Print this Article


සුත්ත නිපාතයෙන් ... : දිය නොම රැෙඳනා පියුමක් විලසේ මුනි සූත්‍රය -2

සුත්ත නිපාතයෙන් ... :

දිය නොම රැඳෙනා පියුමක් විලසේ

මුනි සූත්‍රය -2

මෙම ලිපියේ මුල් කොටස ජනවාරි 05 වනදා පත්‍රයේ පළවිය

බුදුරජාණන් වහන්සේ වදාළා (සබ්බාහිභුං සබ්බවිදුං සුමේධං) ඒ නුවණැති මුනිවරු සියල්ල මැඬලනවා. සියලු අකුසල් මැඬලනවා. සියල්ල අවබෝධ කරනවා. (සබ්බේසු ධම්මේසු අනුපලිත්තං) ලොව කිසිවකට නො ඇලී වාසය කරනවා,(සබ්බංජහං) කෙලෙස් හටගත්ත සියලු දේ අත්හරිනවා,(තණ්හක්ඛයේ විමුත්තං) තෘෂ්ණාව ක්ෂයවෙලා නිදහස අත්පත් කරගෙන වැඩ සිටිනවා. (තං වාපි ධීරා මුනිං වේදයන්ති) ඤාණවන්ත උදවිය ඒ පුද්ගලයා මේ මුනිවරයෙකි කියා හඳුනා ගන්නවා. ධර්මය දන්නා ප්‍රඥාවන්තයා සැබෑ මුනිවරයා හඳුනාගන්නා ආකාරය ගැනයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවේ දී වදාළේ්.

මුනිවරයාගේ බලය සීලය යි

(පඤ්ඤාබලං සීලවතූපපන්නං) ඒ මුනිවරයා වාසය කරන්නේ ප්‍රඥාව බලය කරගෙන යි. ඒ වගේම පාරිශුද්ධ සීලයෙන් යුක්ත යි. මනා වත් පිළිවෙතින් යුක්ත යි. (සමාහිතං) සමාහිත සිතින් යුක්ත යි. (ඣානරතං) ධ්‍යානයට ඇලී වසනවා, (සතිමං) සිහි නුවණින් වසනවා, (සංගාපමුත්තං) කෙලෙසුන්ගෙන් මිදී වසනවා. අඛිලං යනු හුල යි. මුනිවරු කෙලෙස් හුල් නැතිව වාසය කරනවා. (අනාසවං) ආශාව නැතිව වසනවා. (තං වාපි ධීරා මුනිං වේදයන්ති) නුවණැත්තෝ එතුමන්ට කියන්නේ මුනිවරයා කියල යි. බුදුරජාණන් වහන්සේ මුනිවරයා හඳුන්වා දෙන ආකාරය කෙ තරම් අසිරිමත් ද?

පියුමක් වන් මුනිඳුන්

ඒ වගේම මුනිවරුන්ගේ ස්වභාවය තමයි (ඒකං චරන්තං) හුදකලාවේ හැසිරෙනවා. (මුනිං අප්පමත්තං) අප්‍රමාදීව වාසය කරනවා. (නින්දා පසංසාසු අවේධමානං) නින්දා ප්‍රශංසාවට නො සැලී වාසය කරනවා. එසේනම් මුනිවරුන්ටත් නින්දා ලැබෙනවා. ඒ වගේ ම ප්‍රශංසාත් ලැබෙනවා. එලෙස නින්දා ප්‍රශංසා ලැබෙන විට දී ඒ මුනිවරු ඒවාට නො ඇලී වැඩ සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ මනරම් උපමා කිහිපයකින් එම තාදී ගුණය පිළිබඳ මෙලෙසින් වදාරනවා. (සීහං’ව සද්දේසු අසන්තසත්තං) ශබ්දයට නො සැලෙන සිංහයෙක් ලෙසින් (වාතං’ව ජාලම්හි අසජ්ජමානං) දැලෙහි නො බැඳිය හැකි සුළඟක් ලෙසින් (පදුමං’ව තෝයේන අලිප්පමානං) දියෙහි නො ම තැවරෙනා පියුමක් ලෙසින්, මුනිවරයා නින්දා ප්‍රශංසාවන්ට නො ඇලී, නො සැලී වැඩ සිටිනවා. (නේතාරමඤ්ඥේ සමණඤ්ඤ නෙය්යං) ඒ මුනිවරයා ශ්‍රමණයන් වහන්සේ අතර නායකයෙක් වගේ ම, අන් අයත් ශ්‍රමණභාවයට පමුණුවනවා යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළා. (තං වාපි ධීරා මුනිං වේදයන්ති) එනිසා නැණැති ජනයා ඒ උතුමන්ට මුනිවරයා කියා පවසනවා.

(යො ගාහණෙ ථම්භෝරිවාභිජායති) කවුරුහරි පිරිසක් අපහාස කරනවානම්, සැර පරුෂවෙලා ගරහනවා නම්, මුනිවරයා නිශ්ශබ්දව වැඩ සිටිනවා. හරියට නො සැලෙන සෘජු කණුවක් ලෙසින් (යස්මිං පරේ වාචාපරියන්තං වදන්ති) අන් අය පවසා අවසන් වුණාට පස්සේ තමයි මුනිවරයා කතා කරන්නේ. (තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං) ඒ මුනිවරයා ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ඉඳුරන් මනාව සංවර කරගෙනයි වාසය කරන්නේ. (තං වාපි ධීරා මුනිං වේදයන්ති ) නුවණැති අය මේ උත්තමයන් හට මුනිවරයා කියා පවසනවා.

අසිරිමත් ය ඒ මුනිවරු

(යෝ වේ ඨිතත්තෝ තසරං’ව උජ්ජුං) තසර කියා කියන්නේ නූුල් කටින යන්ත්‍රයේ හරස් අතට තිබෙන ඇද නැති කෙලින් ඇති ලීයට යි. බුදුරජාණන් වහන්සේ මුනිවරයාගේ සිත හරියට තසරයක් වගේ යැයි දේශනා කොට වදාළා. දහමේ ස්ථිරව පිහිටා තිබෙනවා. (ජිගුච්ඡති කම්මේහි පාපකේහි) ඒ මුනිවරයා පව්කම් පිළිකුල් කරනවා. පව්කම් කරන්න කැමැති නැහැ (වීමංසමානෝ විසමං සමංච) හොඳ නරක දෙක ම හොඳින් නුවණින් විමසනවා. (තං වාපි ධීරා මුනිං වේදයන්ති )ප්‍රඥාවන්තයෝ එබඳු පිරිසට මුනිවරයා කියා පවසනවා. (යෝ සඤ්ඤතත්තෝ න කරෝති පාපං) ඒ වගේ ම පාපී කිසිවක් කරන්නේ නැහැ. (දහරෝ ච මජ්ක්‍ධිමෝ ව මුනි යතත්තෝ) ඒ මුනිවරයා පොඩි කෙනෙක් වෙන්නත් පුළුවන්. මැද වයසේ කෙනෙක් වෙන්නත් පුළුවන්. යෞවන වයසේ කෙනෙක් වෙන්නත් පුළුවන්. නමුත් උන්වහන්සේ උතුම් මුනි ගුණයෙන් යුක්ත යි. (අරෝසනෙය්යෝ සෝ න රෝසේති කංචි) උන්වහන්සේ කිසිවෙකුගෙන් දොස් නො ලබනවා මෙන් ම කිසිවෙකුටත් දොස් නො කියන චරිතයක්. (තං වාපි ධීරා මුනිං වේදයන්ති ) නැණැති දනෝ උන්වහන්සේ මුනිවරයෙක් කියා හඳුන්වනවා.

මුනි ගුණ වරුණ

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ වදාළා මුනිවරයා පිඬු සිඟා වඩින විට (යදග්ගතෝ මජ්ඣගතෝ සේසතෝ වා) සමහර පිරිස් ඒ මුනිවරයාට භාජනය උඩින් ගත් බත් දානයට පූජා කරනවා. එසේ නැත්නම් භාජනය මැදින් ගත් දානය, නැත්නම් ලැබෙන්නේ භාජනයේ ඉතිරි අවසාන හරිය. (පිණ්ඩං ලංභේථ පරදත්තූපජීවි) ඒ ආකාරයට අනුන්ගෙන් ජීවත්වෙන, අනුන් දුන් දෙයින් යැපෙන මුනිවරයාට කොයි ආකාරයට ලැබුණත් (නාලං ථුතුං නෝපි නිපච්චවාදී) පිණ්ඩපාතය හේතුවෙන් දායකයා අමුතුවෙන් වර්ණනා කරන්නේ නැහැ. දොස් කියන්නෙත් නැහැ. භාජනයේ අඩියේ ඇති දානය පූජා කළා කියා අපහාස කරන්නෙත් නැහැ. (තං වාපි ධීරා මුනිං වේදයන්ති) නැණවතුන් මේ උතුමාට මුනිවරයා කියා පවසනවා. (මුනි වරන්තං වීරතං මේථුුනස්මා)

ඒ වගේම මුනිවරයා මෛථුනයෙන් වැළකී බ‍්‍රහ්මචාරීව වාසය කරනවා. (යෝ යොබ්බනේන උපනිබජ්ඣතේ කච්චි) යෞවනයේ වාසය කරන මුනිවරයා වුවත් කෙ දිනකවත් කාමයට ඇලෙන්නේ නැහැ. උන්වහන්සේ වාසය කරන්නේ මුනි දහමක සිත බැඳ ගෙනයි. (මදප්පමාදා විරතං විප්පමුත්තං) මද ප්‍රමාද වලින් නො ඇලී, ඒවා ඇලුම් නො කර, කෙලෙසුන්ගෙන් මිදී වාසය කරනවා. (තං වාපි ධීරා මුනිං වේදයන්ති) නුවණැත්තෝ උන්වහන්සේට මුනිවරයා කියා පවසනවා.

අඤ්ඤය ලෝකං පරමත්ථදස්සිං ) මේ ලෝකයේ අර්ථය හඳුනාගෙනයි මුනිවරයා වාසය කරන්නේ. (ධීඝං සමුද්දං අතිතරිය තාදිං) මුනිවරයා කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ යන සැඩ පහර තරණය කර තාදී බවට පත්වෙනවා. තාදී යනු අටලෝ දහමට කම්පා නො වන උතුමෙක් බවට පත් වෙනවා. (තං ජින්නගන්ථං) උන්වහන්සේ තමයි කෙලෙස් ගැට සිඳ දැමු උතුමා. (අසිතං) කෙලෙස් නැසූ උතුමා (අනාසවං) ආශ්‍රය රහිත උතුමා (තං වාපි ධීරා මුනිං වේදයන්ති ) මෙවැනි උතුමන්ට නැණැති දනන් මුනිවරයා කියා පවසනවා.

ලොව ඇති සැබෑ පරතරය

මේ ආකාරයට මුනිවරු යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ රාග, ද්වේශ, මෝහ ප්‍රහාණය කළ උතුමන්ට යි. ලෝකයේ එක් කොටසක් ගෘහ ජීවිත ගතකරමින් වාසය කරන අතර අනෙක් කොටස ගෘහ ජීවිතය අත්හළ ශ්‍රමණවරු, මුනිවරුය. බුදුරජාණන් වහන්සේ වදාළා (අස්මා වුහෝ දුර විහාර වුත්තිනෝ) ගෘහ ජීවිතය අත්හළ මුනිවරයාගේ ජීවිතයි, ගිහි ජීවිතයේ වාසය කරන පුද්ගලයාගේ ජීවිතය යි අතර පරතරය බොහෝ දුරයි කියා. (ගිහි දාර පෝසී අමමෝච සුබ්බතෝ) ගිහි පුද්ගලයා අඹුව පෝෂණය කරමින් වාසය කරනවා.

නමුත් මුනිවරයා මමත්වය රහිතව, මනා වත් පිළිවෙතින් වාසය කරනවා. (පරපාණරෝධාය ගිහි අසඤ්ඤතෝ) ඇතැම්විට ගිහි පුද්ගලයා සතුන් මරන්න පෙළඹෙනවා. (නිච්චං මුනී රක්ඛති පාණිනෝ යතෝ) කෙලෙස් රහිත ඉන්ද්‍රිය දමනයෙන් යුතු මුනිවරයා නිරන්තරයෙන් සියලු සතුන් ආරක්ෂා කරනවා. (සිඛී යථා නීල ගිවෝ විහංගමෝ) අහසේ ඉගිලෙන මොනරාට (හංසස්ස නෝපේති ජවං කුදාවනං) කිසිකලෙක හංසයෙකුගේ ජවයට ළංවෙන්න බැහැ. (ඒවං ගිහි නානුකරෝති භික්ඛුනෝ)

ඒ වගේ ගිහි පුද්ගලයාට භික්ෂුවත් සමග, මුනිවරයා සමග කිසි කලෙකත් සමීප විය නො හැකියි. මුනිවරයා යනු බ්‍රහ්චාරිව වනයේ දැහැන් වඩන උතුමෙකැයි කියා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව නිමවා වදාළ සේක.

අපි ද ඒ උතුම් මුනිවරු පිළිබඳවත්, උත්තම මුනි දහම පිළිබඳවත්, ශාක්‍ය මුනින්ද්‍ර භාග්‍යවතුන් වහන්සේ පිළිබඳවත් බලවත්ව සිත පහදවා ගනිමු.