Print this Article


කළ කම් පල දෙන හැටි 5 : තමා කරන යහපත අයහපත තමා පසුපසම එයි

තමා කරන යහපත අයහපත තමා පසුපසම එයි

යමක් දුන්විට එයම පෙරළා තමා වෙත ලැබෙන බව බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීමකි. තමන් විසින් ලබාදෙන දෙය යහපත් නම්, පෙරළා එබඳු දෙය ද, ලැබෙනු ඇත. දීම පුරුදු පුහුණු කිරීම මඟින් පින් කුසල් සිදුවේ. දෙන දෙයක් වෙනුවෙන් යමක් බලාපොරොත්තු වන්නේ නම්, එහි පිනක් හෝ කුසලයක් හෝ සිදු වන්නේ නැත. අම්බපාලි මහරහතන් තෙරණියගේ කතාවට අනුව තමන් වචනයෙන් දෙන දෙය පවා පෙරළා ප්‍රතිවිපාක ලබන බවට උදාහරණයකි. ‘පරමත්ථදීපනී’ නම් වූ තේරී ගී අටුවාවෙන් අම්බපාලි තෙරණිය පිළිබඳව පූර්ණව විස්තරයක් දක්නට ලැබෙයි.

අම්බපාලිය සිඛී බුදුරජාණන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලයේ භික්ෂුණියක වශයෙන් පැවිදිව උපසම්පදාව ද ලැබූ කෙනෙකි. සාමණේවරියක ලෙස කටයුතු කළ දවස තවත් බොහෝ භික්ෂුණීන් ද සමඟ චෛත්‍ය මළුවේ පැදකුණු කරමින් නොයෙක් වතාවත්වල යෙදෙමින් වන්දනා කරමින් ආගමික සිතිවිලි අතර රැඳුණේ ය.

අම්බපාලි භික්ෂුණියට පෙර ගමන් කළ රහත් භික්ෂුණියක විසින් හෙළන ලද කෙළ පිඬක් මළුවේ වැටී තිබෙනු දක්නට ලැබිණ. එම සිද්ධිය දුටු අම්බපාලි භික්ෂුණියගේ සිතේ හටගත් කේන්තිය සැර පරුෂ වචන බවට පෙරළිණ. ‘කිනම් ගණිකාව ද මෙහි කෙළ පිඬක් ලූයේ’ යනුවෙන් ඇය විසින් රහත් භික්ෂුණියට කළ ප්‍රකාශයට විපාක වශයෙන් ඇයගේ අවසන් ආත්ම භවයේ දී ගණිකාවක ලෙස කටයුතු කරන්නට සිදු විය. අම්බපාලිය වචනයෙන් කරන ලද අකුසල කර්මයේ විපාක අවසන් ආත්මභවයේ දී හෝ විඳින්නට සිදු විය.

යමක් දුන්විට එයම පෙරළා තමා වෙත ලැබෙන බව බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීමකි. තමන් විසින් ලබාදෙන දෙය යහපත් නම්, පෙරළා එබඳු දෙය ද, ලැබෙනු ඇත. දීම පුරුදු පුහුණු කිරීම මඟින් පින් කුසල් සිදුවේ. දෙන දෙයක් වෙනුවෙන් යමක් බලාපොරොත්තු වන්නේ නම්, එහි පිනක් හෝ කුසලයක් හෝ සිදු වන්නේ නැත. අම්බපාලි මහරහත් තෙරණියගේ කතාවට අනුව තමන් වචනයෙන් දෙන දෙය පවා පෙරළා ප්‍රතිවිපාක ලබන බවට උදාහරණයකි. ‘පරමත්ථදීපනී’ නම් වූ තේරී ගී අටුවාවෙන් අම්බපාලි තෙරණිය පිළිබඳව පූර්ණව විස්තරයක් දක්නට ලැබෙයි.

අම්බපාලි මහරහත් තෙරණියගේ කතාවට අනුව ඇය පෙර සංසාරයේ සිට පින් දහම් කර ප්‍රාර්ථනා කරනු ලැබුයේ මව් ගැබක පිළිසිඳ නොගෙන උප්පත්තිය ලැබීමයි. ඒ අනුව ඇය අඹ උයනක අඹ ගසක් මුල ඕපපාතිකව උපන්නා යැයි අටුවාව කියයි. අඹ ගස මුල ඕපපාතිකව උපන් ඇය උද්‍යාන පාලකයා විසින් නගරයට ගෙන ගිය අතර අඹගස මුල උපත ලැබීම හේතුවෙන් අම්බපාලි යන නම ලැබිණි.

විමල කොණ්ඩඤ්ඤ තෙරුන් නමැති සිය පුතුගෙන් බණ අසා විදර්ශනා වඩා මහරහත් බවට පත් අම්බපාලි තෙරණියගේ තරුණ විය ඇයගේ කර්ම විපාක විසින් මෙහෙයවන ලදුව ගණිකාවක් ලෙස සිටින්නට සිදුවූවා ය. මහරහත්වීමට තරම් පින් මහිමයක් තිබූ අම්බපාලි ගණිකාවක ලෙස ප්‍රකට වූයේ පෙර සංසාරයේ වචනයෙන් සිදුකරගත් අකුසල කර්මය හේතුවෙනි.

ඇතැම් අය විසින් සිදුකරන එබඳු අකුසල කර්ම මෙලොවදීත් විපාක දෙන අවස්ථා තිබේ. ඒ අනුව එක්තරා නිදසුනක් ලෙස දැක්විය හැකි කතාවක් තිබේ.

එක්තරා කපු මහතෙක් සිටියේ ය. ටික කලක් සේවය කරන විට ඔහුට දේවාල කපුකමේ රස හොඳින් දැනෙන්නට විය. එනිසාම ඔහු අනෙක් කපු මහත්වරුන් අවතක්සේරුවන ලෙස තමාගේ බල පුළුවන්කාරකම් හා තමා කළ මහ බලවත් වැඩ ගැන ප්‍රකාශ කරන්නට විය. බොහෝ මිනිස්සු ඔහුගේ සරණ පතා පැමිණියහ.

බොහෝ පිරිස් දේවාලය අභියස වැඳ වැටෙන විට කපුවා සිතුවේ තමාට ඒ වැඳුම් ලැබෙනවා කියා ය. දේවාල කපුකම එතරම් අයහපත් වැඩක් නොවුණත්, සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කළ හැකි එකක් වුණත් මෙය එබඳු කපුමහතෙකුගේ කතාවක් නොවේ. මුදල එකම පරමාර්ථය කරගනිමින් තමාට නොමැති හැකියාවන් තිබෙන බවට බොරුවට ඇඟ වූ කපු මහතෙක් පිළිබඳව ය.

මුදලින් පොහොසත් වීමත් සමඟ බොහෝ මිතුරන් ඇසුරුකරන්නට විය. ඔහු සම්බන්ධ වූ ඇතැම් මිතුරන් ද අපාය සහායකයෝ ය. දේවාල කපුකම කොට රැය පහන්වනතුරු දුරාචාරයේ හැසිරෙන්නට විය. තමාට තමා පාලනය නොමැති කමින් මනස අවුල් විය. ඔහුගේ ගෘහ ජීවිතය ද අඩාල විය.

වෙනත් මිනිසුන්ගේ හැම ගැටලුවකටම දෙවියන්ගේ සහනය ලබා දුන්න ද තමාගේ ගැටලුවට විසඳුම මත්වතුර විය. මතට තදින් ඇබ්බැහි වූ ඔහු පසුකාලීනව වෙනත් මත්ද්‍රව්‍යයවලට ද හුරු විය. කට දෙකොන කුණු විය. දෙපයේ මාපට ඇඟිලි කුණු විය. දකුණු අත පණ නැති විය.

වෛද්‍යවරු රෝගියා ව කෙතරම් පරීක්ෂා කළ ද සොයාගැනීමට නොහැකි විය. ලෙඩක් නොමැති බවට වෛද්‍ය නිගමනය විය. හේ ලෙඩ ඇඳට වැටිණි. ඔහු වටා රැස්ව සිටි යහළුවෝ ක්‍රමයෙන් ඈත් වූහ. වංචාවෙන් උපයාගත් මිල මුදල් නාස්තිවී ගියේ ය. අපමණ දුක් විඳ මරණයට පත් විය.

පෙර සංසාරයේ පින් මහිමය නිසා වචන කතාකිරීමේ හැකියාව ලැබෙන බව බුදුදහමේ අදහසයි. නමුත් පුද්ගලයා තම වචනය නිවැරැදි ව පාවිච්චි කළ යුතු ය. එනම් අත්තහිත පරහිත සංකල්පය පෙරදැරිව ය.

අම්බපාලි එකල මහණ වී සිටියද, ක්‍රෝධය පාලනය කර ගැනීමට නොහැකිව අකුසල් කරගත්තීය. දේවාල කපු මහතා ද මුදල් තෘෂ්ණාව නිසා අසත්‍ය ප්‍රකාශ කරනු ලැබී ය. ධනවතෙකු වුව ද මෙලොව දී තමා වචනයෙන් කළ අකුසල්වල විපාක ලැබුවේ ය.