Print this Article


පූජාච පූජනියනං

පොත්තේවෙල පඤ්ඤාසාර මහා නා හිමි

පොත්තේවෙල පඤ්ඤාසාර මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 11 වන මහානායක ස්වාමීන්ද්‍රයාණෝ ය.

දක්ෂිණ ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරුවාපත්තුවේ තාරපේරිය ගමෙහි 1915 ඔක්තෝබර් 25 දින උපත ලැබූ පී.ඒ. චාර්ලිස් නම් වූ පින්වත් කුමරුවන්ගේ පියා පස්දුන් කෝරළයේ ආරච්චිගේ දොන් කොරනේළිස් රාළහාමි ය. මව දෝන සිසිලියානා උබේසේකර මාතාව ය. 1928 ජූලි 02 දින දික්වැල්ල වත්තේගම ශ්‍රී සුධර්මාධාර විද්‍යාලයාධිපතිව වැඩ විසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සිවුවෙනි මහානායක මාතර ඤාණින්දා සභ මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පොත්තේවෙල පඤ්ඤාසාර නමින් පැවිදි බිමට පත්විය. පොත්තේවෙල සිරි නන්දනාරාමාධිපති මහෝපාධ්‍යාය ඕබඩකන්දේ සිරි සරණංකර ස්වාමීන්ද්‍රයාණෝ ආචාර්යවරයාණෝ වූ හ. උන්වහන්සේ තම ශිෂ්‍යයා, මහ පඬිවරුන් දැයට දායාද කළ බලගල්ල සරස්වතී පිරිවෙනට ධර්ම ශාස්තෝද්ග්‍රහණය සඳහා භාර දුන්හ. රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නා හිමි, මහාචාර්ය යටගම ධම්මපාල නා හිමි වැනි මහ උගතුන්ගේ ශාසනික ජාත භූමිය වූ මෙම පිරිවෙනේ උන්වහන්සේලාගේ ආචාර්යෝත්තම හිස්සැල්ලේ ඤාණෝදය මහා ස්වාමීන්ද්‍රයණන් වහන්සේගේ පා සෙවනෙහි ධර්ම ශාස්ත්‍ර හදාළ උන්වහන්සේ ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමත් වූ සැණින්ම පිරිවෙනේ ආචාර්ය පදවියක් දැරීමට සුදුසු බව පරිවෙනාධිපති හිමියෝ තීරණය කළහ. පසු කලෙක ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අටවෙනි මහානායකවරයාණ ලෙස පත් වූ හිස්සැල්ලේ ඤාණෝදය මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ සියලු සක්‍යතාවන් උකහාගැනීමේ ප්‍රබුද්ධයකු වූ පොත්තේවෙල පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ රාජකීය පණ්ඩිත උපාධිය ලබා ගත්හ.

1935 දී මාතර ඤාණින්දාසභ මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා ස්ව ගුරු දේවෝත්තම මහෝපාධ්‍යාය ඕබඩකන්දේ සිරි සරණංකර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උපසම්පදා භූමියට පත් පොත්තේවෙල පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ස්වකීය ධර්මාචාර්ය හිස්සැල්ලේ ඤාණෝදය ස්වාමීන් වහන්සේගේ අනුමැතියෙන් කුරුණෑගලට වැඩම කර බෞද්ධාලෝක පිරිවෙන ආරම්භ කළහ. දහස් සංඛ්‍යාත ගිහි පැවිදි උගතුන් බිහිකර ඇති එම පිරිවෙන ආරම්භකළේ 1938 දී ය. සිය ගුරු දේවයාණන් වහන්සේගේ ඉල්ලීමට අනුව එකල පොත්තේවෙල සිරි නන්දනාරාමයට තවත් හිමිවරුන් හය නමක් සමඟ වැඩම කළ පඤ්ඤාසාර පණ්ඩිත හිමිපාණෝ 1941 ජූලි 10 දින පොත්තේවෙල ජිනරාජ පිරිවෙන ආරම්භ කළහ. 1936 පමණ සිට ම උන්වහන්සේ ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා සංස්කෘතික ප්‍රගමනයට හා ආරක්ෂාවට අවශ්‍ය විවිධ ව්‍යාපෘතීන්ට අනුශාසකත්වයත්, විචක්ෂණ උපදේශකත්වයත් ලබා දුන්හ. සරණංකර විද්‍යාලය, පොත්තේවෙල පේෂකර්ම ආයතනය, හම්බන්තොට ශ්‍රී ගුණානන්ද පිරිවෙන උන්වහන්සේ ආරම්භ කළ ආයතන යි.

සාමණේර කල ම හිස්සැල්ලේ නාහිමිපාණන්ගේ අන්තේවාසිකව නිකාය කාර්යයන්හී අත්පොත් තැබූ උන්වහන්සේ 1943 දී හම්බන්තොට ප්‍රාදේශීය සංඝ සමාජයේ ලේඛකාධිකාරී තනතුරට පත්වෙමින් නිල වශයෙන් නිකාය පරිපාලනයට බද්ධ විය. 1953 දී පාලක සභාවට ද, එම වසරේ ම කාරක සභාවටද තේරී පත් වූ උන්වහන්සේ 1960 දී නිකායේ උප අධිකරණ ලේඛක තනතුරට පත් වූහ. 1963 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා ලේඛකාධිකාරී තනතුරට පත් වූ උන්වහන්සේ 1980 දී අධිකරණ නායක පදවියට පත් වූහ. 1986 මාර්තු මස වැඩබලන මහානායක පදවියට පත් උන්වහන්සේ 1986 අගෝස්තු මස මහා නායක තනතුරට පත් වූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී තනතුර පුරා වසර 17 ක් දැරූ උන්වහන්සේ නව ව්‍යවස්ථා සකස් කරමින්, ප්‍රාදේශීය සංඝ සභා ක්‍රමානුකූල කරමින්, උපසම්පදා උත්සව සංවිධානය කරමින් කළ සේවය ප්‍රසංසනීය ය. 1964 වසරේ තම කල්‍යාණ මිත්‍ර රාජකීය පණ්ඩිත බද්දේගම විමලවංස ස්වාමීන් වහන්සේ සමඟ එක්ව පන්සිය විසි හතක් කුල දරුවන් පැවිදි කරමින් නිකායේ ශත සංවත්සරය සැමරීමේ දී උන්වහන්සේ දැක්වූ සංවිධානාත්මක හැකියාවත්, නිකායේ ව්‍යවස්ථාව සකස් කරමින් අද දක්වා එකම මහානායක හිමි නමක් යටතේ අඛණ්ඩ ප්‍රවෘත්තියක් නිකාය තුළ පැවැත්වීමට පසු බිම සැකසූහ. මියන්මාර් රාජ්‍යයෙන් (බුරුමය) අග්ග මහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලද අතර විශ්වවිද්‍යාල ඇතුළු විවිධ ආයතනයන්හී උසස් නිලතල දැරූ උන්වහන්සේ 1997 දෙසැම්බර් මස 29 දින අපවත් වී වදාළ සේක. උන්වහන්සේගේ 21 වැනි ගුණ සමරු මහා පින්කමක් දෙසැම්බර් මස 29 දින උන්වහන්සේගේ ධර්මාන්තේවාසික වූ හා මහානායක ලේඛකාධිකාරී තනතුරින් උන්වහන්සේට සහාය දුන් ජිනරාජ ආදිශිෂ්‍ය පුත්‍ර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේගේ අනුශාසනයෙන් ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ දී පැවැත්වේ. ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, පට්ඨාන විශාරද, ශාසනසෝභන සිරිසරණංකරාභිධාන, අග්ගමහා පණ්ඩිත, පොත්තේවෙල පඤ්ඤාසාර මහ නාහිමිපාණන් වහන්සේට නිවන් සැප ලැබේවා.

****

ගණේගම ශ්‍රී සරණංකර නා හිමි

රාජකීය පණ්ඩිත ගණේගම ශ්‍රී සරණංකර නාහිමිපාණන් වහන්සේ ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මානු ධම්ම ප්‍රතිපන්න සංඝපීතෘවරයන් වහන්සේ නමකි. 1908 ඔක්තෝබර් 23 දින බද්දේගම ගණේගම කොරලේගොඩ උපත ලද සැමී කාරියවසම් නම් වූ කුඩා කුමරුන් ගා/ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබී ය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි සඟ පරපුරට අයත් බද්දේගම ගණේගම ඓතිහාසික හැඩිදෙමළ කන්ද පුරාණ රත්නගිරි දුටුගැමුණු විහාරයේ දී සැමී කාරියවසම් කුමරු ගණේගම සරණංකර නමින් පැවිදි විය. පැවිදි වීමේ දී විද්‍යෝදය පරිවෙණාධිපති කහවේ ශ්‍රී රතනසාර නා හිමි, වැලිවිටියේ ශ්‍රී සුගතපාල නා හිමි ආදී ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයන් වහන්සේලාගේ ශිෂ්‍ය භාවයට පත් සරණංකර සාමණේරයෝ ගමේ පන්සලෙන් මූලික අධ්‍යාපනය ලැබූහ. එවකට කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් ධර්ම විනය, ශබ්ද ශාස්ත්‍ර ප්‍රගුණ කළ සරණංකර නාහිමියෝ රාජකීය පණ්ඩිත උපාධිය හිමිකර ගත්හ. උන්වහන්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා කල්කටාවේ ශාන්ති නිකේතනය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උපාධි හිමි කර ගත්හ. වසර පහක් පමණ වූ කල්කටාවේ ගත කළ කාලය සරණංකර නාහිමියන් ගේ දිවිමගෙහි ස්වර්ණමය යුගය බවට පත්විය. එකල උන්වහන්සේ නොවැඩි පොත් හලක් කල්කටාවේ නොවී ය. කාලයෙන් වැඩිම ප්‍රමාණයක් ගත කළේ කියවීමට ය. පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි භාෂාවෙන් සන්නද්ධ වූ සරණංකර නාහිමියන් ඉතිහාසය, පුරාවිද්‍යාව හා සාහිත්‍ය විෂයයන් කෙරෙහි දැක්වූයේ විශේෂ ලැදියාවකි. ඉන්දියානු ඉතිහාසය ඉගැන්වීමට පි‍්‍රය කළ උන්වහන්සේ රතනසාර මහා විද්‍යාලය, ශ්‍රී රතනසාර විද්‍යායතන පිරිවෙන යන ආයතනවල ඉගැන්වීම් සිදු කරන ලදී.

ගමේ ඉපිද, ගමේ පන්සලේ පැවිදි වී, ධර්ම විනය මෙන්ම විශ්ව දැනුමෙන් ශක්තිමත් වූ සරණංකර නා හිමියෝ සේවය සඳහා නැවතත් ගමට වැඩම කළහ. එවකට තම විහාරස්ථ ධර්ම ශාලාවේ පැවති ඉංගී‍්‍රසි බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ සේවයට බැඳුණි. එම පාඨශාලාව පසුව රතනසාර මහා විද්‍යාලය බවට පත්විය. ශාන්ති නිකේතන වටපිටාව හා රවීන්ද්‍රනාත් තාගෝර් චින්තනය ගරු කළ සරණංකර නාහිමියන් වෙත ගා/ ශ්‍රී රතනසාර විද්‍යායතන පිරිවෙනෙහි වගකීම් පැවරිණ.

ගා / ශ්‍රී රතනසාර විශ්වවිද්‍යාල පිරිවෙණේ කීර්තිමත් කාල පරිච්ඡේදය ශ්‍රී සරණංකර නා හිමි යුගයයි. නාහිමියන් හා ඇල්බට් එදිරිසිංහ ශ්‍රීමතාණන් ගේ මිත්‍රත්වය නිසාම නාහිමියන්ගේ සේවාව පුළුල් කිරීමට හැකි විය. එහි ඉතා වැදගත් සිදුවීමක් ලෙස අක්කර හයක පමණ වූ උඩවත්ත නොහොත් වලව්වත්ත පන්සලට පුජා කිරීම සිදු කරනු ලැබුයේ ඇල්බට් මහතාගේ ධන පරිත්‍යාගයෙනි. එම ඉඩම් සම්පූර්ණයෙන් ම අධ්‍යාපන සේවාව පවත්වාගෙන යාමට භාවිත කෙරිණි. ගා/ ශ්‍රී රතනසාර පිරිවෙනේ සේවය ප්‍රදේශයට ගමට පමණක් සීමා නොවී ය. 1950 දශකය වන විට හිනිදුම් පත්තුව, මොණරාගල අම්පාර ආදී ඈත ප්‍රදේශවල ගිහි පැවිදි සිසුන් ට නේවාසිකව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දුණි. සරණංකර නාහිමියන් අංග සම්පූර්ණ පුස්තකාලයක් නිර්මාණය කිරීමට කැප විය. එමඟින් ශාස්ත්‍රාලෝක ලබගන්නෝ බොහෝ ය. එය ලංකාවේ මුල්ම ජංගම පුස්තකාලය විය. එමගින් විශාල පිරිසකට පොතපත කියවීමට හැකි විය. එවකට ගිංගඟේ ජල ගැලීමෙන් පීඩාවට පත් මහජනයා වෙනුවෙන් එකල උන්වහන්සේ සිදුකළ සේවාව වැඩිහිටි බොහෝ දෙනා දන්නා කරුණකි.

සරණංකර නාහිමියන් ජාතක පොත ‘සද්ධර්ම රත්නාවලිය’ පූජාවලිය ආදියෙන් පෝෂණය වූ සිංහල සංස්කෘතියෙහි උදාරත්වය හුවා දැක්වීමට හැමවිට ම උත්සාහ දැරූහ. ඒ සඳහා පොතපත ලියූහ. වියත් ලෙස දේශනා කළහ. දුටුගැමුණු, අනගාරික ධර්මපාලාදී ශ්‍රේෂ්ඨ වීරවරයන්ගේ චරිත ලියා පළ කළහ. රාජ්‍ය සම්මාන ලත් ‘බුදුහාමුදුරුවෝ් ග්‍රන්ථය මෙතෙක් හෙළබසින් ලියවී ඇති විශිෂ්ටතම ග්‍රන්ථය බවට පත්ව ඇත.

ධර්මසේන හිමි සද්ධර්ම රත්නාවලිය සරල බසින් ලියූ සෙයින් අප නාහිමියෝ බුදුන්වහන්සේගේ බුදු සිරිත සරල බසින් ලියන ලදී. උන්වහන්සේ තුළ වූ ප්‍රතිභා ශක්තියත් ත්‍රිපිටකය පිළිබඳ හසල දැනුමත් තේරුම් ගැනීම පහසු ය. ඊට අමතරව ආනන්ද හාමුදුරුවෝ කෘතියද රචනා කරන ලදී. මෙම කෘති පරිශීලනයේ දී මහා කවි භධන්තාචරිය අශ්වඝෝෂ හිමියන් සිහිවන්නේ උන්වහන්සේ තරම් චිත්ත රූප මවමින් සිය නිර්මාණ ඉදිරිපත් කර ඇති නිසා ය.

විහාරාධිපති පදවියට පත්වීමෙන් පසු බද්දේගම ගණේගම රතනගිරි පුරාණ විහාරය, දුටුගැමුණු චරිතය අඹා සිතුවමට නඟා තොරතුරු ලියා ‘දුටුගැමුණු රජමහා විහාරය’ යනුවෙන් නම් කරන ලදී. එය දෙස් විදෙස් දනන්ගේ බොහෝ ආකර්ශනය බවට පත් කරන ලදී.

සිල්වත් ගුණවත් උගත් ශ්‍රේෂ්ඨතම යතිවරයන් වහන්සේ නමක් වූ ගාලු කෝරලයේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත ගණේගම ශ්‍රී සරණංකර නාහිමියන් ගමටත්, රටටත්, සම්බුද්ධ ශාසනයටත් භාෂා සාහිත්‍යයටත් අමරණීය සේවාවක් සිදුකළ ශාසන ඉතිහාසයේ වැඩ විසූ ශ්‍රේෂ්ඨතම සංඝ පීතෘවරයන් වහන්සේ නමකි.

නාහිමියන් අපවත්වී 2018 දෙසැම්බර් 29 දිනට වසර 29 ක් ගත වේ. උන්වහන්සේගේ ගුණ සිහි කරමින් පින්කම් මාලාවක් පැවැත්වේ.