Print this Article


සම්බුදු දහම නිවැරැදිව ප්‍රගුණ කරමු

සම්බුදු දහම නිවැරැදිව ප්‍රගුණ කරමු

බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුණා යැයි කියමින් ඇතැම් ස්ථානවල පිරිසක් දේශන පවත්වමින් යනවා. තව කොටසක් මෙච්චර කාලයකට අපි අහලාවත් නැති, අදහස් ඉදිරිපත් කරමින්, බුදුබණ විකෘති කරලා කියනවා.

ඒ අතර ඇතැම් ස්වාමීන් වහන්සේලා, තවත් ස්වාමීන් වහන්සේ විවේචනය කරනවා, මේ හැමදෙනා එක්කම යන ගිහි පිරිසකුත් ඉන්නවා, මේ විදියට ගියොත් ධර්මයට මොකද වෙන්නේ? වැඩි කාලයක් යන්නට කලින් බුද්ධාගම නැතිවෙලා යයි’ මෙලෙස හිතන, එමෙන් ම කියන විශාල පිරිසක් රටතුළ සිටින බව පෙනෙයි, ඇතැම්විට ඔබට ද එලෙස සිතෙන්නට ඇත. එනිසා ම දහම හා දහමේ අතුරුදහන් වීම පිළිබඳ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ අදහස් ස්වල්පයක් ගෙනහැර දැක්වීම යෝග්‍ය යැයි සිතුවෙමි.

ධර්මය ලෙස අප සලකන්නේ සුත්ත, ග්‍යෙය, වෙය්‍යාකරණ, ගාථා, උදාන ඉතිවුත්තක, ජාතක, අබ්භුතධම්ම, වෙදල්ල යන නවාංග ශාස්තෘ ශාසනයයි. ත්‍රිපිටකය තුළ ඇතුළත් ව ඇත්තේ මෙම නවාංග ශාස්තෘ ශාසනයයි. එනම්, අප ධර්මය ලෙස සැලකිය යුත්තේ ද ත්‍රිපිටකයයි. ධර්මයේ අතුරුදහන්වීම, පිරිහීම පිළිබඳ හේතු දක්වන තථාගතයන් වහන්සේ, ‘ඉධ භික්ඛවෙ භික්ඛු ධම්මං න පරියාපුනන්ති සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං උදානං ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං අයං භික්ඛවෙ පඨමො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති’ යනුවෙන් සඳහන් කරන්නේ ධර්මය පිරිහෙන, අතුරුදහන් වන පළමු හේතුව, භික්ෂූන් වහන්සේ නවාංග ශාස්තෘ ශාසනය නිවැරැදිව ප්‍රගුණ නොකිරීම බවයි. එයින් ධර්මය යනු නවාංග ශාස්තෘ ශාසනය ම බවත් පැහැදිලි වෙයි.

වරක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි කිම්බිල තෙරුන් වහන්සේ බුදුරදුන්ගෙන් ප්‍රශ්න කළේ, ඔබ වහන්සේගේ පිරිනිවීමෙන් පසු ධර්මය චිරස්ථායී නොවේ ද? අතුරුදහන් වේ ද? නැතිවයා ද? එසේ නොවේනම්, ඊට හේතු කාරණා මොනවා ද? යන්නයි, බුද්ධ පරිනිර්වාණය සමඟ ධර්මයේ අතුරුදහන්වීමක් සිදු නොවන බව පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ, ධර්මයේ නැවැත්මට, අතුරුදහන්වීමට බලපාන හේතු පහක් ඉදිරිපත් කරති.

එනම් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස තම ශාස්තෘවරයා කෙරෙහි ඇති විශ්වාසය, පිළිගැනීම හා ඇසුර අත්හැරීම පළමු හේතුවයි. දෙවන හා තෙවන හේතු වන්නේ සද්ධර්මය කෙරෙහි හා ආර්ය සංඝයා කෙරෙහි ඇති විශ්වාසය, පිළිගැනීම හා ඇසුර නැතිවීමයි. දහමේ උගන්වන ශික්ෂාවන් පිළිපැදීම, ප්‍රතික්ෂේප කිරීම සිව් වැන්නයි. ඊළඟ හේතුව වන්නේ සංඝයා ඔවුනොවුන් අතර සමගිය නැති කරගෙන, එකිනෙකා විවේචනය කරමින්, චෝදනා කරමින් කටයුතු කිරීමයි. අංගුත්තර නිකාය පංචක වග්ගයේ කිම්බිල සූත්‍රයේ එන මේ කරුණුවලට අනුව, ධර්මය පැවතිය යුත්තේ මිනිස් සිත් සතන් තුළ බවත්, දහමට අනුව මිනිසුන් ජීවත්වනතුරු දහම විනාශ නොවන බවත් පැහැදිලි වෙයි.

වර්තමානයේ බොහෝවිට කෙරෙන්නේ දහම සිත්හි දරා ගැනීම වෙනුවට ධර්මය සුරක්ෂිත කිරීමට යැයි කියා, ලක්ෂ ගණන් මුදල් වැයකොට බණපද ගල්වල කොටා තැබීම, පොත්වල ලියා තැබීම, සංයුක්ත තැටිවල ගබඩකාර තැබීම වැනි ක්‍රියා මාර්ගවලට අවතීර්ණ වීමයි. ඒවා විනාශ කර දමන්නේ ද ධර්මයෙන් ඈත් වූ මිනිසුන් විසින් ම ය.

පළමු හා තතිය සද්ධම්ම, සම්මොස සූත්‍රවල ඇතුළත් කරුණු අතරත් ධර්මයේ පරිහානියට හේතු වශයෙන් තවත් කරුණු කීපයක් දැක්වෙයි. භික්ෂූන් වහන්සේ සකසා ධර්මය නො ඇසීම, සකස්කොට දහම් නොහැදෑරීම, මනාව නොදැරීම, නිසි පරිදි අරුත් පිරික්සා නොබැලීම හා දහමට අනුව නොහැසිරීම ද, නිවැරැදි ලෙස දහම වටහා නොගෙන අන්‍යයන්ට අධර්මය, ධර්මය යැයි දේශනා කිරීම ද? නවක හා මධ්‍යම ප්‍රමාණයේ ස්වාමීන් වහන්සේලාට ධර්මධර ස්වාමීන් වහන්සේලා නිවැරැදි දහම නූගැන්වීම ද ධර්මයේ විනාශයට හේතු වේ යැයි උක්ත සූත්‍රවලින් පෙන්වා දී තිබේ. ඒ අනුව ධර්මය විකෘති කොට කීම, විවිධ අරුත් දැක්වීම හා ඒවා ප්‍රසිද්ධ කිරීම, නිසි පරිදි ධර්මය නොහැදෑරීම ත්, තම මතය සනාථ කර ගැනීමට ඇතැම් ස්වාමීන් වහන්සේලා වෙනත් ස්වාමීන් වහන්සේලා හෙලා දකිමින් විවේචන ඉදිරිපත් කිරීම ත්, ජනතාවට නිවැරැදි ලෙස දහම සන්නිවේදනය නොකිරීම ත් වැනි හේතු පුද්ගල පරිහානියට මෙන් ම ධර්මයේ පිරිහීමටත් ප්‍රබල බලපෑමක් ඇති කරවන බව කිව හැකි ය. දහම සුරක්ෂිත කර ගැනීමට හිතන හැම දෙනාම කළයුතු වන්නේ නිවැරැදි ව දහම වටහාගෙන, සිත්හි දරා ඒ අනුව තම චර්යාව හැඩගසා ගැනීමයි. අන් අයට ඇඟිල්ල දිගු නොකොට තම තමන් දහමට අනුගත වනවිට දහම සුරැකෙනු ඇත.