හා ආනුභාවයේ ආශ්චර්ය පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලයේ දී භික්ෂූන් වහන්සේලා දන් වැළඳීමෙන් පසුව දම් සභා මණ්ඩපයට එක් රැස් වී කතාබහ කරමින් සිටියා. එසේ කතා කරමින් සිටියේ බුදුරදුන්ගේ මහත් වූ සෘද්ධිය හා ආනුභාවය පිළිබඳව යි. . මේ කතාව අසා සිටි ආනන්ද හාමුදුරුවෝ ද බුදුරජාණන් වහන්සේ ආශ්චර්ය ද, අද්භූත ද වන බව පැවසුවා.

මේ ආකාරයට කතාබහ කරමින් සිටින අතරේ, බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කළා. එවිට ඒ භික්ෂූන් වහන්සේ තමන් කරමින් සිටි කතාව නතර කළා. පණවා තිබූ ආසනයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මහණෙනි, මා මෙහි එන්නට පෙරාතුව නුඹලා කුමක් කතා බහ කරමින් සිටියේ ද? නුඹලාගේ කුමන කතාබහක් නතර වූයේ දැයි’ අසා වදාළා.

ස්වාමීනි, අපි බුදුරජාණන් වහන්සේගේ මහත් වූ සෘද්ධියත් ආනුභාවයේ ආශ්චර්ය හා අද්භූත බව පිළිබඳවත් කතා කරමින් සිටියේ. ඔබ වහන්සේගේ වැඩම කිරීමෙන් එම කතාව නතර වූ බව පවසමින් භික්ෂූන් වහන්සේලා පිළිතුරු දුන්නා.

එවිට බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා, ආනන්ද බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය, අද්භූත ධර්ම ඔබට වැටහේ ද? ඔබ දන්නේදැයි අසා වදාළා. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය අද්භූත ධර්ම ඉතා දීර්ඝව පැහැදිලි කළා.

සති සම්පජඤ්ඤයෙන් යුක්තව තුසිත දෙව්ලොවට පැමිණීම.

සති සම්පජඤ්ඤයෙන් යුතුව තුසිත දෙව්ලොව සිටීම.

ආයුෂ ඇතිතාක් තුසිත දෙව්ලොවම සිටීම.

තුසිත දෙව්ලොවින් චුතව මව්කුස පිළිසිඳ ගැනීම.

සත්වයන් එකිනෙකා දකින ආලෝකයක් ඇතිවීම, ලෝක ධාතුව කම්පා වීම.

සිව්වරම් දෙවිවරු ආරක්ෂාවට පැමිණීම.

මව පංචශීලයෙන් යුතුවීම.

මවගේ සිතේ රාග සිතක් ඇති නොවීම හා මව කෙරෙහි අන් පුරුෂයෙකුගේ සිතේ රාගයක් ඇති නොවීම.

මව පස්කම්සුව ලබන සුළුවීම.

මවට රෝගාබාධ ඇති නොවීම.

මව උපතින් සත්වන දින කළුරිය කිරීම.

දස මාසයක් ම කුසදරා බිහි කිරීම.

මව සිටගෙන සිටිද්දීම දරුවා ප්‍රසූත කිරීම.

බිහි වූ පසු පළමුව දෙවියන් පිළිගැනීම.

සිව්වරම් දෙවිවරු දරුවා ලබාගෙන මවට පෙන්වීම.

දරුවා අපවිත්‍ර දෑ නැතිව පිරිසුදුව ඉපදීම.

සිසිල් හා උණුසුම් ජල ධාරා දෙකක් අහසින් ඇද හැලීම.

පියවර 7 ක් ඉදිරියට ගොස් සිංහනාද කිරීම.

සත්ත්වයන් එකිනෙකා දකින ආලෝකයක් ඇතිවීම හා ලෝක ධාතුව කම්පාවීම.

වෙස්සන්තර ආත්ම භාවයේ දී ගත් වරයක් අනුව තමන් අනිවාර්යයෙන් ම තුසිත දෙව් ලොව ඉපදුණු බව දැන ගන්නවා. අනෙක් දෙවියෝ එසේ දැනගන්නේ නැහැ. උයන් විමාන කල්ප වෘක්ෂ පහළ වූ පසු ඒ අයට කලින් ඉන්න දෙවිවරු ඇවිත් කියනවා. “නිදුකාණනි” මේ දිව්‍ය ලෝකයයි. නුඹ දැන් දිව්‍ය ලෝකයේ ඉපදිලයි ඉන්නේ කියා. එතකොටයි ඒ දෙවිවරු දැනගන්නේ තමන් දිව්‍ය ලෝකයේ ඉපදිලා ඉන්න බව. දීර්ඝ ආයුෂ ඇති දිව්‍ය ලෝකවල ඉපදුණොත් පාරමිතා සම්පූර්ණ කරන්න වෙන්නේ නැහැ. උපදින්නේ මධ්‍යස්ථ ආයුෂ ඇති දිව්‍ය ලෝකයේ යි. එසේ මධ්‍යස්ථ ආයුෂ තියෙන්නේ තුසිත දිව්‍යලෝකයේ නිසා, තුසිත දිව්‍ය ලෝකයේ ඉපදී එහිම ආයුෂ ඇතිතාක් සිටිනවා.

දෙවිවරු ආයුෂ අවසන් ව චුත වන විට පූර්ව නිමිති 5ක් පහළ වෙනවා.

1. පැළැඳ සිටින මල්මාලා පරවෙනවා.

2. වස්ත්‍ර කිළිටි වෙනවා.

3. කිහිලිවලින් දහඩිය ගලනවා.

4. ශරීරය දුර්වර්ණ වෙනවා.

5. ආසනයේ සිටීමට නොහැකි වෙනවා.

මේ ආකාරයෙන් ආනන්ද හිමි බුදුරදුන්ගේ සෘද්ධිය හා ආනුභාවයේ ආශ්චර්ය හා අද්භූත බව පැහැදිලි කළ සේක.