Print this Article


කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ දුරුතු මහා පෙරහර

 දුරුතු මහා පෙරහර 25 දා:

කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ දුරුතු මහා පෙරහර

ඇස්සැද්දුම, කුලියාපිටිය වාර්ෂිකව පැවැත්වෙන දුරුතු මහා පෙරහර මෙවර ද දුරුතු මස 25 වන දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

ඇස්සැද්දුම, ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය මේ වන විට ප්‍රදේශයේ පොදු ජනයාගේ ගෞරවාදරයට පත් ධර්ම නිකේතනයක් බවට පත්ව තිබේ. විහාරස්ථානයේ පිහිටා ඇති ශ්‍රී දීපාලංකාරාම දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව දහසකට ආසන්න වී තිබේ. එසේ වීමට ප්‍රධාන හේතුව එයට අනුශාසනා කරමින් මෙහෙයවන විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති හිමියන්ගේත්, ආචාර්ය මණ්ඩලයේත් මග පෙන්වීම හා කැපවීම බව පැහැදිලි වේ.

පොහෝ දිනවල විහාරස්ථානයේ සිල් සමාදන් වන උවසු උවැසියනට පමණක් නොව, පොදු මහ ජනයාට ද සෙතක්, ශාන්තියක් අපේක්ෂාවෙන් ආරාධිත ධර්ම කථිකයන් වහන්සේ වැඩම කරවා විශේෂ පින්කම් මාලා පැවැත්වීම කාගේත් පැසසුමට ලක්වූවකි. විහාරස්ථානය හා සම්බන්ධ දායක සභාව, අනුලා කුළඟන සමිතිය, තරුණ බෞද්ධ සංගමය හා තවත් එවැනි සංවිධාන, සමිති මගින් සමාජයේ යහ පැවැත්මට, උන්නතියට, බුදු සසුනේ චිරස්ථිතියට කරන වැඩසටහන් බොහෝ ය. විශේෂයෙන් ම තරුණ බෞද්ධ සංගමය සම්බන්ධ වී වැඩිහිටි නිවාස දෙකක් ආරම්භ කර ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යාම මෙහි දී සඳහන් කළ යුතු ය.

අඩසිය වසකටත් ඉහත හැම පන්සලක ම පාහේ කුඩාවට, සරල ව පුංචි පෙරහරක් සංවිධානය කරන බව අපට මතක ය. ඇතැම් විට ඒවායේ පෙරහරක තිබූ අංගවත් ඉදිරිපත් වූයේ නැත. සමහර විට තෙල්, මල්, පහන් රැගෙන සාධු නාද දෙමින් යන පුංචි පෙරහරක් වුව ද, එදා අපට මහත් බැතියක් හා ආස්වාදයක් ගෙනෙන්නට සමත් විය. ඇස්සැද්දුම විහාරස්ථානය මගින්ද 1993 දී සංඝමිත්තා පෙරහර නමින් එවකට විහාරාධිපතිව වැඩ විසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය කබලෑවේ පියභාරති නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ආරම්භ වු පෙරහර ද කුඩා එකක් විය.

එහෙත් කාලීන වශයෙන් ඇතිවෙන සමාජ සංස්කෘතික වෙනස්කම් හා අනුගත වෙමින් සාම්ප්‍රදායික පෙරහරක තිබිය යුතු ප්‍රධාන ම අංග සියල්ල ම පාහේ ඇතුළත් වන ආකාරයේ දර්ශනීය පෙරහරක් ඉදිරිපත් කිරීමට වර්තමාන විහාරාධිපති හිමියන්ගේ අනුශාසකත්වයෙන් හැකිව තිබේ.ඒ අනුව පෙරහරේ සියලු කටයුතු සංවිධානය කිරීම සඳහා “දුරුතු පෙරහර කමිටුව“ නමින් විවිධ අංශවල ක්‍රියාකාරි පිරිසක් සංවිධාන ගත වී ක්‍රියා කෙරේ. තවද අද වන විට එය හින්දු, මුස්ලිම්, කතෝලික වැනි අන්‍ය ආගමික බැතිමතුන්ගේ දායකත්වය හා සහභාගිත්වය ද ඇතිව ජාතික සමගිය ද විදහා පාන බෞද්ධාගමික සංස්කෘතික කලා උත්සවයක් බවට වර්ධනය වී තිබේ. පෙරහරට එකතුවන සාම්ප්‍රදායික සංස්කෘතික කලාංග හතළිහක් පමණ ද, අලි ඇතුන් 15 ක් පමණ ද සහභාගි කරවනු ඇත.
 

විශේෂයෙන් ම මේ අවස්ථාව ප්‍රදේශයේ පෙර පාසල් හා පාසල් දරුවන්ට “පෙරහරක්” පිළිබඳ හොඳ අධ්‍යනයක් කරන්නට ද, දැක බලා ගන්නට ද හැකි අගනා අවස්ථාවක් ද වේ. ළමා මනසට පෙරහරක් නැරඹීමෙන් ලබන ආස්වාදය, මනස යහපත් ලෙස පෝෂණය වීමට ද බලපායි. පෙරහර නරඹන කුඩා ළමයින් තම නිවෙස්වලට ගොස් එය ආසාවෙන් මෙනෙහි කරගනිමින් එහි විවිධාංග, චරිත අනුකරණය කරන හැටි අපි දැක ඇත්තෙමු. බෞද්ධයා විහාරය, පන්සල වෙත තව තවත් ආකර්ෂණය කරගැනීමට මේ පෙරහර වැනි සංස්කෘතික කලා අංග වැදගත් වේ. විවිධ කලා ශිල්පීන් 750 ක් පමණ පෙරහර වර්ණවත් කිරීමට සහභාගි වීමට නියමිත ය. දුරුතු මස 25 වන දින පස්වරු 7.00 ට ඇස්සැද්දුම විහාරස්ථානයෙන් ආරම්භ වන පෙරහර කුලියාපිටිය නගරයේ වීථි සංචාරය කරමින් නැවතත් විහාරස්ථානයට පැමිණීමෙන් එහි උත්සව කටයුතු අවසන් කැරේ.


වයඹ සත්කෝරළයේ බෞද්ධ කලා මහා මංගල්‍යය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති ලේඛකාධිකාරි, ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී ස්ථවිර පාදයන් වහන්සේ අප නිකායට මහත් වු ගෞරවයක්සේ ම, කීර්තියක් අත්කර දෙමින් ආගමික, ජාතික, අධ්‍යාපනික මෙහෙවරෙහි නියැළෙන දීප්තිමත් තරුණ යතිවරයන් වහන්සේ නමකි. එයට කදිම නිදසුනක් වෙමින් පුරාතන සිංහල පෙරහර සංස්කෘතික උරුමය ට ජීවය ලබා දෙන වයඹ සත්කෝරළයේ බෞද්ධ කලා මහා මංගල්‍යය වූ කුලියාපිටිය දුරුතු මහා පෙරහරේ වත්මන් පුරෝගාමියාණෝ වෙති. සිංහල බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව මූර්තිමත් කෙරෙන උඩරට , පහත රට, සබරගමු සංස්කෘතිකාංගවලින් සමන්විත මහා පෙරහරක් සත්කෝරළයට දායාද කිරීමේ ගෞරවය අපගේ පල්ලේකාගම රතනභාරති ස්ථවිර පාදයන් වහන්සේට හිමි වේ.

තම ගුරුදේව ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරන්ධරව වැඩ සිට අපවත් වී වදාළ මහාචාර්ය කබලෑවේ පියභාරතී නාහිමියන් ආරම්භ කළ මිහිඳු පෙරහර මෙරට ප්‍රකට මහා පෙරහරවලට නොදෙවෙනි පෙරහරක් බවට පත්ව ඇත්තේ රතනභාරති ස්ථවිර පාදයන් වහන්සේගේ හා උන්වහන්සේගේ වටා එකතු වී සිටින දේශපාලන, ව්‍යාපාරික, රාජ්‍ය ආයතන ප්‍රජාවගේත්, සාමාන්‍ය පොදු ජනතාවගෙත් නොමසුරු පරිත්‍යාගයේ හා ව්‍යායාමයේ ප්‍රතිඵලයක් වශයෙනි.

වයඹ ප්‍රදේශයට ම මහත් ආශිර්වාදයක් වූ කුලියාපිටිය දුරුතු මහා පෙරහර අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට අප රතනභාරති ස්ථවිරයන් වහන්සේ ඇතුළු සංවිධායක මණ්ඩලයට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි ආශිර්වාද කරමි.


කුලියාපිටියෙන් සත්කෝරළයට ලැබුණු බෞද්ධ සංස්කෘතික දායාදය

පෙරහර යන සංකල්පය අපේ බෞද්ධයාගේ සිත් සතන්වල මොනවට පැලපදියම් වී පවතින්නක් බැවින් ඒ ගැන අටුවා ටීකා දක්වමින් අමුතුවෙන් හැඳින්වීමක් අවශ්‍ය නැත. එහෙත් එහි ආරම්භය බැලුවහොත් බෞද්ධ පෙරහරක් ගැන අපට අසන්නට ලැබෙන ආදිම වූ, ප්‍රථම සිද්ධිය නම් සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ ලෙස පළමු කොට උපන් ගමට වැඩම කරවූ පෙරහර යි. එය සුද්ධෝදන මහ රජතුමාගේ මෙහෙයවීමෙන් කාළුදායි මහ රහතන් වහන්සේගේ සංවිධානයෙන් සිදුවූවකි.

එබැවින් බුද්ධ චරිතය ගැන කතා කරන විට ද වසර දහස් ගණනක ඉතිහාසයට දිවෙන සංස්කෘතික විචිත්‍රාංගයක් ලෙස පෙරහර අපට සැලකිය හැකිය. ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය කේන්ද්‍රකර ගනිමින් ප්‍රදේශයේ බෞද්ධ, අබෞද්ධ පොදු මහජන සහයෝගයෙන් වාර්ෂිකව පැවැත්වෙන කුලියාපිටිය ඇස්සැද්දුම දුරුතු මහා පෙරහර ආරම්භ කෙරුණේ එවකට විහාරාධිපතිව වැඩ විසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය කබලෑවේ පියභාරති නාහිමියන්ගේ මෙහෙයවීමෙනි. අද එය තවදුරටත් දියුණු පමුණු කරමින් උත්සව ශී‍්‍රයෙන් පැවැත්වීමට වර්තමාන විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති නා හිමියන් ප්‍රධාන සංවිධායක මඩුල්ල සමත්ව සිටී. ළමා සිත් සතන් බොදු බැතියෙන් හා හැඟුමෙන් පෝෂණය කිරීම සඳහා විශේෂයෙන් පෙරහර පිළිබඳ අත්දැකීම් වැදගත් වේ. ඔවුන්ගේ නිර්මාණශීලි චින්තනය මෙන්ම කලා ශිල්ප එළිදැක්වීමේ අවස්ථා ලැබීම තුළින් ප්‍රායෝගික හැකියාව ද අත්වෙයි. පෙරහර ගැන කියවෙන ළමා ගීතාවලියක් ම නිර්මාණය වී තිබීමෙන් අපට පැහැදිලි වන්නේ ළමා සිතට පෙරහර කෙතෙක් වැදගත් ද යන්න යි. බතික් කලාව, ලී කැටයම් කලාව, චිත්‍රකලා ශිල්පය, මූර්ති මේ ආදි බොහෝ අවස්ථාවල ඒ ඒ කලා ශිල්පීන් පෙරහර ආකෘති තම කලා කෘති තුළින් එළිදැක්වීම ද කරනු පෙනේ.

පෙරහරක තිබිය යුතු ප්‍රධාන විවිධාංග හැකිතරම් එකතු කරමින් සම්පූර්ණ අලංකාර පෙරහරක් ඉදිරිපත් කිරීමට ඒ සඳහා කැප වූ සැම දෙනා ගන්නා උත්සාහය අගය කළ යුතු ය. මේ සඳහා විශාල මුදලක් හා මානව සම්පත්වල කැප කිරීමක් ද ඇතත්, පෙරහරින් ලැබෙන ආගමික, සංස්කෘතිකමය වූ වටිනා දායාදය ඊට උතුම් හා වටිනා බව කිව යුතුය. එබැවින් ඉතා දුෂ්කර වූ මහා කාර්යයක් මෙහෙයවීමෙන්, ඊට නායකත්වය සපයමින්, අනුශාසනා ලබාදෙමින් කටයුතු කරන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවද්ධන ලේඛකාධිකාරි පල්ලේකාගම රතනභාරති මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ විහාරස්ථ දායක සභාවටත්, පෙරහර සංවිධායක කමිටුවටත්, අනෙක් ක්‍රියාකාරින් හා සම්බන්ධවන සියලු පින්වතුන්ටත් තම උදාර අරමුණු සාර්ථක කර ගැනීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඉත සිතින් පතමි.


සැමට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසුව මිහිඳු මහරහතන් වහන්සේ නිර්මල බුදුදහම රැගෙන ලක්දිවට වැඩම කළහ. එම සිදුවීම මෙරට ඉතිහාසයේ ස්වර්ණම ය අවස්ථාව යි. උන්වහන්සේ දේශනා කළ බුද්ධ දේශනාව ශ්‍රවණය කළ රජතුමා ඇතුළු ජනතාව බුදුදහම වැළඳ ගත් හ. එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ රටට පූජනීය වස්තු රැසක් ද, කලා ශිල්ප රැසක්ද උරුම විය. බුදු දහමේ ආභාසයෙන් උරුම වූ කලා ශිල්ප අතර පෙරහරට” හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම වු තැන් පටන් ඒ සඳහා විවිධ පුද පූජා, පෙරහර පැවැත්වූවා සේ ම දළදා වහන්සේ වැඩම වු අවස්ථාවේ සිට ඒ සඳහා ද, ඊටත් වඩා උසස් අයුරින් පුද පූජා හා පෙරහර පවත්වන ලදී. වංශකතා තොරතුරුවලට අනුව දළදා පෙරහර ආරම්භ වී ඇත්තේ ක්‍රි.ව. 04 වන සියවසේ දී ය. කිත්සිරිමෙවන් රජ දවස රාජකීය දළදා මැදුරේ සිට අභයගිරි විහාරයට දළදා වහන්සේ පෙරහරින් වැඩමවා, පුද පූජා පවත්වා ඒ සඳහා පුද පූජා විධි නියම කළ බව ද සඳහන් වේ. එතැන් සිට දළදා වහන්සේ අරමුණු කරගෙන වාර්ෂිකව පෙරහර පැවැත්වීම සිදුකළ බව පෙනේ.

වර්තමානය වන විට මහනුවර දළදා පෙරහරට අමතරව ලක්දිව විවිධ ඓතිහාසික ස්ථානවල, පළාත් මට්ටමින් විවිධ පෙරහර විහාරස්ථානවල ද වාර්ෂිකව පෙරහර පැවැත්වීම අප රටේ සම්ප්‍රදායක් බවට පත් වී ඇත. ඒ අතරට කුලියාපිටිය , ඇස්සැද්දුම ශී‍්‍ර ශාසනාලංකාර මහා විහාරීය, “දුරුතු මහා පෙරහර” එක්වීම ද අතිශයින් ම අගය කළ යුතුයි. වාර්ෂිකව පවත්වනු ලබන කුලියාපිටිය දුරුතු මහා පෙරහර 23 වන වරටත් ජනවාරි මස 25 වන දින අති සාර්ථක පෙරහරක් ලෙස පැවැත්වීමට ලැබීම පිළිබඳව අතිශයින් ම සතුට ට පත්වන අතර ඒ සඳහා විවිධාකාරයෙන් සහයෝගය ලබා දුන් පැවිදි ගිහි සැමට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පළකර සිටින අතර ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පුද කරමින් සියලු යහපත් කටයුතු සාර්ථක වේවායි ඉත සිතින් ම පතමි. 2019 ජනවාරි මස 25 වන දින 24 වන වරටත් පවත්වනු ලබන පෙරහර සාර්ථක ව සිදු කර ගැනීම සඳහා පෙර වසරවල දී ලබාදුන් සහයෝගයට වඩා උසස් සහයෝගයක් ලබා දෙන මෙන් ශාසන දයාවෙන් යුතුව ඉල්ලා සිටිමි .


ප්‍රදේශයේ ආගමික ප්‍රබෝධයට ද මනා පිටුවහලක් වනු ඇත

වසර 23 එක දිගට පෙරහරක් පැවැත්වීම තුළින් එම ප්‍රදේශවාසීන් ට මෙන්ම එය නරඹන අනෙකුත් ප්‍රදේශවල ජනී ජනයාගේ විඥානය තුළට පෙරහර සංස්කෘතිය අනුගත වන අතර, ප්‍රදේශයේ ආගමික ප්‍රබෝධයට ද මනා පිටුවහලක් වනු ඇත.

මහාචාර්ය කබලෑවේ පියභාරතී ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් පසු, වර්තමාන විහාරාධිපති ධූරය හොබවන පල්ලේකාගම රතනභාරති හිමියෝ අනු නා හිමියන්ගේ ශාසනික මෙහෙවරෙහි මංපෙත් තව තවත් පුළුල් කරමින්, සිය ශාසනික කාර්ය භාරය අවිඡ්චින්න ව පවත්වාගෙන යාම ගැන සමස්ත බෞද්ධ ජනතාවගේ ම කෘතවේදිත්වය සහ ගරුත්වය විහාරාධිපති ස්වාමීන් වහන්සේ ට හිමි විය යුතු ය.

ප්‍රදේශවාසීන් ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන, දානපතියන් සහ අවට ආගමික සිද්ධස්ථානවල ද සහභාගීත්වය ලබාගෙන පෙරහර කටයුතු සංවිධානය කිරීමෙන් නා හිමියන් ගමයි, පන්සලයි එකට යා විය යුතුය, යන බෞද්ධ සංකල්පය ප්‍රායෝගික කරවීම රටේ සෑම බෞද්ධ විහාරස්ථානයක ට ම මහඟු ආදර්ශයක් යැයි මම විශ්වාස කරමි.

විසිහතර වන වරට ද පැවැත්වෙන මේ අසිරිමත් පෙරහර වඩාත් උත්කර්ෂවත් අයුරින් පවත්වා ගැනීමට ගරුතර නා හිමියන් ඇතුළු සියලු ම දායකකාරකාදීන්ට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලැබේවා යි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.