Print this Article


කාමාවචර ලෝකය හා අමනුස්සකම

බුදු දහමට අනුව විශ්වයේ කාමාවචර ලෝක එකොළහක් ඇත. දිව්‍යලෝක හය, මනුෂ්‍ය ලෝකය හා අපාය හතර ඒ එකොළහ යි. මේ ලෝකවල සිදුවන සෑම ක්‍රියාවක්මත්, දක්නට ලැබෙන සෑම නිර්මාණයක්මත් බිහිවී ඇත්තේත්, පවතින්නේත්, විනාශ වන්නේත් කාමය මුල් කරගෙන ය.

විශේෂයෙන් අප ඇස් පනා පිට දකින මනුෂ්‍ය ලෝකයේ වෙසෙන සෑම පුද්ගලයෙකු විසින්ම කරනු ලබන ක්‍රියා කාමය හා සම්බන්ධ ය. එසේම එකී ගනුදෙනුව අතිශය විචිත්‍ර ය. ඇතැම් විටෙක ඔවුහු කාමය නිසා අතිශය මනස්කාන්ත නිර්මාණ බිහි කරති. සිත් ගන්නා ඇඳුම් පැළඳුම් ආදියෙන් සැරසෙමින් විලාසිතා දක්වමින් අනෙකාගේ සිත් ඇද බැඳ ගනිති. විවිධ ආකාරයේ රසමුසු බොජුන් වළඳමින් දිව පිනවති. ගේ දොර වතු පිටි ආදී තම වටපිටාව මනරම් ලෙස තබා ගනිති. කැටයම් සැරසිලි ආදියෙන් තම නිවෙස් ආදිය අලංකාර කරති. එපමණක් නොව වරෙක කාමය නිසා කේළාම් කියති. බොරු කියති. එකිනෙකාට වධ හිංසා පමුණුවති. තවත් වරෙක පින් දහම් කරති.

පින් දහම් කරන්නේ කාමය නිසා යැයි කීම ඔබට කුතුහලයක් විය හැකි ය. දන් දීම ලංකාවේ මිනිසුන්ට ඉතා හුරු පුරුදු ජනප්‍රිය පින්කමක් බව ඔබ දන්නා කරුණකි. දන්දීම යනු අත්හැරීම ම පදනම් කොට ගත් ක්‍රියාවකි. එහි දී දෙන්නා හෝ ,දෙන දෙය හෝ, ලබන්නාගේ තරාතිරම වැදගත් නැත. අප දන් දීමේ දී මෙම සිතිවිල්ලෙන් එය සිදු කරන්නේ ද? බොහෝ අය දන්දීමේ දී ශබ්ද විකාශන යන්ත්‍රවලින් පවා ඒ බැව් නිවේදනය කරති. දානය සඳහා ජනප්‍රිය හෝ රූපවාහීනී තිරයේ වැඩ සිටින සංඝයා වහන්සේලා වැඩම කරවා ගැනීමට උත්සුක වෙති. දානයේ දී තමා වර්ණනා නො කළොත් උරණ වෙති. වර්ණනා කළහොත් සතුටු වෙති. මෙය දානයක් දෙන පිළිවෙළ ද? පින්කම් යැයි සම්මත මෙබඳු ක්‍රියාවල ඇත්තේ කාමය මුල්කොට ගත් ක්‍රියාවලියක් බව තේරුම් ගැනීමට ඔබට අපහසුවක් නැත. පින්කම් කරන්නේ ද කාමය පදනම් කොට යැයි පැවසූයේ එහෙයිනි. එහෙත් මෙබඳු ක්‍රියා එසේ වුවත් ඒවා පාපයක් නම් නොවේ. ක්‍රියාවේ අවිධිමත් බවක් ඇතත් මේවායින් සමාජයට අයහපතක් නො සිදු වන බැවින් ඒවා පාප කර්ම ලෙස හුවා දැක්වීම වරදකි. කාමාවචර ලෝකයේ සියලු ක්‍රියාකාරකම් කාමය ආශ්‍රය කොටගෙන පවතින බව මුලින් කියන ලදී. ධර්මය යනු කුමක්දැයි හරිහැටි නොදන්නා සමහරු කාමය ආශ්‍රිතව ගොඩනැඟුණු දේ් දෙස බලන්නේ වැරැදි ඇසකිනි. සුවිශාල පන්සල්, බුදුපිළිම, ස්තූප, කඨින පින්කම්, දළදා පෙරහර ආදිය දැක ගරහන්නෝ ද ඇත. ඔවුන් එසේ ගරහනුයේ කාමය පිළිබඳ මනා වැටහීමකින් නොවේ.

සංයුත්ත නිකායේ නකාමකාම සූත්‍රයේ සඳහන් බුදුරජාණන් වහන්සේගේ මෙම ප්‍රකාශය දෙස බලන්න. “ලෝකයේ විසිතුරු දේ කාමයෝ නො වෙති. කාමය නම් එම වස්තූන් පිළිබඳව මිනිසා තුළ පවතින සංකල්පමය රාගයයි.” මේ නිසා ලෝකයේ සිටින ගැහැනියක හෝ පිරිමියෙකු හෝ ගසක්, මලක්, ඇළ දොළ ගංගාවක් හෝ ගෙයක් දොරක් වැනි කිසිදු වස්තුවක් කාමය ලෙස හඳුනාගැනීම වැරැදි ය. සුවිසල් බුදුපිළිමයක් කාමයක් වන්නේ කෙසේ ද? ඒවා ඇතැම් විටෙක ශ්‍රද්ධාව ජනනය කිරීමෙහි ලා ඉවහල් වන වස්තූන් විය හැකි ය. මේ නිසා ස්වභාව ධර්මයේ දායාදයන් වූ එම වස්තූන්ට එලෙසම පවතින්න ඉඩ හරින්න. ඒවා සම්බන්ධයෙන් ඔබ තුළ රාගයක් ඇත්නම් එය මැඬ පවත්වා ගන්න. ඒවා සම්බන්ධයෙන් ඔබ තුළ ගැටීමක් ඇත්නම් එය ද්වේෂයකි. එය මැඬ පවත්වා ගන්න. කාමය සම්බන්ධයෙන් වඩා වැදගත් වන්නේ එයින් ජනිත වන අමනුස්සකම තේරුම් ගැනීම යි. මේ ලෝකයේ ඇතැම් කාන්තාවෝ සහ පුරුෂයෝ කාමයෙන් උමතු වූවෝ ය. එය සෞඛ්‍ය සම්පන්න බවේ සලකුණක් යැයි නන් දොඩවන්නෝ ද ඇත. එහෙත් කාමය පාලනය නොකිරීමෙන් ලෝක ඉතිහාසයෙහි ජීවිතයෙන් වන්දි ගෙවූවන්ගේ සංඛ්‍යාව අතිමහත් ය. උමතු කාමය නිසා සමාජයේ පීඩනයට පත් වන්නන්ගෙන් ශ්‍රී ලංකාව ද ඉහළ යන රටකි. පාරක තොටක තනියම යාමට ශ්‍රී ලාංකික ස්ත්‍රීහු බිය වෙති. බලහත්කාරකම් කිරීම්, වෘත්තීය ගැටලු ඇති කරමින් බිය වැද්දීම්, වංචනික ලෙස සෙනෙහස පෑම් ආදිය මගින් දුර්වල ස්ත්‍රී මානසිකත්වය විපතෙහි හෙළති. ඇතැම්විට ඔවුන්ගේ ක්‍රියාවල අවසානය වන්නේ සියදිවි හානි කර ගැනීමයි. මේ හේතුවෙන් නිවෙස්වල අසරණ වන ස්වාමි පුරුෂයන් හා දරුවන් ජීවිත කාලය තුළ දුක් සුසුමින් නිමා කරති.

කාමයෙන් මුසපත් වූවෝ අධික ලෙස බොරු කියති. වංචා කරති. සොරකම් කරති. මිනී මරති. කාමයෙහි වරදවා හැසිරෙති. නිසරු ලෙස දිවි ගෙවති. ආගම ධර්මයෙහි ගුණ නො දකිති. යුක්තිය සාධාරණය නො සලකති. කළ ගුණ නො දනිති. තමන් පමණක් කා බී ජීවත්වීමේ මානසිකත්වය මොවුන් තුළ වැඩි වශයෙන් කිඳා බැස තිබේ. කුල සිරිත්, ආචාර ධර්ම මොවුහු අගය නො කරති. ඊට ගරහති. කුල සිරිත් රැකෙන ඇඳුමක් පැළඳුමක් ඇඳීම පවා මොවුන්ගේ ගතිය නොවේ.

මෙබඳුු ගැහැනියක හෝ පිරිමියෙකු වේ නම් ඔවුන් තුළ දකින්නට ඇති මනුස්සකම කුමක් ද?

මනුස්සකම හෝ අමනුස්සකම ඉස්මතු වෙන මූලික මනෝභාවයක් ලෙස කාමුක බව හඳුනාගත යුතු ය. පාසල් යන දරුවෝ මව්පිය ගුරුවර ආදීන්ගේ ඔවදන් බාල වියේ දී පිළිගන්නා නමුදු වයසින් වැඩෙත්ම කාමයෙන් ද වැඩෙති. ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල හිතුවක්කාර ස්වභාවයක් පැන නැගීමට පටන් ගනී. කාමයෙහි ආදීනව පිළිබඳ ධර්මදේශනා හා උපදේශන ක්‍රියා මගින් ඔවුන් එම වයසේ දී දැනුවත් කොට මානසික පාලනයක් ඇති කළ යුතු ය. නො එසේනම් කිරි පොවා හැදූ වැඩූ දෙමාපියන් තුළ ඇති වන්නේ මහත් වූ කළකිරීමකි. දරුවන් යහමගට ගැනීමට වෙර දරන ගුරුවරුන් තුළ පවතින්නේ අප්‍රසාදයකි. ඉගෙනීම අසාර්ථක වීමට හේතුවන කරුණු හයක් පිළිබඳව පැරැණි ඍෂිවරයන් විසින් පවසා තිබේ. අලසකම, මන්දබුද්ධික බව, සැප වැඩිකම, රෝගවලින් පීඩා විඳීන බව, නිදි බහුල බව හා කාමුක බව යනුවෙනි. එබැවින් කාමුක බව අධ්‍යාපනය අසාර්ථක වීමට හේතුවක් වේ. මේ නිසා ධර්මය මෙනෙහි කිරීමෙන් හා යුතු අයුතුකම් නැතහොත් ආචාර ධර්ම පිළිබඳ ශිෂ්‍යයා දැනුවත් විය යුතු ය.

කාමය සම්බන්ධයෙන් මිනිසාගේ හැසිරීම මහලු වියේ දී වුවද, තරුණ වියේ වුවද වෙනසක් නැත. නොහික්මුණු මනසක් ඇත්නම් කාමුකත්වය වැඩී, විවිධ අපරාධ හා ව්‍යසනවලට ලක් වීමට සිදුවේ. මහලු වියේ දී මුහුණ රැළිවලින් ගැවසී ගනී. හිස සුදු කෙස්වලින් යුක්ත වේ. අත් පා ලිහිල් වී වාරු නැති වේ. එහෙත් එකම තෘෂ්ණාව පමණක් තරුණ වේ යැයි පැරැණි පඬිවරයෙකු පවසා ඇත.

කෙනෙකු තුළ බලවත් කාමුකත්වයක් ඇත්නම් ඊට ප්‍රධාන හේතු දෙකක් බලපා යි. ඉන් පළමුවැන්න කායික රසායනික සංයුතිය යි. දෙවැන්න මානසික මායාවයි. මෙයින් පළමුවැන්න එනම් කායික රසායනික සංයුතිය ගිහියෙකුට සමනය කරගත හැකි වන්නේ දෛනික පැවැත්ම සකසා ගැනීමෙනි. කාමභෝගී ජීවිතයක් ගෙවනු ලබන ඔවුහු තම පවුල් සංස්ථාව නිරවුල්ව සහ සුඛිත මුදිතව පවත්වාගෙන යාමේ වගකීමෙන් බැඳී සිටිති. එබැවින් කායික පැවැත්ම පිළිබඳ පමණ ඉක්මවා ඇවතුම් පැවතුම් කිරීම පාලනය කරගැනීම අවශ්‍ය වේ. පැවිද්දන්ගේ මෙකී පාලනය සඳහා බුදුරදුන් විසින් අනුදැන වදාළ විකාලභෝජනයෙන් වැළකීම බලපායි. පස්වරුවෙහි ආහාරයෙන් වැළකීමෙහි විවිධ ආනිශංස අතර මදයෙන් හා ප්‍රමාදයෙන් වැළකීම ද ප්‍රධාන කරුණු දෙකකි. මේ නිසා ආහාරයෙහි පමණ දැන සිහියෙන් යුතුව පරිභෝජනය කිරීම කායික රසායනික සංයුතියේ අනිසි බලපෑම් පාලනය කිරීමට හේතු වනු ඇත.

කාමුකත්වය සම්බන්ධ මානසික මායාව පාලනය නැතහොත් උග්‍ර කාමාතුරයෙකුට කාමුක බවින් ගැලවීමට ඇති ප්‍රධාන ක්‍රමය වන්නේ අශුභ භාවනාව කිරීම ය. නිදසුනකින් කිවහොත් මෙම ශරීරය වූ කලී අශූචි පිරුණු කළයක් පිටතින් සිතුවම් ඇඳ සිත්කළු කළාක් මෙනි. එබැවින් එබඳු වූ ශරීරයට ඇලුම් කිරීමෙන් අප සිතන තරම් උසස් ආස්වාදයක් ලැබිය නො හැකි ය.දෙවැනි ක්‍රමය වන්නේ ආනාපානසති භාවනාව යි. ආනාපානසතිය කාමය හා ඍජු සම්බන්ධයක් නො දක්වන නමුත් සිහියෙන් යුතුව හුස්ම ඉහළ පහළ දැමීමේ ක්‍රමවේදයෙන් ඇතිවන අධික චිත්ත සමාධිය හෝ චිත්ත ප්‍රීතිය හේතුවෙන් උපදින රසය කාම රසයට වඩා උසස් වූවකි. එහෙයින්ම එකී රසය කාම රසයට නැගී සිටීමට ඉඩ නොදෙයි.

තෙවැනි ක්‍රමය වන්නේ ආත්මීය විමර්ශනයයි. අත්තාධිපතෙය්‍ය, ලෝකාධිපතෙය්‍ය, ධම්මාධිපතෙය්‍ය යන දේශනාව ඔස්සේ මෙය හඳුනාගත හැකි ය. එනම් කාමුකත්වය ඉස්මතු වූ කල්හි සිතට ඇතිවන ආවේග පාලනය කර ගැනීමට තමාගේ තත්වය ගැන සලකා මා වැනි කෙනෙකු මෙබඳු ක්‍රියාවක් කිරීම නුසුදුසු යැයි සිතා වැරැදි තීරණයකට නො පැමිණීම යි. එය අත්තාධිපතෙය්‍ය නම් වේ. තමා කාමයෙන් උමතු වී මෙබඳු දෙයක් කළහොත් ලෝකයා මා ගැන කුමක් නො සිතයි ද, මට කුමක් නොකියයි ද යනාදී වශයෙන් සිතා එයින් වැළකීම ලෝකාධිපතෙය්‍ය නම් වේ. මා මෙබඳු ගති ස්වභාව ඇත්තෙක් හෝ ක්‍රියා කරන්නෙක් වුවහොත් මෙබඳු විපාක විඳීමට සිදුවේ යැයි ධර්මානුකූලව සිතා වරදින් මිදීම ධම්මාධිපතෙය්‍ය නම් වේ. මෙම ක්‍රම එකක් හෝ වැඩි ගණනක් සලකා බැලීමෙන් අවශ්‍ය නම් කෙනෙකුට කාමුකත්වය නිසා ඇති වන වැරැදි ක්‍රියා පාලනය කරගත හැකි ය.

රටක මිනිසුන් තෙවර්ගයක් ඇත. සිහියෙන් වැඩ කරන මිනිසුන්, අඩ සිහියෙන් වැඩ කරන මිනිසුන් සහ අසිහියෙන් වැඩ කරන මිනිසුන් යනුවෙනි. කාමුක බව සම්බන්ධයෙන් මිනිසුන් පිළිපදින්නේ මෙම මානසිකත්වයන් තුනට අනුව ය. සිහියෙන් වැඩ කරන්නෝ කිසි කලෙකත් උමතු කාමුකයෝ හෝ අමනුස්ස ගති ඇත්තෝ නො වෙති. අඩ සිහියෙන් හා අසිහියෙන් වැඩ කරන්නෝම දුරාචාරයන්හි යෙදෙති. රටක බාල, තරුණ මහලු යන තුන් වියටම ඇතුළත් පුරවැසියෝ වැඩි වශයෙන් කාමයෙන් මුසපත්ව මුළාවෙන් කල් යවත් නම්, එබඳු රටක යහපත්කම් ගැන කථා කිරීමේ ඵලය කුමක් ද? එබැවින්ම කාමුක කමෙහි ආදීනව සම්බන්ධයෙන් එරට ජන සමාජය දැනුවත් විය යුතු වේ. එසේම කාමය පාලනය කර ගැනීම සඳහා ක්‍රියා කළයුතු වේ. එය යහපත් ජන සමාජයකින් යුතු දේශයක් බිහිවීමට ඉවහල් වන බව ද මෙහි ලා සිහිපත් කරමු.