Print this Article


පහන් සිතක කවි

නව වසරට ආසිරි

සාමයේ දැහැමියාවේ අරුණළු දසතම පැතිරෙන්නයි
දහමින් පිරුණ සිතිවිලි සිත පිරෙන්නයි
සැම සිත් තුළ ම සතුටක් රජයන්නයි
දෙදහස් දහනවය වසරේ සැමටම කිරි ඉතිරෙන්නයි

****

නව අවුරුදු පැතුම්

සුවිසල් මැදුරු සහ ගෙපැළක් එක ලෙසින
සිරිබර දුරුතු සිසිලස රටටම බෙදන
කිරිබත් කැවුම් සුවඳින් සමඟිය රඳන
දෙදහස් දහ නවයෙ වසරට ඇත පැමිණ

සිරිමා බෝ රඳුන් රන්නැලි සෑ කිරණින්
සමනොළ අඩවියේ රැඳි සිරිපා තඹරින්
බුදු බණ පහස ලද දළදා හිමි බලයෙන්
සැරදේ නව වසර තුනුරුවනේ සරණින්

****

අවුකන බුදු පිළිම වහන්සේ

සිත් පිත් නැති කලු ගලකින් අපූරුවට නෙළා තිබෙන
උත්තම බුදු පිළිම රදුන් සැප සම්පත ළගා කරන
මෙත් කරුණා දිය ඇල්ලක් මුව මඬලින් කඩා හැලෙන
මත් වෙයි කෙනෙකුගෙ මහනෙල් දෙපා පියුම ළඟ ගැවසෙන

කලා වැවේ දිය ගැඹුරට නෙත් සඟලින් එළිය වැටෙන
කොපමණ බැලුවත් රූසිරි ඉතින් ඇති’යි සිතක් නො එන
නිරතුරුව ම කලා ලොවට ජීවය පණ නල කැන්දන
අවුකන බුදු පිළිමෙ වඳිමි වන පස මල් මිටක් රැගෙන

****

ලෝකය දැකීම

රූපය නිසා රාගෙන් මත් වී මෙහෙම
ලෝභය කෝපයෙන් රත්වෙනවනෙ සෑම
මෝහය නිසා මේ බව දකිනු ද කෝම
ලෝකය දුවයි මා නවතිනවා මෙහෙම
තිදොර රකින යතිවරු වාසනාවන්
නතර නොකර කරමින් භාවනාවන්
පතුරුවා ලොවට මෙත්ගුණ මනාවන්
අතර මං නොවී නිවනෙන් හිනාවෙන්

****

බලවත් සංකල්පය

අති උතුම් සංකල්ප නිරන්තර බිහිවේ ය
සියල්ලම අබිභවා එක් අයෙක් බලවත් ය
මරුගෙ සංකල්පයට සියල්ලෝ යටපත් ය
පරාජය තුරුළුකර සසර මඟ වල්මත් ය

****

අමා නිවන

සැප දුක අතර අටලෝ දම් කැරකේවී
රථ රෝදයක් සේ ආපිට පෙරළේවී
මට මගෙ කියා ගත යුත්තක් නැති වේවී
වැටහුනදා අමා නිවනට පැමිණේවී

****

බුදු ගුණ සිහි වේවා!

හිරු දුටු පිනි බින්දු හැලෙනව බිමට කුඩා
මරු ආදාට වයසෙදි නැත ලොකු ද කුඩා
එන්නේ මනු ලොවට සුරතල් ලෙසම හඬා
හඬවා සියලු දෙන යයි දුක් බරව විඩා

ගේ දොර ඉඩ කඩම් වතු පිටි යන මේවා
දිනකදි දමායන බව සිහියට ආවා
සිරි මුවගින් දෙසූ දහමෙහි ඇත වේවා
මිය යන වෙලාවට බුදු ගුණ සිහි වේවා

****

ආදර අම්මා

සදහට ආදරේ උල්පත වීලා
තුරුලට මා ගෙන නැළවූ අම්මා
ඇඟ ලේ ටික මට කිරි කර පොවළා
කැත කුණු අත ගෑ ආදර අම්මා
දුක් දොම්නස් ඈ අත හැර දමලා
නිවසම බැබළුවා මගෙ සුදු අම්මා
මගෙ දියුණුව පැතු අම්මා
ගෙදර මැණික මගෙ අම්මා
නිවසේ පහනක් වැන්නා
දූ ගේ සිත අඳුනන්නා
මගෙ ආදර සුදු අම්මා

****

සීයාගෙන් මිණිබිරියට

දිස්වෙන සරුව පිත්තල දැක නො රැවටෙන
රැස්වෙන ගුණ ඇසුර වෙත දිවි පුරුදුවෙන
ලිස්සන වැඩ එපා කෙනෙකුගෙ දොස් නැගෙන
ලස්සන වෙයන් පිටතින් නොව ඇතුළතින
දිවියට උතුම් බෝසත් ගුණ දැන රැගෙන
සතුනට පවා කරුණාවෙන් පිහිට වන
පියෙකුට මවක හට නුඹ තෙදිණියම වුණ
දහමට ලැදි වෙයන් සීයා සතුටුවන

****

පතමු නිවන

යමු සරණ තෙරුවන්
පරදවමු කෙලෙස් මරුවන්
නොවී මිසදිටුවන්
වෙමු අපි හොඳ බොදුනුවන්
නිති පන්සිල් රකිමු
පොහොය අටසිල් සමාදන් වෙමු
සසරෙ බිය දකිමු
අමා ‘නිවනම’ නිතර පතමු