Print this Article


අලුවිහාරයේ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීම

අලුවිහාරයේ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීම

ලෝකයට අභිමානයෙන් යුතුව ඉදිරිපත් කළහැකි අතිශය විශ්වාසදායක ත්‍රිපිටක බුද්ධ භාෂිතය හා දීප වංශ, මහා වංශ ආදියෙන් පැවත එන අඛණ්ඩ පුරාවෘත්ත සම්ප්‍රදායක් ශ්‍රී ලංකාව සතුව පවතී. මේ ත්‍රිපිටක බුද්ධභාෂිතය හා පුරාවෘත්ත සම්ප්‍රදාය පැවත එන්නේ බුද්ධකාලයේ සිටයැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. බුදුරදුන් පිරිනිවී සතියක් ගිය තැන සිට යැයි කිවහොත් එය වඩාත් නිවැරැදි ය.

බුදුරදුන් පිරිනිවී තුන්මසක් ඉකුත් වූ කල මහතෙරවරු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූහ. ඒ වන විටද බුදුන් වහන්සේ විශේෂයෙන් භික්ෂු සංඝයා සඳහා පනවා තිබූ විනය නීති රීති ලිහිල් කර ගැනීම හෝ ඒවාට විපරිත අර්ථ කථන ඉදිරිපත් කිරීම පිළිබඳව අභියෝග එල්ල වී තිබුණි. එහෙයින් බුද්ධභාෂිතය අනාගතයේ දී ද අවිපරීතව පවත්වා ගැනීමට ක්‍රියාමාර්ගයක් ගැනීම මේ සංගායනාවේ අරමුණ විය.

මෙහිදී බුදුන් වහන්සේ විවිධ අවස්ථාවන්හි, විවිධ පුද්ගලයන් හා මාතෘකා අරමුණු කරගෙන දේශනා කරන ලද ධර්ම විනය ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් සිය මතකයෙන් රැස්ව සිටි මහතෙර වරුනට සජ්ඣායනා කරන ලදී.

මේ සඳහා අන් කිසිදු බුද්ධශ්‍රාවකයකුට නොතිබූ සුදුසුකම් ආනන්ද ස්ථවිරයනට තිබිණි. බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ද, ධර්ම භාණ්ඩාගාරික වූ ද උන්වහන්සේ මුල සිටම පිරිනිවන් පානා මොහොත වන තෙක් බුදුන් වහන්සේ ළඟින් ඇසුරු කළහ. ඒ නිසා බුදුරදුන් විවිධ අවස්ථාවන්හි, විවිධ මාතෘකා අරමුණු කොට දෙසන ලද ධර්මයට ආනන්ද ස්ථවිරයෝ සාක්ෂිය දැරූහ. තවද, ආනන්ද ස්ථවිරයන් වහන්සේ නොමැති අවස්ථාවක යම් ධර්මයක් හෝ විනයක් හෝ දේශනා කරන ලද නම්, එය ද උන්වහන්සේට කියා දීමේ සිරිතක් බුදුරදුන් වෙත පැවතිණ. එහෙයින් බුදුන් වහන්සේ දේශනා කළ සකල ධර්මස්කන්ධය ම නො අඩුව සජ්ඣායනා කළ හැකිව සිටි එකම ශ්‍රාවකයන් වහන්සේ ආනන්ද ස්ථවිරයෝ වූ හ. පළමුවැනි ධර්ම සංගායනාවේ දී ධර්ම විනය සජ්ඣායනා කිරීමේ වගකීම ආනන්ද ස්ථවිරයනට පැවරුණේ මේ සුදුසුකම නිසා ය.

“ඇවැත්නි, බුදුන්වහන්සේ අසවල් කාලයේ, අසවල් ස්ථානයේ, අසවල් පුද්ගලයා හෝ අසවල් මාතෘකාව අරභයා මෙසේ දේශනා කළ බව ම විසින් අසා ඇත.” යනාදී වශයෙන් ආනන්ද ස්ථවිරයෝ සංගීතිත සභාවේ සිට මහ තෙරවරුනට සජ්ඣායනා කළහ. ආනන්ද ස්ථවිරයන්විසින් මෙසේ සජ්ඣායනා කරන ලද ධර්ම විනය රැස්ව සිටි මහ තෙරවරු ධාරණය කරගත්හ. උන්වහන්සේලා ධර්ම විනයේ ඒ ඒ අංශ වෙන් වෙන් ව කට පාඩමින් ගෙන ඒමට මේ රැස්වීමේ දී ම කතිකා කර ගත්හ.

විනය කොටස් කටපාඩමින් ගෙන ඒමේ කාර්යය බුදුන් වහන්සේගෙන් විනය පිළිබඳ අග්‍ර ඨානාන්තරය ලැබ සිටි උපාලි මහ ස්ථවිරයනට පැවරුණි. ධර්ම විනය වාවනා මාර්ගයෙන් ගෙන ආ ස්ථවිර පරම්පරාව කියැවෙන තන්හි මුලින් ම සඳහන් වන්නේ උපාලි ස්ථවිරයන් හෙයිනි.

මෙසේ ආනන්ද , උපාලි දෙනමගේ සිට පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආ ධර්ම විනය බුදුරදුන් පිරිනිවි සියක් වසක් ගිය තැනේ දී යළි සංගායනා කොට තහවුරු කර තිබේ. ඉක්බිති ධර්මාශෝක සමයේ තුන්වන වරටත් සංගායනා කොට ප්‍රකෘතිමත් කර තිබේ.

මේ තුන්වැනි සංගායනාවේ දී විශේෂයෙන් පිරිසුදු කොට සම්මත කරගත් විනය පිටකය සමග බුද්ධ පරිනිර්වාණයේ සිට ඒ වනතෙක් ශාසනය පැවත ආ ආකාරය පිළිබඳ ශාසන වංශය ද, අවශිෂ්ටයක් සේ සම්මත කර ගන්නා ලදැයි සිතන්නට කරුණු තිබේ. එහෙයින් මහින්ද ස්ථවිරයන් ලංකාවට හඳුන්වා දුන්නේ බුදුන් පිරිනිවී තෙමසකින් පසු සම්මත කරගත්, උපාලි ස්ථවිර ප්‍රමුඛ මහරහත් පරම්පරාව වාවනා මාර්ගයෙන් ගෙන එන ලදුව, දෙවැනි සංගීතියේ දී ද, තුන්වැනි සංගීතියේ දී ද ප්‍රකෘතිමත් කරන ලද ත්‍රිපිටක බුද්ධ වචනය හා ශාසන වංශ කතාවයි.

මිහිඳු මා හිමියන් විසින් තුන්වැනි සංගීතියේ දී සම්මත කරගත් මේ ත්‍රිපිටක බුද්ධ වචනය හා බුදුන් පිරිනිවී තැන් සිට අශෝක යුගය තෙක් ශාසන වංශ කතාව ද ලක්වැසියාට කියා දෙන ලදී. ප්‍රථම ලාංකික මහතෙරුන් සේ සැලකිය හැකි අරිට්ඨ මහා ස්ථවිරයන් තමා මිහිඳු මාහිමියන්ගෙන් අසා දැනගත් විනය පිටකය ථූපාරාමයේ දී මිහිඳු හිමියන් හා සම අසුන්හි ඉඳගෙන කටපාඩමින් දෙසන ලද බව කියැවේ. අනතුරුව භාරත දේශයේ සිදු වූ අයුරින් ම අරිට්ඨ මහතෙරුන් ප්‍රධාන සිංහල මහ තෙරවරුන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට ත්‍රිපිටක බුද්ධ භාෂිතය කටපාඩමින් ගෙන එන ලදී. ඒ සමඟම මහින්ද ස්ථවිරයන් විසින් කියාදෙන ලද තුන්වැනි සංගායනා කාලය තෙක් ශාසන ඉතිහාසය ද විනය පිටකයේ උප ග්‍රන්ථයක් සේ කටපාඩමින් ගෙන ආහයි සිතිය හැකි ය.

මෙසේ බුදුන් පිරිනිවී තුන්මසකින් පසු ආනන්ද ස්ථවිරයන් විසින් සජ්ඣායනා කරන ලදුව ස්ථවිර පරම්පරා අනුපිළිවෙළින් අඛණ්ඩව රැක, වරින් වර ප්‍රකෘතිමත් කරමින් වාවනා මාර්ගයෙන් ගෙන එන ලද ත්‍රිපිටක බුද්ධ භාෂිතය හා ශාසන වංශ කතාව පළමුවරට ලේඛන ගත කෙරුණේ බුදුන් පිරිනිවී සාරසිය සූ පණස් වසක් ගිය තැන ය. සමස්ත මානව ඉතිහාසයේ අතිශය වැදගත්කමකින් යුතු මේ සිද්ධිය වූයේ ශ්‍රී ලංකාවේ මාතලේ අලු ලෙණේ දී ය.

එදා සිට විවිධ අටුවා ටිකා හා පරිවාර සාහිත්‍යයක් බිහිකරමින් වර්තමාන පරම්පරාව අතට පත්ව ඇත්තේ මාතලේ අලු ලෙණේ දී පුස්කොළ පොත්වල ලියන ලද ත්‍රිපිටක බුද්ධ භාෂිතය හා ශාසනවංශයයි. එහෙයින් වර්තමාන සමස්ත ධර්ම ශාස්ත්‍ර සාහිත්‍යයේ නිජබිම මාතලේ අලුවිහාරය යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

මාතලේ අලු ලෙණේ දී සිදු වූ මේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික සිද්ධිය පිළිබඳව අපේ ප්‍රධාන වංශ කතාවන්හි ඇත්තේ ඡායා මාත්‍ර තොරතුරක් පමණ ය. මේ ඡායා මාත්‍ර තොරතුරුත, මෑතකදී සොයා පළකොට ඇති දහඅට වැනි සියවස අගභාගයට අයත් පුරාවෘත්ත ලේඛනයක් වූ අස්ගිරියේ තල්පතේ මේ සිද්ධිය පිළිබඳව එන තොරතුරුත් සසඳා බලමින් ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය පිළිබඳ සමාලෝචනයකට මෙම ලිපියෙන් ප්‍රයත්න දැරේ.

ත්‍රිපිටකය ද, එහි අට්ඨ කතා ද අතීත භික්ෂුහු මුඛ පාඨයෙන් ගෙන ආහ. එ සමයෙහි සත්ත්වයන්ගේ හානිය දැක රැස් වූ භික්ෂුහු ධර්මයෙහි චිරස්ථිතිය සඳහා එය පොත්වල ලියවූහ. මහාවංශය මේ අතිශය වැදගත් සිද්ධිය ගැන සඳහන් කරන්නේ එපමණයි. මහා වංශටිකාව මේ සිද්ධිය ගැන එතරම්වත් සැලකිල්ලක් දක්වා නැත. එය මහා වංශයේ ගාථා දෙකින් එකක ඇති “හානිං දිස්වාන සත්තානං” යන පාඨය පමණක් ටිකා කර තිබේ. එහි ද අමතර තොරතුරුත් නැත. මොවුන් (වළගම්බා) දවස පන්සියයක් රහතන් වහන්සේ අලු ලෙණ වැඩ හිඳ පොත් සංගායනා කළ සේක, යන්න පමණක් සඳහන් කොට පූජාවලිය ද නිහඬ වෙයි. රැස්වූ ගණනත්, ස්ථානයත් මහා වංශයේ නොදුන් අලුත් තොරතුරු ය.

නිකාය සංග්‍රහය මීට වැඩි තොරතුරු දෙයි. එය උපාලි මහා ස්ථවිරයන්ගේ සිට සිව ස්ථවිරයන් තෙක් 38 දෙනෙකුගෙන් යුත් මහා ස්ථවිර පරම්පරාව නම්කොට ඒ මහා ස්ථවිර පරම්පරාවෙන් මුඛපාලි වශයෙන් පැවත ආවා වූ ත්‍රිපිටක ධර්මය එක්තරා ජනාධිපතියක්හුගේ ආරක්ෂාවෙන් පන්සියයක් මහරහතන් වහන්සේ මාතුළ නම් දනවුයෙහි අලුලෙණැ වැඩ හිඳ පොත් සංගායනා කොට ලියවූ සේක යනුවෙන් මේ සිද්ධිය වාර්තා කරයි.

මුඛ පාලියෙන් රැකගෙන ආ මහා ස්ථවිර පරම්පරා ගණනත්, මේ කාර්යයෙහි දී එක්තරා ජනාධිපතියකු ආරක්ෂාව සැලසූ බවත්, අලුලෙණ මාතුළ දනව්වෙහි වූවක් බවත් මේ මූලාශ්‍ර අලුතින් ඉදිරිපත් කරන තොරතුරු ය. සද්ධර්මරත්නාකරය, රාජරත්නාකරය යන මේවා නිකාය සංග්‍රහයේ දුන් තොරතුරු එසේම වාර්තා කොට ඇත.

අස්ගිරියේ තල්පත මේ හැම මූලාශ්‍රයකටම වඩා පරිපූර්ණ ලෙස අමුතු තොරතුරු ද සහිතව මේ සිද්ධිය වාර්තා කරයි. අදාළ කොටස මෙසේ ය. ‘එම තිස්ස තෙර මහා විහාරයට විපක්ෂව අභයගිරි නිකාය ඇති කරගත් තැනේ දී මතු ශාසනාරක්ෂාව නොපවත්නා කාරණාව දැක, මහත් ධර්ම සංවේගයට පැමිණ පඤ්ච මහාවාස නිවාසි මහා රහතන් වහන්සේලා ලෝවාමහාපායට රැස්ව මහා සංඝ සම්මුතිය සැදී පිටකත්‍රය ග්‍රන්ථාරූඪ කොට ශාසනාරක්ෂාව කර තබන්ට ඇතිකරගත් කතිකාව ලෙස මහා විහාරබද ථූපාරාම නිවාසි කුන්තගත්ත තිස්ස මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් රහතන් වහන්සේලා මාතුළ දනව්වේ අලු ලෙණට රැස්ව, එම ජනපදාදීශවර මන්ත්‍රීවරයන්ගේ මහත් උපකාර මූලිකව, උපාලි මහ රහතන් වහන්සේගේ පටන් සතිස් මහා ස්ථවිර පරම්පරාවෙන් සිත්හි ලා ධරා පවත්වාගෙන ආවා වූ පිටකත්‍ර පාලි ධර්මය අප බුදුන් පිරිනිවී සාරසිය සූ පණස් වසක් ඉක්ම ගිය තැනේ දී සංගායනා කොට ග්‍රන්ථාරූඪ කළ සේක.

අස්ගිරි තල්පතේ එන මේ අලුත් විස්තරයේ අලුත් තොරතුරු කීපයක් ඇත. සංගායනාවේ මුලසුන් ගත් ථූපාරාම නිවාසි කුන්තගත්ත තිස්ස මහා රහතන් වහන්සේ කෙනෙකු ගැන එන තොරතුරු ඉන් පළමුවැන්නයි. අප දන්නා තරමින් මේ සිද්ධිය ගැන සඳහන් කිසිදු මූලාශ්‍රයක හෝ ද්වීතියාශ්‍රයක මුන් වහන්සේ ගැන හෝ වෙනත් මහා ස්ථවිර කෙනෙකු ගැන හෝ කිසිදු නිශ්චිත තොරතුරක් නැත.

මේ සංගායනා සභාවේ මුලසුන ගන්නට ඇත්තේ උපාලි මහා ස්ථවිරයන්ගේ සිට වළගම්බා සමය තෙක් ත්‍රිපිටකය මුඛ පාලියෙන් රැකගෙන ආ ස්ථවිර පරම්පරාවේ කෙනෙකු ලෙස නිකාය සංග්‍රහය ඉදිරිපත් කරන ස්ථවිර නාමාවලියේ අග පෙනෙන සිව ස්ථවිර විය හැකියයි ජී.පී.මලලසේකර අනුමාන කරයි.

නිකාය සංග්‍රහය මේ නාමාවලිය දී ඇත්තේ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය පිළිබඳ වාර්තා කරන්නට සූදානම් වන තැන ය. එහෙයින් නාමාවලියේ අග දැක්වෙන සිව ස්ථවිරයන් වළගම්බා සමයේ සිටි ස්ථවිරයන් යයි සලකා ග්‍රන්ථාරූඪ රැස්වීමේ මුලසුන ඉසුලූයේ එතුමායයි සාධාරණව අනුමාන කළ හැකි ය.

අනිත් අතින් නිකාය සංග්‍රහය දෙන නාමාවලියේ 19, 33, 36 යන තන්හි තිස්න නමින් හැඳින්වෙන මහා ස්ථවිරවරු තිදෙනෙක් වෙති. අස්ගිරියේ තල්පත සඳහන් කරන මුලසුන ගත් කුන්තගත්ත තිස්ස මහරහතන් වහන්සේ මේ තිදෙනාගෙන් කෙනෙකු විය යුතු ය. එයිනුත් 36 වැන්නා සේ ගත හැකි ය. මෙහිලා විශේෂයෙන් සිහිපත් කළ යුතු කරුණ නම් නිකාය සංග්‍රහය 38 දෙනෙකුගෙන් සමන්විත සේ සලකා ඇති මේ ස්ථවිර පරම්පරාව අස්ගිරියේ තල්පත 36 දෙනෙකු සේ සලකා තිබීමයි. නිකාය සංග්‍රහය තිස්හය වැනි තැන සඳහන් කරන තිස්ස තෙරුන් අස්ගිරියේ තල්පතේ කියැවෙන සතිස් මහා ස්ථවිර පරම්පරාවේ අවසන සිටින කුන්තගත්ත තිස්ස මහරහතන් වහන්සේ එක් අයෙකු විය හැකි බව මෙයින් ඔප්පු වෙයි. නිකාය සංග්‍රහයේ 37 වැනිව හා 38 වැනිව එන සිව හා චූලදේව යන මහතෙරවරුන් දෙදෙනා අස්ගිරියේ තල්පතේ එන පුරාවෘත්ත සම්ප්‍රදාය විසින් ගණන් ගෙන නැති බව මින් පැහැදිලිවේ. ඒ වනාහි ඒ දෙදෙනා වහන්සේ සමහර විට කුන්තගත්ත තිස්ස මහතෙරුන්ට සමකාලීනව සිටි නිසා මුලසුන ගත් තෙරුන් පමණක් ගත්විට ප්‍රමාණවත් යයි අස්ගිරි තල්පත් සම්ප්‍රදාය පිළිගත් නිසා විය හැකි ය. මේ නිසා මාතලේ අලුලෙන ත්‍රිපිටක ග්‍රන්ථාරූඪයේ දී මුලසුනගත් ථූපාරාම නිවාසි කුන්තගත්ත තිස්ස මහරහතන් වහන්සේ පිළිබඳව අස්ගිරියේ තල්පතේ එන තොරතුරු පිළිගත හැකි ය.

මේ සිද්ධිය සිදු වූ වකවානුව ගැන මූලාශ්‍රවල පරස්පර විරෝධතා දක්නට ලැබේ. මහා වංශයත් ටීකාවක් කලි (විෂම) කාලයේ සත්ත්වයන්ගේ ආයුෂ පිරිහීම නිසා ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කළ බව පවසන සැටි ඉහත දුටුමු. මහාවංශය බ්‍රාහ්මණතිස්ස සාගතයක් ගැන සඳහන් නොකරන හෙයින් කලිකාලය යනුවෙන් අදහස් කරන ලද්දේ සාගත සමය යයි ස්ථිරව කිව නොහැකි ය. එහෙත් එය තීය බමුණාගේ කැරැල්ල ගැන සඳහන් කරන හෙයින් ටීකාව ‘කලීකාලය’ යනුවෙන් හැඳින්වූයේ ඒ කැරැල්ල පැවති සමයැයි අනුමාන කළ හැකි ය. අටුවා කතාවන්හි ‘බ්‍රාහ්මණ තීය දුබ්භික්ෂ’ යන්නම ‘බ්‍රාහ්මණ තීය භය’ යනුවෙන් ද අවිශේෂයෙන් සඳහන් කර ඇත. මේ නිසා බ්‍රාහ්මණ තීය කැරැල්ල පැවති කාලයත, බ්‍රාහ්මණ තීය සාගතය පැවැති කාලයත් එකක් ම සේ සලකා ඇති බව පෙනේ.

බ්‍රාහ්මණ තීය කැරැල්ලත් ද්‍රවිඩ ආක්‍රමණයත් සිදුවූයේ එකම සමයේ බවද, ඒ වළගම්බා ප්‍රථම වරට සිහසුන් ගත් බු.ව. 439 හෙවත් ක්‍රි.පූ. 104 වැන්නේ බව ද මහා වංශයෙන් පෙනේ. බ්‍රාහ්මණ තීය සාගතය පැවැත්තේ වර්ෂ 12 ක් පමණි.

එහෙත් වළගම්බා ද්‍රවිඩ බලය නිසා වර්ෂ 14 කුත් සත් මසක් කල් වල් වැදී සිටි බව කියැවේ. මේ නිසා ක්‍රි.පූ. 104 වැන්නේ ඇරඹි 12 වසක් පැවති සාගතය අවසන් වූවාට පසුව ද තවත් වර්ෂ දෙකකුත් සත් මසක කාලයක් වළගම්බා වල් වැදී සිටි බව ඔප්පු වේ. අංගුත්තර අටුවාවෙහි එන කතා පවතින බැමිණතියා සාය සමයේ දිවයිනෙන් බැහැර ගිය භික්ෂූන් සාය සංසිඳුණු පසු පෙරළා දිවයිනට පැමිණ බව කියවේ. එසේ පැමිණ භික්ෂූන් ද එතෙක් දිවයිනේ නතරව සිටි භික්ෂූන් ද කල්ලගාම නම් ජනපදයේ මණ්ඩලාරාමයට රැස්ව තම තමන් එතෙක් කල් කට පාඩමින් රැකගත් ධර්මය සසඳා බැලූ බව එහි වැඩිදුරටත් කියවේ.’ මෙය සිදුවූයේ සාගතය සංසිඳීමෙන් පසුව නිසා වළගම්බා වල් වැදී සිටි මුල් 12 අවුරුද්දෙන් පසුව යයි නිසැක වශයෙන් සිතිය හැකි ය. ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය සිදුවූයේ මේ මණ්ඩලාරාම සම්මේලනයට ද පසුව යයි සිතන්නට සිදුවේ. මන්ද යත් ඊට පළමු ග්‍රන්ථාරූඪ කිරීමක් සිදුවී තිබුණි නම්, යළි කට පාඩම් සැසඳීමක් අවශ්‍ය නොවන හෙයිනි. මේ අනුව මණ්ඩලාරාම සම්මේලනය යටත් පිරිසෙයින් වළගම්බා වල් වැදී සිටි මුල් දොළොස් අවුරුද්දෙන් පසුව සිදුවූවක් ලෙස ද, ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ ඊටත් පසුව සිදු වූවක් ලෙස ද සලකන්නට සිදුවේ.

නිකාය සංග්‍රහය මේ ග්‍රන්ථාරූඪ වලගම්බා තුදුස් වර්ෂ සත් මසකට පසු දෙවැනි වර රජවන්නට පළමු සිදුවූවක් සේ සලකා ඇත. මේ නිකාය සංග්‍රහ සඳහන ද විශ්වාස කරතොත් ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය සිදුව ඇත්තේ වලගම්බා වල් වැදී සිටි සාගතය පැවති, මුල් අවුරුදු 12 ත්, දෙවෙනි වර රජවීමත් අතර, පැවති දෙවර්ෂ සත්මසක කාලයක තුළ යයි පිළිගන්නට සිදුවේ. එවිට ඒ කාලය තුළ පළමුව මණ්ඩලාරාම සම්මේලනය ද, ඊට පසුව ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය ද සිදු වී ඇතැයි සිතිය හැකි ය.

මණ්ඩලාරාම සම්මේලනයේ දී සිදු වූ එක් වැදගත් විවාදයක් ගැන අංගුත්තර අටුවාව වාර්තා කරයි. ‘සසුනට මුල පර්යාප්තිය ද, නො එසේ නම් ප්‍රතිපත්තිය ද’ යන්න මේ විවාදයේ මාතෘකාව වී තිබේ. රැස්වූ භික්ෂූන් දෙපක්ෂයට බෙදී වාද කොට ඇත. අවසානයේ දී සසුනට මුල ප්‍රතිපත්තිය යයි කියූ පක්ෂය නිහඬ කොට ඒ පර්යාප්තිය යයි කියූ පක්ෂය ජයගෙන තිබේ.

ප්‍රතිපත්ති හෙවත් විදර්ශනා වැඩීම පර්යාප්තියට හෙවත් ත්‍රිපිටක ධර්මය හැදෑරීමට වඩා උසස් සේ ආදි බුද්ධ භාෂිතයේ සලකා තිබේ. මහා විහාරිකයන් නිරතුරුවම චිරාගත බුද්ධ භාෂිතය ඒ අයුරින් ම රැක ගැනීමට වෑයම් කළවුන් බව ප්‍රකට කරුණකි. මේ නිසා මණ්ඩලාරාම සම්මේලනයේ දී ප්‍රතිපත්ති පක්ෂය ගෙන වාද කළෝ මහා විහාර භික්ෂූහු යයි අනුමාන කළ හැකි ය. මහා විහාරයට පටහැනි අභයගිරි නිකායක් බිහිවීමට තුඩු දුන් මූලික හේතු විමසන විට ඒවා ප්‍රධාන වශයෙන් බුද්ධ භාෂිතයේ ඇතැම් තැන් දේශානුරූප හා කාලානුරූප සේ වෙනස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ හේතු බව පැහැදිලි වේ. ඒ නිසා ම මේ මණ්ඩලාරාම සම්මේලනයේ දී චිරාගත බුද්ධ භාෂිතයේ අදහසක් වූ ප්‍රතිපත්තියේ වැදගත්කමට විපක්ෂව පර්යාප්ති පක්ෂය ගෙන වාද කළවුන් අභයගිරිකයන් ලෙස අනුමාන කරන්නට ඉඩ තිබේ. අභයගිරිකයන් වැඩි වශයෙන් ම පර්යාප්ති ගරුකයන් වූ බව පෙනෙන හෙයිනි.

පර්යාප්ති පක්ෂය ගත්තවුන් ධර්ම කතිකයන් බව අංගුත්තර අටුවාව කියයි. අභයගිරි පිහිටුනු නොබෝ දිනකින් එහි භික්ෂූන් ධර්ම රුචික නමින් හැඳින්වූනහයි නිකාය සංග්‍රහය කියයි. ධර්ම කථික හා ධර්ම රුචික යන නම් දෙක එකක්ම නොවන බව සැබෑ වුව ද, ඒ වචන දෙකේ අර්ථ විසින් ද ස්වරූපය විසින් ද, ඇත්තේ ඉතාම සුළු වෙනසක් බවද සිහිපත් කළ යුතු ය. ඇත්ත වශයෙන් මුල් ධර්ම කථිකයන් ම පසු කලක ධර්ම රුචිකයන් සේ හැඳින්වුනා වන්නට ද බැරිකමක් නැත. මේ නිසා මණ්ඩලාරාම සම්මේලනයේ දී ප්‍රතිපත්ති පක්ෂය ගත්තවුන් මහා විහාරිකයන් ලෙස ද, පර්යාප්ති පක්ෂය ගත්තවුන් අභයගිරිකයන් ලෙසද කරන අනුමානය සාධාරණ බව පෙනේ.

මේ අනුමානය නිවැරැදි වුවහොත් මණ්ඩලාරාම සම්මේලනය පැවැත්වුණේ අභයගිරිය බිහිවූ පසුව බව පිළිගන්නට සිදුවේ. අභයගිරිය බිහිවූයේ වලගම්බා දෙවැනි වර රජවීමෙන් පසුව බව නිසා ය. මේ අනුව මණ්ඩලාරාම සම්මේලන වකවානුව වලගම්බා වල් වැදී සිටි සමයේ අවසාන දෑවුරුදු සත්මසකින් මොබ්බට වැටෙන බව පෙනේ. මණ්ඩලාරාම සම්මේලනයට පසුව ග්‍රන්ථාරූඪය සිදුවූහයි සිතිය යුතු බව ඉහත සඳහන් කෙළෙමු. ඒ අනුව ග්‍රන්ථාරූඪය වළගම්බා දහහතර අවුරුදු සත් මසකට පසු දෙවැනි වරට රජව අභයගිරිය සෑදවීමෙන් පසු, මණ්ඩලාරාම සම්මේලනයට ද පසු සිදුවූවකැයි අනුමාන කළ හැකි ය.

මේ සිද්ධිය පිළිබඳ අස්ගිරි තල්පතේ ප්‍රවෘත්තියෙහි තවද සිත් බඳනා තැනක් තිබේ. මහා විහාර භික්ෂූන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ පියවර ගත්තේ මහා විහාරයට විපක්ෂව අභයගිරිය ඇති වූ තැනේ දී මතු ශාසන නොපවත්නා කාරණය දැක ඇති වූ ධර්ම සංවේගය නිසා බව එහි එයි. මේ අනුව මේ සිද්ධිය සිදුවූයේ වලගම්බා දෙවන වරට රජව අභයගිරිය ගොඩනැගීමෙන් පසුව බවත්, සිද්ධියට හේතුභූත වූයේ මහා විහාරයට විපක්ෂව අභයගිරි නිකාය ඇතිවීමෙන් මතු ශාසනයේ පැවැත්මට වූ අභියෝගය බවත් පැහැදිලි වේ.

ඒ වනාහි මේ දක්වා පැවත එන ජනපි‍්‍රය පිළිගැනීමට පටහැනි වූවකි. ජනපි‍්‍රය පිළිගැනීම නම් ලේඛනගත කිරීම සිදුවූයේ වලගම්බා රාජ්‍යයෙන් පිරිහී වල් වැදී සිටි සමයේ බවත්, ඊට හේතු වූයේ එවක ඇති වූ බැමිණිතියා සායෙන් උද්ගත වූ තත්ත්වය බවත් ය. මේ පිළිගැනීමට මූලික වශයෙන් පදනම් වී ඇත්තේ නිකාය සංග්‍රහයේ එන ප්‍රවෘත්තිය යයි සිතේ. නිකාය සංග්‍රහය වලගම්බා සමය පිළිබඳ වාර්තා කරද්දී රජු සතුරු හයින් වල්වන් සැටි කියා අනතුරුව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ සිද්ධිය කියයි. ඉක්බිති තුදුස් අවුරුදු සත් මසකට පසු යළි රාජ්‍යය ලැබ අභයගිරිය ගොඩනැගීම හා ධර්ම රුචි නිකාය පහළවීම ගැන කියයි. මේ අනුව ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීම සිදුවූයේ වළගම්බා රජයෙන් පිරිහිී සිටි යුගයේ බවත්, අභයගිරි නිකාය ඇතිවූයේ ඒ ග්‍රන්ථාරූඪ සිද්ධියෙන් පසුව බවත් පැහැදිලි වේ. මෙයට අනුග්‍රාහකව සිටියේ වලගම්බා රජු නොව එක්තරා ජනපදාධිපතියකු බවට නිකාය සංග්‍රහය කරන සඳහන ද මේ අදහස තවත් තහවුරු කරයි.

සිද්ධියට හේතුව සාගතයෙන් උද්ගත වූ තත්ත්වය බවට නිකාය සංග්‍රහයෙන් කිසිරුකුලක් නො ලැබේ. එහෙත් බැමිණිතියා සාගතය පැවැත්තේ වලගම්බා වල්වැද සිටි සමයේ බවත්, වෙනත් මූලාශ්‍රවලින් ඔප්පු වේ. පාලි අට්ඨකතාවන්හි මේ සාගත සමයේ භික්ෂූන්ට විඳින්නට සිදුවූ දුක් ගැහැටත්, ඒවාට මුහුණ දෙමින් ත්‍රිපිටකය කට පාඩමින් රැකගෙන ඒමට දැරූ ආයාසයත් විස්තර වන කථාන්තර තිබේ. මහා වංශය සත්ත්වයන්ගේ හානිය දැක ත්‍රිපිටකය පොත්වල ලියවූ බව කියයි. වංසත්ථප්පකාසනිය ‘සත්ත්වයන්ගේ හානිය’ යන්න ඉක්බිති පහළ වූ කලි (විෂම) කාලයෙහි ආයු පිරිහුන සත්ත්වයන්ගේ බුද්ධි පරිහිනත්වය යි ටිකා කරයි. ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය සාගතයෙන් උද්ගත වූ තත්ත්වය නිසා සිදුවූවකැයි පිළිගැනීමට තුඩු දී ඇත්තේ මේ කරුණු යයි සිතේ.

ත්‍රිපිටක ග්‍රන්ථාරූඪයට තුඩුදුන් හේතු ඉදිරිපත් කරන ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහා විහාරයෙන් වෙන්වුණ පක්ෂයක් අභයගිරියෙහි ඇතිවීමට එක් හේතුවක් වශයෙන් දෙයි. ලංකාව ඇතුළු අග්නිදිග ආසියාතික රටවල බුදුසමය හා හින්දු සමය තුලනාත්මක විමර්ශනයකට ලක් කළ සර් චාල්ස් එලියට් ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය සිදු වූයේ මහා විහාරයට විපක්ෂව අභයගිරිය ඇතිවූ නිසායයි සිතයි. ලක්දිව බෞද්ධ සංස්කෘතියේ පැතිරීම පිළිබඳ සංක්ෂ්පතව ග්‍රන්ථයක් ලියූ හේන්පිටගෙදර පියනන්ද හිමි ද, මහා විහාර අභයගිරි භේද අලු විහාරයේ කළ ධර්ම සංගායනාවට හේතු වන්නට ඇතැයි අනුමාන කරයි.

මේ වියතුන් මෙසේ අනුමාන කොට ඇත්තේ කවර සාක්ෂිමත පිහිටාදැයි පැහැදිලි නැත. එහෙත් මෙබඳු අනුමානයකට ඉඩ ඇති බව ඉහත අප කළ විමසීමෙන් පැහැදිලි වෙයි. ඒ අනුමානය නිවැරදි බව අස්ගිරියේ තල්පතකින් ඔප්පු වේ. එය නිශ්චය වශයෙන් ම මහා විහාරයට විපක්ෂව අභයගිරිය ඇතිකරගත් තැනේ දී මතු ශාසනාරක්ෂාව නොපවත්නා කාරණා දැන ධර්ම සංවේග උපදවා මහා විහාර භික්ෂූන් ත්‍රිපිටකය ලේඛනගත කිරීමට පියවර ගත් බව සඳහන් කරන හෙයිනි. මෙසේ බලන විට ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය පිළිබඳව අස්ගිරි තල්පතේ එන මුලසුන ගත් ථූපාරාම නිවාසි කුන්තගත්ත තිස්ස මහරහතන් වහන්සේ ගැන ද, අලුලෙන රැස්වීමට පළමු පඤ්ච මහාවාස නිවාසි භික්ෂූන් ලෝවා මහාපායට රැස්වකළ පූර්ව කතිකාවත ගැන ද මහා විහාරයට විපක්ෂව අභයගිරිය ඇති කරගත් තැනේ දී මතු ශාසනාරක්ෂාවට වන හානිය දැන ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීම පිළිබඳව දෙන අලුත් තොරතුරු විශ්වාස දායකයයි පිළිගත හැකිව තිබේ.

උපුටා ගැනීම මාතලේ දිසා සංස්කෘතික මණ්ඩලයේ ප්‍රකාශනයක් වූ ඓතිහාසික මාතලේ ග්‍රන්ථයෙනි.