Print this Article


අත්හැරීම

අත්හැරීම

අපගේ ශාස්තෘන්වහන්සේ වන බුදුරජාණන් වහන්සේ ධර්ම සන්නිවේදනය ආරම්භ කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශිත උතුම් දම්සක් පැවතුම් සූත්‍රයෙනි. උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයේ දී මූලික වශයෙන් පෙන්වා දෙන්නේ කාමසුඛල්ලිකානුයෝගී අන්තයත්, අත්තකිලමථානුයෝගී අන්තයත් බැහැර කොට, මධ්‍යම ප්‍රතිපදාව තුළින් නිවන උදෙසා යන ඒකායන මාර්ගය යි.

එහි දී බුදුරජාණන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව පරිවට්ට තුනකින් යුක්තව, ආකාර දොළසකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන මඟ ඉතා පැහැදිලි ව, ඉතාමත් ම නිරවුල් ව, ඉතාමත් ම පිරිසුදුව, අපට ඉස්මතු කොට පෙන්වා දුන් සේක. ඒ , ‘සරත් සමයේ ආකාශයේ මනාකොට රැස් විහිඳුවමින් බබළන හිරු මඬල’ පෙන්වා දෙන පරිද්දෙනි.

එහි දී බුදුරජාණන් වහන්සේ තිපරිවට්ට ද්වාදසාකාරයෙන් චතුරාර්ය සත්‍යය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් පරිවට්ට තුනකින් පෙන්වා වදාළ සේක. එහි දී බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යයෙහි දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළ යුතු බවත්, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතු බවත්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය ප්‍රගුණ කළ යුතු බවත්, දේශනා කොට වදාළ සේක.

බුදුරජාණන් වහන්සේගේ එම දෙසුම අසා මේ ලෝකයට ප්‍රථම වරට ශ්‍රාවකයෙක් හැටියට චතුරාර්ය සත්‍යයෙහි දහම් ඇස පහළ කර ගන්නේ කොණ්ඩඤ්ඤ ශ්‍රමණයන් වහන්සේ ය. එනම්, බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය යෝනිසෝමනසිකාරයෙන් විමසද්දී, මේ ලෝකයේ අවිද්‍යාවෙන්, මළකඩ සහිත වූ සියලු ක්ලේශයන්ගෙන් තමන් අත්මිදිය යුතු බව උන්වහන්සේ මුලින්ම දැන හඳුනා ගත්හ. උතුම් සෝවාන් මාර්ග ඵලය වන හේතු ඵල දහමේ අවබෝධය වන ‘ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති’ යන ජීවිතාවබෝධය, උතුම් ගැඹුරු අවබෝධය, එහෙම නැතිනම්, පටිච්ච සමුප්පාදය නුවණින් අවබෝධ කර ගැනීම තමයි, එතැන දී සෝවාන් මාර්ග ඵලයට පත්වීම යනුවෙන් සඳහන් කරන්නේ. එහි දී කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ යන නාමයෙන් හඳුන්වනු ලැබූ හ. උන්වහන්සෙගේ ම අවබෝධයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තමන් තුළින් ම අවබෝධ කර ගැනීම ‘යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං’ යන බුදු වදනට අනුව යමක් හේතූන් නිසා හට ගන්නවා ද, ඒ සියල්ල හේතු නැති වීමෙන් නැතිවී යන ස්වභාවයෙන් යුක්ත යැ’යි කියා දහම් ඇස පහළ විය. එය හඳුන්වන්නේ ‘ධම්ම චක්ඛුං උදපාදි’ හැටියට යි. මෙතැනදී අපට පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයට කොතෙකුත් දේශනා කළත් , තමන්ගේ නුවණින් ධර්ම කාරණා නොවිමසන තාක් කල්හි, කිසිම කෙනෙකුට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවන වගයි. ‘තාත්තාගෙන් පුතාට හෝ අම්මාගෙන් දියණියට ලැබෙන , ගුරුවරයාගෙන් ගෝලයාට ලැබෙන දායාදයක් නොවන, චතුරාර්ය සත්‍යය තමන් විසින් ම මහන්සියෙන් අවබෝධ කළ යුතු ධර්මයක් හැටියට යි.

එහි දී අපි උපකාරයක් හැටියට සද්පුරුෂයකුගෙන් ධර්මය අසා, ඒ ධර්මයට අනුව නුවණින් විමසීමෙන් තමයි අපට ධර්මය අවබෝධය ඇති කර ගත හැක්කේ. මේ ආකාර වශයෙන් බුදුරජාණන් වහන්සේගේ මුල්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කර, ඉන් අනතුරුව පස්වග ශ්‍රමණයන් වහන්සේලා සෝවාන් මාර්ග ඵලයට පත් වුණාට පසුව ‘පංචවග්ගිය සූත්‍රය’ නමින් ධර්මයේ සඳහන් ප්‍රකට දේශනාවක් වන අනාත්ම ලක්ඛණ සූත්‍රය දේශනා කරන්නේ. අනාත්ම ලක්ඛණ සූත්‍රය සූත්‍ර පිටකයේ සඳහන් වන්නේ, පංචවග්ගිය සූත්‍රය ලෙස යි. එහි දී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ රූප, වේදනා, සංඥා , සංඛාර, විඤ්ඤාණ යන පංචඋපාදානස්ඛන්ධය අනාත්ම දෙයක් හැටියට යි. තමන්ගේ වසඟයෙන් පවත්වන්නට නො හැකි දෙයක් හැටියට යි. එහි දී බුදුරජාණන් වහන්සේ අනාත්මය මුල්වරට ලෝකයට දේශනා කරන්නේ එම අනාත්ම ලක්ඛණ සූත්‍ර දේශනාවෙනි. ඉතින්, අපි ද ඒ බුද්ධ ශ්‍රාවක පිරිස හැටියට අවබෝධ කරගත යුත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය යි. උතුම් චතුරාර්ය සත්‍ය දේශනාවෙන් අපිට ද අනිත්‍යතාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය ගැන ගැඹුරු පුළුල් අවබෝධයකින් ඇති කර ගැනීම ඉතාමත් ම වටී. එහි දී අපට කලබල වුණ පමණින් චතුරාර්ය සත්‍ය කරා යන්නට පුළුවන්කමක් නැත. චතුරාර්ය සත්‍යකරා යාමේ දී මූලික අනුපිළිවෙළක් ද ඇත.

බුදුරජාණන් වහන්සේ එහි දී ගිහි පින්වතුන් හැටියට මුලින්ම අපට පෙන්වා දෙන්නේ දාන, ශීල, භාවනා ආදී පින්කම් සිදු කිරීමෙන් නිවනට ළඟා වීමේ මාර්ගය යි. එහි දී ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන කරුණු විස්තර කර ගත්තොත්, ‘දානයක් දෙනවා කියන්නේ තමන් සතු දෙයක් අත් හරිනවා කියන එක යි’ ශීලයක දීත් කරන්නේ අත්හැරීමක් ම යි. දානයක දී අත්හරිනවා යනු අපි කොහොමත්ම දන්නා කරුණකි. ශීලයේ දී අපි අත හරින්නේ කුමක් ද? පංච දුශ්චරිතය යි. සතුන් මැරීමෙන් වැළකීම, සොරකම අත්හැරීම, කාමයේ වරදවා හැසිරීම අත්හැරීම, බොරු කීම අත්හැරීම සහ මධ්‍යසාර භාවිතය අත් හැරීම යි. එසේනම්, දානයේ දී පමණක් නො වෙයි, අත් හැරීම සිද්ධ වෙන්නේ, ශීලයේදීත් සිද්ධ වෙන්නේ අත්හැරීමකි. භාවනාවේ දී පවා සිද්ධ වෙන්නේ අත්හැරීමකි. උදාහරණ වශයෙන් මෛත්‍රී භාවනාව ගනිමු. එහි දී අපි අත් හරින්නේ තරහ, වෛර, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදී අකුසල ධර්මයන් ය. එහි දී භාවනා වැකි වශයෙන් සඳහන් කරන්නේ, ‘මම වෛර නැත්තෙක් වෙම්වා, මම තරහ නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා ආදී වශයෙනි. එහෙමනම්, අපි දුරු කර ගන්නට තියෙන්නේම, අත් හරින්න තියෙන්නේ ම මේ රාග, ද්වේශ, මෝහ ආදී අකුසල ධර්මයන්ම යි. මේ අකුසලයන් අපට දුරු කරගන්නට හැකියාව තිබෙන්නේ තමන්ගේ වසඟයෙහි පවත්වන්නට පුවවන් දෙයක්, මේ ලෝකයේ හෝ වෙන ලෝකයන් හෝ නැති නිසා ය. ඉතින්, එහි දී අනිත්‍යතාවය, දුක්ඛිත ස්වභාවය සහ අනාත්ම ස්වභාවය ප්‍රකට කර ගන්නට අපි මූලාරම්භය ලබා ගත යුත්තේ දාන, ශීල, භාවනා ආදී ත්‍රිවිධ පින්කම් තුළිනි. එසේනම්, බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ශ්‍රද්ධාව ඇති කර ගැනීම තුළින්, උතුම් ශ්‍රාවක මහා සංඝයා වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කර ගැනීම තුළින් අපට ධර්ම මාර්ගය පිළිබඳව ලොකු විශ්වාසයක් ගොඩ නැඟෙනවා. ඒ විශ්වාසය තමයි , අවබෝධයට මූලික පදනම බවට පත් වෙන්නේ. ඒ විශ්වාසය ධර්මය තුළ සඳහන් කරන්නේ ශ්‍රද්ධාව ලෙස යි. ඒ ශ්‍රාවකයා අනිත් සියලු ගුණ ධර්ම දියුණු කරගන්නට තරම්, මහා වාසනාවක් ලබන කෙනෙක් බවට පත් වෙයි. එමනිසා අපගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙතරම් ද කියා දැන හඳුනාගන්නට නම්, අපි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ. උතුම් සූත්‍ර ධර්ම දේශනා ආදිය නිබඳව ම කියවා බලා දැන අවබෝධ කළ යුතු යි. ඒ වගේ ම සූත්‍ර දේශනා අඩංගු සූත්‍ර පිටකයෙහි සඳහන් සූත්‍ර දේශනා අපි නිබඳව ම ශ්‍රවණය කළ යුතු යි.