Print this Article


ධම්මපදයෙන් ජීවිතයට : නො පමාවූවෝ නො මියෙති

නො පමාවූවෝ නො මියෙති

අප්පමාද වග්ගය

සාමාවතියගේ කතා පුවත (21 ගාථා)

අප්පමාදො අමතපදං - පමාදො මච්චුනො පදං
අප්පමත්තා න මීයන්ති -යෙ පමත්තා යථා මතා

නිවනට මග නො පමාවයි – පමාව මරණයට මඟයි
නො පමා වූවෝ නො මියෙති – පමා වුවෝත් මළවුන් වෙති

භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක්, එනුවර රජ කළ උදේනි රජතුමාගේ අග මෙහෙසියක වූ සාමාවතිය පිළිබඳ ව මේ ගාථාත්‍රය දේශනා කර වදාළ හ.

භද්‍රාවතී නම් නගයරක භද්‍රාවතිය නම් සිටුවරයෙක් විසී ය. හෙතෙම ඝෝෂක සිටාණන් ගේ මිත්‍රයෙක් වූයේ ය. එහෙත් ඔවුන් එකිනෙකා දැක නො තිබුණි. භද්‍රාවතී නගරයේ සිට එන වෙළෙඳුන් අතින් භද්‍රාවතිය සිටාණන්ගේ ධන සම්පත් ගැන ඇසූ ඝෝෂක සිටාණෝ ඔහු සමග මිත්‍රත්වයක් ඇති කර ගන්නට සිතා තෑගිි බෝග යැවී ය. එමගින් හෙතෙම අදෘෂ්ට මිත්‍රත්වයක් ඇතිකර ගත්තේ ය.

කලකට පසු භද්‍රාවතිය සිටාණන් ගේ නිවසෙහි එක් භයානක රෝගයක් ඇතිවිය. මෙම රෝගයෙන් මුලින් ම මිය යන්නෝ මැස්සෝ ය. ඉන්පසු ක්‍රමයෙන් කෘමි සත්තු, මීයෝ, කුකුළෝ, ගවයෝ වැනි සත්තු මිය යති. අවසන නිවසේ හැම දෙන ද මිය යති. බිත්තියක් කඩා ගෙන පලා යන්නෝ පමණක් ජීවත් වෙති. භද්‍රාවතිය සිටුතුමා, දේවිය හා දියණිය මෙසේ දිවි ගලවා ගනු පිණිස බිත්තියක් බිඳ ඉන් නික්ම ඝෝෂක සිටාණන්ගේ පිළිසරණ ලබනු පිණිස එහි යාමට පිටත් වූ හ.

ගමන නිමා කරන්නට පෙර ම ඔවුන් මඟදී කෑමට බීමට ගෙනා සියල්ල නිම වී අව්වෙන් හා සුළඟින් පීඩිතව කුසගින්නෙන් වෙළී දුකට පත් වූ හ. අපහසුවෙන් කොසැඹෑ නුවරට පැමිණි ඔවුහු එක් පොකුණකින් දිය නා සැරසී රැය ගත කිරීම පිණිස නුවර දොරටුව අසල ලැගුම් හලකට ගිය හ.

පසුදින දුබලව වැහැරී චාම් ඇඳුමින් සැරසී සිටි සිටුතුමා තමන් පත්ව සිටි තත්ත්වය ගැන මෙනෙහි කොට දේවිය අමතා “දේවිය මෙලෙස අප මිතුරු බැහැ දකින්ට යා හැකි ද? අපි මෙසේ දුබලව වැහැරී සිටිනවා දුටුවහොත් වැදූ මවට වුව පි‍්‍රය මනාප නැත. අප මිත්‍රයාගේ දන්සලක් ඇත. එහි දුගී දුප්පත් අසරණයන්ට දිනපතා ආහාර පාන දෙනු ලැබේ. දුව එහි යවා කෑම ගෙන්වා ගෙන අනුභව කර නිරෝගී වී යමු” යි යෝජනා කළේය. දේවිය ද එය අනුමත කළෙන් ඔවුහු ලැගුම් හලේ ම නැවතී දවල් වන විට ඔවුහු බඳුනක් දී දියණිය දන්සලට යැවූ හ. සැප සම්පත් මැද අභිමානවත් ලෙස හැදුුණු වැඩුණුු නමුත් නිහතමානීව දුගී දුප්පත් යාචකයන් ගැවසෙන දන්සලට ගිය ඕ බඳුන දිගු කළා ය.

”නුඹට කොටස් කීයක් අවශ්‍ය ද?” යි දන්සල භාරකරු ප්‍රශ්න කළ විට ‘තුනක්” යි පැවසූ ඇයට කොටස් තුනක් ලැබිණ. ඒවා නවාතැනට ගෙනවුත් අනුභවයට සැරසුණු විට සිටු දේවිය සිටුවරයා අමතා “අපේ දිවි රැකෙන්නේ ඔබෙන් ය. ඔබ රැකුණොත් මිස අප රැකී කවර පලක් ද? එහෙයින් මේ බත් සියල්ලම ඔබ ම අනුභව කර පණ රැක ගන්න” යි සියල්ලම ඔහුට අනුභව කර වූවා ය. එහෙත් කුසගින්නේ සිට එක්වර මහත් ප්‍රමාණයක් අනුභව කළෙන්, දිරවාගත නො හැකිව හෙතෙම රාත්‍රියෙහි කළුරිය කළේ ය. සංවේගයට පත් ව ඔහුගේ අවසන් කටයුතු කළ ඔවුහු පසුදින ද ආහාර පිණිස දියණිය යැවූ හ. එදින කොටස් කීයක් අවශ්‍ය දැයි ඇසු විට කොටස් දෙකක් ඉල්ලා ගත්තා ය. එදින මව ඇමතූ දියණිය “මෑණියෙනි, පියාණනුත් මිය ගිය හෙයින් ඔබ රැකුණොත් මම රැකෙමි. එහෙයින් මේ කොටස් දෙක ම අනුභව කර ඔබ රැකෙන්නැ”යි කීවා ය. ඕ තොමෝ ද කොටස් දෙකම අනුභව කර දිරවා ගත නො භී රාත්‍රියෙහි මිිය ගියා ය.

පසුදින දන්සලේ දී දියණිය එක් කෑම කොටසක් පමණක් ඉල්ලු විට දන්සල් පාලකයා “අද ද තී තමන්ගේ බඩේ තරම දැන ගත්තේ?” යි බැණ වැදුණා ය. මහත් ලජ්ජාවට පත් සිටු දියණිය “මා මුල් දිනයේ කොටස් තුනක් ගෙන ගියේ කෑමට අප තිදෙනෙක් සිටි නිසා ය. ඊයේ අපි දෙදෙනෙක් බවට පත් වූමු. අද ඉතිරිව සිටිින්නේ මා පමණය” යි පැවසූවා ය. ඒ කවර හෙයින් දැයි විමසා දන්සල් පාලකයා සියලු කතාව අසා දැන ගත්තේ ය. ඔහු ගේ දෑසට කඳුළු නැඟිණි. “දුක් නො වන්න දියණිය, අද පටන් ඔබ මගේ දියණිය වන්න’ යි සිය නිවසට ඇය කැඳවා ගත් හෙතෙම මහත් සෙනෙහසින් ඇය වැඩුවා ය.