Print this Article


කළ කම් පල දෙන හැටි 17: සඟ සතු දේ අනිසි භාවිතයට එපා

සඟ සතු දේ අනිසි භාවිතයට එපා

" සාංඝික දේපළ අනිසි ලෙස අත්පත්කර ගැනීම, අයබදු නොගෙවීම, සාංඝික දේපළ කෑම යන ක්‍රියාවන් සිදුකොට ප්‍රේත ආත්මවල උපත ලබා දුක් විඳින පිරිස් පිළිබඳව “පේත වත්ථු” නමැති ධර්ම ග්‍රන්ථයෙහි සඳහන් වෙයි. ඔවුන් බොහෝ දුක් විඳිති. ආහාර හිඟකමින් සුදහගින්දරෙන් අපමණ පීඩාවට පත්වෙති. අපවිත්‍ර දෙයක් හෝ කෑමට ලැබීමෙන් එය භුක්ති විඳීමට නොහැකිව ඔවුනොවුන් විවිධ අරගලවල යෙදෙති. ඇතැම් විට තුවාල වූ තම ශරීරයේ පැසවූ ලේ බොමින් ද, සැරව ආහාරය ට ගනිමින් ද, ජීවත්වෙති. "

ඇතැම් පුද්ගලයෝ මිත්‍යා ආජීවයෙන් මුදල් හම්බ කරති. එහි අසාධාරණ බව මැකීයාම සඳහා කොටසක් පින ට දහම ට යොදවති. පින ට දහම ට යෙදවීම වරදක් නොවුව ද, එතුළින් කුසලයක් රැස්වීමට නම්, තමා සාධාරණ ක්‍රමයකින් උපයා ගත් මුදලක් විය යුතු ය. සාංඝික දානයක් පූජා කිරීමේ දී එම ආහාර වේල තුළ පවතින ස්වභාවය පිළිබඳව බුදුදහමේ අවධාරණය වේ. ආයුෂය, වර්ණය හෙවත් පැහැපත් බව, සැපය, බලය, ප්‍රඥාව යන්නයි. දානයෙහි විපාක ලෙස පෙරළා පුදන්නාට ලැබෙන ආනිශංස ද ඒවා යි. එනම්,

1. තමන්ගේ නිරෝගිමත් බව වර්ධනය වීම

2. තමන්ගේ ශරීර පැහැපත් බව වර්ධනය වීම.

3. විඳින සැප සම්පත් දියුණු වීම.

4. හැකියාවන් වර්ධනය වීම.

5. චින්තන ශක්තිය හෙවත් බුද්ධි සංවර්ධනය ඇතිවීම යි.

සාංඝික දානයක් පූජා කිරීමේ දී එම පින්කම කළ යුතු ය, යන සිතිවිල්ල මනස තුළ ජනිත වූ මොහොතේ සිට සිදුවන ක්‍රියාදාමයන් වැදගත් වේ. තම ගෘහය තුළ සාංඝික දානයක් පූජා කරන ආකාරය පිළිබඳ ව මනසින් කරන සැලසුම ද පින්කම ට අයිති වේ. පින්කමක් සිදුකිරීමේ දී පින වැඩි කර ගැනීමටත්, පින්කම සාර්ථක කර ගැනීම ටත් සංචේතනික බව හා අවබෝධය වැදගත් ය. සාංඝික දානයක් පූජා කිරීමේ දී ඒ වෙනුවෙන් විහාරස්ථානය ට ගොස් කරන ආරාධනාව ද, ස්වාමීන් වහන්සේලා ට එම ආරාධනාව සිදුකරන ආකාරය ද පින්කම සඳහා හේතු වෙයි. වර්තමානය තුළ දානයක් පූජා කිරීමේ දී නිවසේ තිබෙන ඉඩකඩ ප්‍රමාණය, පින්කම සඳහා වියදම් කළයුතු ප්‍රමාණය, සහ පින්කම වෙනුවෙන් සහභාගිකරවා ගනු ලබන ආරාධිතයන් ප්‍රමාණය සැලකිල්ලට ගනු ලබන බව දක්නට ලැබේ. සාංඝික දානයක් පූජා කිරීමේ අදහස පමණක් තිබෙන පුද්ගලයකුට හා පින්කම සිදුකිරීමේ අවශ්‍යතාව හා කුසලය දන්නා කෙනෙකුට එය වැදගත් සාධකයක් වන්නේ නැත. පින්කම සිදුකරන දායකයා විසින් ම දානමය පින්කමට මහා සංඝරත්නය ට ආරාධනා කරන අවස්ථාව තුළ පවතින්නේ පොදු මහා සංඝරත්නය ට සාංඝික දානයක් පූජා කිරීමේ අදහස යි. දානයට වැඩම කරනු ලබන භික්ෂූන් වහන්සේලා ප්‍රමාණය ට වඩා වැදගත් වන්නේ දානයක් පූජාකිරීමේ දී පූජාකරන්නාගේ චේතනාවයි. උපසම්පදා එක් ස්වාමීන් වහන්සේ නමක් පමණක් වැඩම කළ ද, එම දානය සාංඝික කිරීමේ හැකියාව තිබේ. දානයක් සාංඝික කිරීමේ කටයුත්ත සිදුකරනු ලබන්නේ දානය පූජා ලබන්නා නොව පූජා කරන්නා විසින් ය.

සාංඝික දානයක් පූජා කිරීමේ දී දායකයාගේ සිත සහ සිතිවිලි අවස්ථා තුනකදී පවිත්‍ර භාවයට පත්විය යුතු බව සඳහන් වේ. දානමය පින්කමෙහි කුසල පක්ෂය වර්ධනය කර ගැනීම සඳහා එය වැදගත් වේ. පූජාවේ මහත්ඵල මහානිශංස ලැබෙන්නේ ද දනට පුදන හා පිරිකරට පූජාකරනු ලබන ද්‍රව්‍ය අනුව නොව, පුදන්නාගේ චේතනාව සහ ඒ ඒ මොහොතේ හැඟෙන සිතිවිලිවල ස්වභාවය අනුව ය. ඒ අනුව අවස්ථා තුනක් දැක්විය හැකි ය.

පූර්ව චේතනාව - සාංඝික දානමය පින්කම පිළිබඳ සිතිවිල්ල මනසට ඇති වූ අවස්ථාවේ සිට දානයට ආරාධනා කිරීම, දානය සඳහා දානෝපකරණ පිළියෙළ කිරීම, ගෞරවනීය මහා සංඝරත්නය නිවස ට වැඩම කිරීම දක්වා වන කාල සීමාව යි.

මුඤ්චන චේතනාව - දානය පූජා කිරීම, දානය වැළඳීම යන පින්කම තුළ සිදුවන ක්‍රියාකාරී අවස්ථාවන් සහ ගරුතර මහා සංඝරත්නය දානය වළඳා නිවසෙන් වැඩම කිරීම දක්වා කාල සීමාව යි.

අපර චේතනාව - සාංඝික දානමය පින්කම වෙනුවෙන් සිදුකරනු ලැබූ වියදම් ගණන් කිරීමෙන් පසුව ඇතිවන සිතිවිලි සහ දානයක්, සාංඝික කිරීමේ කටයුත්ත සම්පූර්ණ වීම සඳහා උපසම්පදා භික්ෂූන් වහන්සේලා හතර නමක් සිටිය යුතු ය.

නමුත් ඒ සඳහා දානයට ආරාධනා කරනු ලබන දායකයාගේ චේතනාව ද බලපානු ලබයි. සාංඝික කිරීම යනු පොදු අයිතිය ට පත්කිරීම යි. පෞද්ගලික දෙයක් පොදු අයිතිය ට පත්කිරීම තුළ කුසලය වර්ධනය වීම ට හේතුවෙයි. පොදු දේපළ කොටස් දෙකකි. 1. රාජ්‍ය දේපළ, සාංඝික දේපළ යනුයි. රාජ්‍ය දේපළ ඇතැම් විට පුද්ගලික දේපළක් බවට පත්කර ගැනීමේ හැකියාව ඇතත් සාංඝික දේපළ පුද්ගලික බවට පත්කර ගැනීමේ හැකියාවත් නැත. නීතිමය වශයෙන් ද කළ නොහැකි ය. නීතියෙන් ද ඒ සඳහා අවස්ථාවක් නැත.

සාංඝික වර්ග තුනක් පිළිබඳව බුදු දහමෙහි සඳහන් වේ.

1. එක් දිවස – එක දිනකට එක වේලකට පමණක් සීමා වන සාංඝිකය. ඉන්පසුව එහි සාංඝික බවක් නැත.

2. සත්තාහක – දින හතකට හෙවත් සතියකට පමණක් වලංගු වන සාංඝිකය. ඉන්පසුව එහි සාංඝික බවක් නැත.

යාවජීව - ඉරහඳ පවතිනතුරු පවතින සාංඝිකය, සාංඝික දානයක් පූජා කිරීමේ දී එය අයත් වන්නේ ඒක දිවස සාංඝිකයට යි. පූජා කරන දානය එම වේලට පමණක් සාංඝික වන නිසා පසුව එය ගිහි පරිභෝජනයට වරදක් නැත. භික්ෂූන් වහන්සේලා දානය වළඳා අවසන් වූ පසු ගිහියාගේ පරිභෝජනයට සුදුසු ය.

සාංඝික දානමය පින්කමක දී වියදම් කරවන ධනය තමන් සාධාරණ ලෙස හරිහම්බ කරගත් ඒවා විය යුතු ම ය. එසේ නොවන්නේ නම්, කරනු ලබන දානයේ කුසලයක් ලැබෙන්නේ නැත. සචේතනික බව මෙන්ම වියදම් කරන මුදල උපයාගත් ආකාරය ද කුසල කර්මයක් වීම සඳහා බලපානු ලබයි.

සාංඝික දේපළ, පුද්ගලික පරිහරණයට ගැනීම බරපතළ අකුසල කර්ම විපාක ලැබීමට හේතුවන අකුසල කර්මයකි. පන්සල සතුවන කුඹුරුපිටි වගාකොට වෙහෙරට ලැබිය යුතු කොටස නොදී හෝ වංචා සහගත ලෙස ගසා කති. සාංඝික ඉඩම් භුක්ති විඳිමින් වෙහෙරට දිය යුතු කොටස නොගෙවති. සාංඝික ඉඩම් ව්‍යාජ ඔප්පු සකස්කොට විකුණති. එබඳු පාප ක්‍රියාවල සම්මාදන් වෙති. බරපතළ අකුසල විඳීමට සිදුවන බව බුදුදහම අවධාරණය කර ඇත. ඊළඟ භවය තුළ සුනඛයන්, කපුටන් වී උප්පත්තිය ලැබීමට හේතුවෙයි. සාංඝික දේපළ පුද්ගලික පරිහරණයට ගැනීම මෙලොව දී ම ඵලදෙන කර්මය ලෙස ද සඳහන් කළ හැකි ය.

එක්තරා පුද්ගලයෙක් පන්සලක් සතු ඉඩමක පදිංචි ව සිටියේ ය. පන්සලට අදාළ බදු මුදල් ගෙවමින් සිටි ඔහු ක්‍රමයෙන් දියුණු විය. කාලය ගත වීමත් සමඟ බදු මුදල් ගෙවීම පැහැර හැරියේ ය. ප්‍රකාශන ඔප්පුවක් සකස් කොට සාංඝික ඉඩම කොටස් දෙකකට කඩා විකුණුවේ ය. කළ පාපකර්මය සමඟ ඔහුගේ ජීවිතය ද පළුදු වී ගියේ ය. විවාහ වූවාට දරුවන් සිටියේ නැත. හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ජීවිතය විනාශ කරගත්තේ ය.

සාංඝික දේපළ අනිසි ලෙස අත්පත්කර ගැනීම, අයබදු නොගෙවීම, සාංඝික දේපළ කෑම යන ක්‍රියාවන් සිදුකොට ප්‍රේත ආත්මවල උපත ලබා දුක් විඳින පිරිස් පිළිබඳව “පේත වත්ථු” නමැති ධර්ම ග්‍රන්ථයෙහි සඳහන් වෙයි. ඔවුන් බොහෝ දුක් විඳිති. ආහාර හිඟකමින් සුදහගින්දරෙන් අපමණ පීඩාවට පත්වෙති. අපවිත්‍ර දෙයක් හෝ කෑමට ලැබීමෙන් එය භුක්ති විඳීමට නොහැකිව ඔවුනොවුන් විවිධ අරගලවල යෙදෙති. ඇතැම් විට තුවාල වූ තම ශරීරයේ පැසවූ ලේ බොමින් ද සැරව ආහාරය ට ගනිමින් ද, ජීවත්වෙති.