Print this Article


සුත්ත නිපාතයෙන් ... : කාමය ගින්නකි එය නිවන්නා උතුමෙකි

සුත්ත නිපාතයෙන් ...

කාමය ගින්නකි එය නිවන්නා උතුමෙකි

සුත්ත නිපාතයේ අට්ඨක වර්ගයට අයත් (ගාථා අට බැගින් වදාළ කොටසේ) කාම සූත්‍රය හෙවත් කාමයන්ගේ සැබෑ ස්වරූපය ගැන වදාළ දේශනාව අද අපි ඉගෙන ගනිමු.

එක්තරා බ්‍රාහ්මණ වංශික ගොවියෙක් සැවැත්නුවර අචිරවතී ගංතෙර යව කෙතක් වපුරන්නට විය. ඒ අසල මාවතේ පිඬු පිණිස වැඩි භාග්‍යවතුන් වහන්සේ මොහු වපුරන මේ යව සහල් කෙත මහා වැස්සකින් විනාශවීම නිසා බලවත් දුකකට පත්වෙන බව ද, එදින ම මොහු ජීවිතය අවබෝධයට දක්ෂ වන බවද දුටු සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ දිනය තෙක් ඔහු සමඟ හිතවත්ව දිනපතා ම පිඬුසිඟා වඩිද්දී ඔහුගේ කෙතේ කටයුතු විමසන්නට වූ හ. කෙත වැඩී රන්වන්ව පැසී ගියේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කොට “පින්වත දැන් ඔබේ කෙත හරි අපූරුනේ දැයි” විමසූහ. “ගෞතමයන් වහන්ස එය එසේ ය. මෙවර නම් කෙත හරිම අපූරුයි” කියා සොම්නසින් ඉපිළෙන්නට විය.

පසුවදා කෙත කපා අස්වනු නෙළන්නටත්, එහි මුල් කොටසින් භාග්‍යවතුන් වහන්සේ පුදන්නටත් සිතා ගත් හේ සතුටින් නින්දට ගියේ ය. එදා රාත්‍රී ධාරානිපාත වර්ෂාවක් ඇද හැලුණි. මහා ජල කඳට යට වූ ඒ යව කෙත මුළුමණින් ම විනාශ වී ගියේ ය. හිමිදිරියේ කෙතට ගිය හේ පාළු කෙත දැක හඬා වැළපෙන්නට විය. මහාකාරුණික භාග්‍යවතුන් වහන්සේ එහි වැඩමකොට ඔහු අස්වසා මේ දෙසුම වදාළ සේක. දෙසුම අවසානයේ ඒ බ්‍රාහ්මණ ගොවියාත්, බැමිණියත් සෝවාන් ඵලයට පත්වූහ. එහි දී භාග්‍යවතුන් වහන්සේ පළමුව මෙම ගාථාව වදාළ සේක.

කාමං කාමයමානස්ස
තස්ස චේතං සමිජ්ඣති
අද්ධා පීතිමනෝ හෝති
ලද්ධා මච්චෝ යදිච්ඡති

කම්සැප විඳින්නට රුචි වුන කෙනා හට
ලද විට ඒ කාම සම්පත් තමා හට
ලැබුණා පතා සිටි දේවල් මෙමා හට
කියමින් පිනා යයි සතුටින් සැබෑවට

මෙහි දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ පංචකාම ආශ්වාදය ලබන්නට කැමැති පුද්ගලයා පි‍්‍රයමනාප වූ රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස ලැබුණු විටදී ඒ හේතුවෙන් සතුටින් පිනා යන බව යි. එනම් ගේ දොර, වතුපිටි, හරකබාන, දූ දරුවන්, මිල මුදල්, යාන වාහන, ඇඳුම් පැළඳුම්, ආහාරපාන ආදී දේ ලැබුණු විටක දී ඒ ගැන අසීමිත ව සතුටුවන බව යි. එනමුත්, අනිත්‍ය ධර්මතාවයට යටත් ඒ සියල්ල අහිමිවන විට ඔහු බලවත් සේ ශෝකයට පත්වන බව භාග්‍යවතුන් වහන්සේ ඊළඟ ගාථාවෙන් මෙසේ වදාළ සේක.

තස්ස චේ කාමයානස්ස
ඡන්දජාතස්ස ජන්තුනෝ
තේ කාමං පරිහායන්ති
සල්ලව්ද්ධෝව රුප්පති

ලද ලද කම් සැපයට ම – නිති කැමැති වන
කෙනෙකුට ඒ තුළ ම සිත සැනසුම සදන
කාලය පැමිණි විට ඒ සම්පත් නැසෙන
වැළපෙයි ඔහු විලසට ළය හුල ඇණුන

ඒ අයුරින් පි‍්‍රයමනාප අය, පි‍්‍රයමනාප දේ අහිමිවූ විට, ඒ කෙරෙහි බැඳී ගිය පුද්ගලයා ගේ පපුවට හුල්වලින් අනින්නා සේ බලවත් වූ දුකකට පත්වෙයි. කෑම බීම පවා ප්‍රතික්ෂේප කොට හඬමින් වැළපෙමින්, සෝ සුසුම් හෙළමින් කල්ගත කරයි. කායික මානසික වශයෙන් දුකට දොම්නසට පත්වෙයි.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ පංචකාම සම්පත්හි ආදීනව නුවණින් දැක, කාමයන් අත්හැර වීතරාගී පැවිදි දිවියක් ගත කරන ශ්‍රමණයන් වහන්සේ නමක් අත්දකින ලොව්තුරු සුවය පිළිබඳව ය.

යෝ කාමේ පරිවජ්ජේති
සප්පස්සේව පදා සිරෝ
සෝ මං විසන්තිකං ලෝකේ
සතෝ සමතිවන්තති

මෙය දැක හැම කාමයන් දුරු කරන කෙනා
බැහැරට දමයි සර්පයෙකු ගේ හිස ලෙසිනා
මෙලෙසින් සිහිනුවණ පවතින ඒ සමණා
පැන යයි සියලු තණ්හාවෙන් ලොව බැඳෙනා

ධර්ම මාර්ගයේ දී පංචකාමයන් කෙරෙහි ඡන්ද රාගය සම්පූර්ණයෙන් ම ප්‍රහාණය වන්නේ අනාගාමී ඵලයේ දී බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක. පංචකාමය කෙරෙහි ඇති ආශාව දුරු කිරීම පිණිස, නුවණින් විමසිය යුතු ආකාරය පෝතලිය නම් සූත්‍ර දේශනාවේ දී පෙන්වා දී ඇත්තේ මෙලෙසිනි.

1. (අට්ඨිකංකලුපමා කාමා) කාමයන් සුනඛයෙකු ලෙවකන මස් ලේ නො මැති ඇට කැබැල්ලක් වැනි ය. නිස්සාර ය.

2. (මංසුපේසුපමං කාමා) උකුස්සෙක් තුඬින් ඩැහැගත් මස් කුට්ටියක් වැනි ය. අත්හරිනතුරු අනෙකුත් උකුස්සන්ගෙන් පහර කෑමට සිදුවන සේ කාමයන් පීඩාකාරි ය.

3. (තිණුක්කූපමා කාමා) ගිනිගත් හුළු අත්තක් තමන්ගේ පැත්තට හුළං හමද්දී ම ගෙන යද්දී ශරීරය පිළිස්සෙන්නා සේ කාමයන් පීඩාකාරි යි.

4.(අංගාරකාසූපමං කාමා) කාමයන් රත් වූ ගිනි අඟුරු වළක් මෙන් දැවිලි තැවිලි ඇති කරන්නේ ය.

5.( යාචිතකූපමා කාමා) අනුන්ගෙන් ඉල්ලාගත්, ණයට ගත් දෙයක් වැනි කාමයන් තමන්ට අහිමි ව යන්නේ ය.

6.(රුක්ඛථලුපමා කාමා) කාමයන් ගහක හටගත් ගෙඩි වැනි ය. කෙනෙක් ගසට නැග කමින් සිටිය දී තවත් කෙනෙක් පැමිණ ගස කපද්දී අනතුරට පත්වන්නා සේ කාමයන් නිසා නොයෙක් කරදර උපද්‍රව වලට පත්වේ.

7. (සුවිනූපමා කාමා) කාමයන් නින්දේ දී දුටු සිහිනයක් වැනි ය. අවදි වී බලද්දී කිසිවක් නැති සෙයින් නිරර්ථක ය.

මස් කපන කොටයක්, කැත්තක් වැනි යි. අවසානයේ දී කිසිවක් ඉතුරු නොවේ.

එනිසා මේ කාමයන් තුළ (බහු දුක්ඛා බහුපායාසා) බොහෝ දුක් තිබෙනවා. බොහෝ පීඩා තිබෙනවා කියා නුවණින් දැකිය යුතු යි. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ තවත් ගාථා දෙකකින් කාමයෙහි ආදීනව, පීඩාකාරී බව මෙසේ වදාළ සේක.

ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා
ගවාස්සං දාස පෝරිසං
ථියෝ බන්ධු පුථුූකාමේ
යෝ නරෝ අනුගිජ්ඣති

කෙත් වතු රන් රුවන් මෙහෙවරුන් ආදී
ගවයන් අසුන් හා නෑයින් ඇති විහිදී
බොහෝ කාමයන් සිතමින් එයටම පැහැදී
ගිජුවෙන කෙනා සිත වෙනතක නොම යාදී

අබලා නං බලීයත්තී
මද්දන්තේ තං පරිස්සයා
තතෝ නං දුක්ඛමන්වේති
නාවං භින්නම්වෝදකං

දුර්වල කෙලෙස් ඔහු යට කර ගෙන යන්නේ
කරදර කම්කටොළු ඔහු මඩිමින් ඉන්නේ
කාමය තුළින් ඔහු දුක වෙතටය එන්නේ
හිල්වුනු නැවට ගලනා දිය කඳ වැන්නේ

කාමයන්ගේ ආදීනව සහ එයින් ලැබෙන දුක්පීඩා පෙන්වා දී අවසාන ගාථා රත්නයෙන් භාග්‍යවතුන් වහන්සේ දේ්ශනා කොට වදාළේ එයින් නිදහස් වීමේ වැදගත්කම යි.

තස්මා ඡන්තු සදා සතෝ
කාමාති පරිවජ්ජයේ
තේ පහාය තරේ ඕඝං
නාවං සිත්වාව පාරගූ

එනිසා හැම විටම සිහියෙන් කල් ගෙවමින්
දැනගෙන කාමයන් බැහැරට හැර දමමින්
දිය ඉස නැව සදාගෙන එතෙරටම යමින්
තරණය කළ යුතුය සැඩ දිය බිඳ හරිමින්

එනිසා සිහි නුවණින් යුක්තව කල් ගෙවමින්, සමථ විදර්ශනා වඩමින් කාමයන්හි යථා ස්වභාවය ප්‍රඥාවෙන් අවබෝධ කළ යුත ªය. එසේ පංච කාමයන් කෙරෙහි ඡන්ද රාගය දුරු කරන ආර්ය ශ්‍රාවකයා කාම, දිට්ඨි, භව, අවිජ්ජා යන සතර ඕඝයෙන් එතෙරව අමා නිවන කරා යන්නේ ය.

යම් කෙනෙක් පිරුණු ජලය ඉස නැව සාදාගෙන එතෙරට යන්නාක් මෙන්, ජීවිතය නමැති නැවෙහි පිරී ඇති කෙලෙස් නමැති ජලය හිස් කොට සැහැල්ලු බවින් සසරින් එතෙර වන්නේ ය. එසේ සියලු දෙයින් ම එතෙරට ගිය නිවනට පත්වීම හෙවත් අරහත්වයට පත්වීම සිදුවන්නේ ය. මතු සසර නො ඉපදෙන සේ අනුපාදිසේස නිවනින් පිරිනිවන් පාන්නේ ය. යනුවෙන් අරහත්වය කුළු ගන්වමින් ශාස්තෘන් වහන්සේ දේශනාව නිමකළ සේක. දේශනාවට සවන්දුන් බ්‍රාහ්මණයා ද, බැමිණිය ද උතුම් සෝතාපන්න ඵලය සාක්ෂාත් කළහ.

භාග්‍යවතුන් වහන්සේ ගිහි ජීවිතය ගතකරන ශ්‍රාවකයන්ට ද වදාළේ මුලා නොවී, නො බැස්සගෙන, ආදීනව දකිමින්, නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තව පංච කාමයන් පරිහරණය කරන ලෙසයි.

එනිසා ඔබටද කාමයන්හි ඇති තතු අවබෝධ කර ගැනීම පිණිස මේ උතුම් දේශනාව මහෝපකාරි වේවි.