Print this Article


පහන් සිත සිදුකරන සෙත

පහන් සිත සිදුකරන සෙත

කෙලෙසුන්ගේ සංසිඳීම හෝ බලවත් ලෙස යටපත්වීම නිසා සිත සැහැල්ලු වෙනවා. කයත් සැහැල්ලු වෙනවා. මෙහි කය හැටියට දක්වන්නේ වේදනා, සංඥා, සංඛාරයන් හි සංසිඳීමයි.

තථාගත භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් කතාවක් දේශනා කරමින්, එහි ම පිහිටුවමින්, ඒ වෙනුවෙන් ශ්‍රාවක ශ්‍රාවිකාවන් උනන්දු කරවූවා. එහි ඵලය ලෙස ධර්මයෙන් ලබන සැනසිල්ලත්, සුවයත් පෙන්නුම් කර දේශනා කරනු ලැබුවා. එලෙස පෙන්නුම් කරනු ලැබූ අවස්ථාව ධර්මයේ පැහැදිලි කරන්නේ කල්ලචිත්ත, මෘදුචිත්ත, විනීවර්ණචිත්ත, පසන්නචිත්ත, උදග්ගචිත්ත ලෙසිනි.

උඳුවප් පුර පසළොස්වක පෝය දින කල්ලචිත්ත, මෘදුචිත්ත, විනීවර්ණචිත්ත විස්තර කළ අතර අද පසන්නචිත්ත හා උදග්ගචිත්ත යන්න පැහැදිලි කරමි. පසන්නචිත්ත උඩින් බැලූ විට පත්ල පෙනෙන පිරිසුදු දිය දහරාවක් ඇති පොකුණක්, විලක්, ජලාශයක් සේ තමාගේ සිත තමාට ම ඉතා ම පිරිසුදු ආකාරයෙන් දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. සක්ඛාය දිට්ඨියට හසුව “මම ය මාගේ ය” යන වැරැදි දෘෂ්ඨියෙන් ඇස, කන, ආදී ඉන්ද්‍රියයන් ඔස්සේ රූප ආදී ආරම්මණයන් උපාදානය කරගෙන, තණ්හා මද මාන දිට්ඨීන්ගෙන් බැහැරව, තමාගේ සිත හා සිතිවිලි උපදින බව, සකස් වෙන බව, බැහැරව යන බව, තමාට ම වැටහෙන්නට පටන් ගන්නවා. ඒ සෝබන චෛතසිකයන්ගෙන් යුක්ත වූ පිරිසුදු සිතිවිලි නිසා තමාගේ සිත විනිවිද පෙනෙන්නට පටන් ගන්නවා. එනම් පඨවි ආදී හේතූන් නිසා හටගත් යම් වූ ද ඵලයෝ ඇද්ද, ඒ හේතූන්ගේ ම විසිරී යෑම නිසා ඒ ඵලයෝ ද නැතිව යන බව තමාගේ සිත තුළින් පිරිසුදුව දකිනවා. එනම් සිත මුලාවට පත්වෙන “මම ය මාගේ ය” යන දෘෂ්ඨියෙන් බැහැරව සම්මතය තුළ “මම ය මාගේ ය” යනුවෙන් කටයුතු කළත් පරමාර්ථ වශයෙන් “මගේ නොවේ, මම නොවෙමි, මගෙ ආත්මය නොවේ” නම් වූ අදහස ඉතාම හොඳින් වැටහෙන්නට පටන් ගන්නවා. ඒ වගේ ම යම් අවස්ථාවක අස්‍රැතවත් පෘතග්ජන ස්වභාවයේ දී ඇසෙන් හෝ රූපයෙන් හෝ චක්ඛු විඤ්ඤාණයෙහි හෝ යම් ඇලීමක් හෝ ගැටීමක්, මුලාවක් සකස්වන්නේ ද? එය යම් ආකාරයකින් මිහිරි ලෙස තැන්පත්වන්නේ ද? සියුම්ව ඒ ආරම්මණ සකස් වූවත්, සියුම් ව සිතිවිලි හටගන්නට පත්වුණත් ඒ හැම අවස්ථාවක් ම මනා වූ සිහියෙන් යුතුව දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා.

ප්‍රසන්න චිත්තය නිසා උඩින් බැලූ විට විලක, ජලාශයක පත්ල පෙනෙන අයෙකුට ස්වල්ප වූ අපවිත්‍ර යමක් ජලයෙහි පවතින්නේ නම් එය මනාව දකින්නා සේ, තමාගේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් යම් වූ ද රූපාදී ආරම්මණයක් නිසා රාගාධී කෙලෙස් හටගන්නේ නම්, එය මැනවින් දැක එය ඉවත් කර ගැනීමට තරම් සිත සකස්වෙනවා. එයට හේතුව මුලින් සඳහන් කළ කල්ලචිත්තය කෙලෙසුන්ගෙන් බැහැර වී නීරෝගී සිතක් පැවතීම නිසා ය.

උදග්ගචිත්ත නම් දහමෙන් ඔදවැඩී ගිය සිතක් සකස්වීම යන අදහසයි. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් නකුල මාතාවන්ගේ සිතේ ස්වභාවය පිළිබඳව දේශනා කළ දහම් වචන කිහිපයක් නකුලපිතූ සූත්‍ර දේශනාවෙන් දැක්විය හැකි ය. එනම් ඕගධප්පත්තා, පතිගාධප්පත්තා, අස්සාසප්පත්තා ලෙසිනුයි. මනා වූ අවබෝධයෙන් ධර්ම මාර්ගයට එනම් නිවන අරමුණු කරගත් මාර්ගයට ප්‍රවිශ්ට වූයේ ය යන අදහසයි. ඒ වගේ ම අස්සාසප්පත්තා ආස්වාදයකින්, ධර්මයෙන් ලබන සොම්නසකින් යුක්තව ගමන් කරන්නේ ය යන අදහසයි. එවිට ධර්ම මාර්ගයෙහි “මම ය මාගේ ය” යන දෘෂ්ඨියෙන් ධාතු ස්කන්ධ ආයතනයන් පිළිබඳව සැක බැහැර වී යනවා. යම් වූ ද කුකුස් ඇත්තේ නම් ඒවා ඉවත්ව යනවා. ඒකායන මාර්ගය නිවන අරමුණු කරන පිරිසුදු මාර්ගය මේ මජ්ක්‍ධිමා පටිපදා යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්නා දුන් මාර්ගය ම බව තමා තුළින් ම දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. එමඟින් සිතේ ඇතිවන ධර්මයෙන් ලබන නිරාමිස ප්‍රීතිය, ඔද වැඩී ගිය ප්‍රීතිය උදග්ග චිත්ත හැටියට හඳුන්වන්නට පුළුවනි. ඒ ප්‍රීතිය හටගන්නේ මේ නිරාමිස ප්‍රීතියෙන් සකස් වූ චිත්ත චෛතසිකයන් හා සමඟින් බව වැටහෙනවා.

චිත්ත පස්සද්ධි – කායපස්සද්ධි
චිත්ත මුදුතා - කායමුදුතා
චිත්ත ලහුතා - කායලහුතා
චිත්ත කම්මඤ්ඤතා - කාය කම්මඤ්ඤතා
චිත්ත පාගුඤ්ඤතා - කාය පාගුඤ්ඤතා
චිත්ත උජ්ජුකතා - කාය උජ්ජුකතා

කෙලෙසුන්ගේ සංසිඳීම හෝ බලවත් ලෙස යටපත්වීම නිසා සිත සැහැල්ලු වෙනවා. කයත් සැහැල්ලු වෙනවා. මෙහි කය හැටියට දක්වන්නේ වේදනා, සංඥා, සංඛාරයන් හි සංසිඳීමයි. විශේෂයෙන් ම වේදනා, සංඥා දෙකෙහි ඇතිවන සංසිඳීමයි. එලෙස ම සිතෙහි හා කයෙහි සැහැල්ලු බවක් ඇතිවෙනවා. සිතෙහි හා කයෙහි මෘදු බවක්, සෞම්‍ය ස්වභාවයක් ඇතිවෙනවා. සිතෙහි හා කයෙහි අකර්මන්‍ය බවක් කුසලයට නැමෙන බවක් ඇතිවෙනවා. සිතෙහි හා කයෙහි කුසලයට යොමුවන බවක්, ඒ වගේ ම එයට ම ගලාගෙන යන ස්වභාවයක් දැනෙන්නට පටන් ගන්නවා. සිත හා කය කුසලයෙහි සෘජුවෙන්නට ඒ මත ම පිහිටා සිටින්නට සිත සකස්වෙනවා. මේවා සෝබන චෛතසිකවල දැක් වූ යුගල ධර්මතා හැටියට පෙන්වා දෙන්නට පුළුවනි.

භාග්‍යවතුන් වහන්සේ විසින් “ධම්මියා කථාය සන්දස්සේසි” දහම් කතාවකින් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට සංග්‍රහ කළ විට ඒ ශ්‍රාවක, ශ්‍රාවිකාවන් විසින් ලබනා ලද ධර්ම මාර්ගයේ උච්චත ම ප්‍රතිඵලය, ශ්‍රේෂ්ඨතම ප්‍රතිඵලය එමඟින් අපට හඳුනා ගන්නට පුළුවනි. මේ සියල්ලෙන් ම පෙන්වා දෙන්නේ යථාභූත ඥානයෙන් යුතුව එනම්, තතු තතු ආකාරයෙන් සියලු සංඛත සංඛාර වස්තු දැන හඳුනාගෙන තමා තුළින් ම දහමෙන් ලබන ප්‍රහර්සය මතුකොටගෙන යහපත් වූ ජීවන මාර්ගයක් ලෞකික වශයෙන් ම ඇතිකර ගන්නවා යන අදහසයි.