Print this Article


දහම් මගට පිවිසීම

දහම් මගට පිවිසීම

පින්වතුනි, අද මා ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සූත්‍ර දේශනා අතර ඉතා උතුම් සූත්‍ර දේශනාවක්. මේ වගේ සූත්‍රයක් මේ මොහොතේ දී මා ඔබට දේශනා කිරීමට හේතුව කුමක්ද? මෙම සූත්‍රය ඉගෙන ගැනීමෙන්, ධාරණය කර ගැනීමෙන් ඔබට අත්වන ප්‍රතිඵලය කුමක්ද? ආනිසංසය කුමක්ද? යන කරුණු සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදු කරමින් ම දේශනාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. වර්තමානයේ ඇතැම් භික්ෂූන් වහන්සේත්, සමහර ගිහි අයත් තමාට අවශ්‍ය ආකාරයට ධර්ම විවරණයන්හි නිරත වෙන බව අපට නිතර අසන්නට, දකින්නට ලැබෙනවා .

ඒ නිසා එවැනි විවරණයන් සහ වැරැදි විග්‍රහයන් කරන මේ මොහොතේ දී ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවෙන්, තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කරන, බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියල දෙන්නට උත්සාහ කරන ස්වාමීන් වහන්සේලා හැටියට අපට යුතුකමක් හා වගකීමක් තියෙනවා. අපේ පින්වත් ජනතාවට සැබෑම ධර්ම කරුණු කියා දීමට.

නූතන ශ්‍රී ලාංකික ජන සමාජය තුළ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ධර්මය යටපත් කරමින් පෞද්ගලික මත ඉස්මතු කරමින්, තමා ධර්මය අවබෝධ කළ බව කියමින් අහිංසක ජනතාව රවටන සාවද්‍ය රහත් පිරිසකුත් පහළ වෙලා ඉන්නවා. ඒ බව නුවණැති බුද්ධිමත් අය දැනටමත් දන්නවා. ඔවුන් පවසන්නේ “අපි ධර්මය අවබෝධ කරල ඉන්නේ රහත් වෙලාඉන්නේ. මේ ජීවිතයේ දී ම තමයි රහත් වෙන්නට ඕනේ. දිව්‍ය ලෝකයට යාම ඵල රහිත වැඩක්. දිව්‍ය ලෝකවලට ගිහිල්ල කරන්න පුළුවන් මොකක්ද? මේ වගේ කතා විශාල වශයෙන් පතුරවන කාලයකයි අද අපි මේ ජීවත් වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා දිව්‍ය ලෝක හයක් පිළිබඳව. ඒ තමයි චාතුර්මහාරාජිකය,තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරති, පරනිම්මිත වසවර්ති ආදි දිව්‍ය ලෝක. ඒත් සමහර අය කියන්නේ මේ දිව්‍ය ලෝකවලට ගිහිල්ලා මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ කියලයි. බොහෝ විට එවැනි අදහස් ප්‍රකාශ කරන්නේ ධර්මය අවබෝධ කළා යැයි පවසන අය විසිනුයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට දිව්‍ය ලෝකයේ ගිහිල්ලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒ සඳහා තවත් සූත්‍ර දේශනා ගණනාවක් අතරේ ඉදිරිපත් කළ හැකි උචිතම සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ චතුක්ත නිපාතයේ මහාවර්ගයේ පළමුවැනි සූත්‍රය. එය සෝතානුධත සූත්‍රයයි. යම්කිසි කෙනෙක් මේ සූත්‍රය ඉගෙන ගත්තොත් ඔහුට හැකියාව ලැබෙනවා, දේශනාවට අනුව කටයුතු කරලා තමන්ගේ විමුක්ති මාර්ගය මේ ජීවිත්යේ දී ලබා ගන්නට නොහැකි වුවත් ඊළඟ ජීවිතයේ දී දිව්‍ය ලෝකයකට ගිහිල්ලා ඒ ධර්මය අවබෝධ කරගැනීමට. එය ස්ථිර ලෙසම කළ හැකි බව මේ දේශනාව තුළින් මනාව පැහැදිලි වෙනවා. මේ දේශනාවට විරුද්ධව යම්කිසි කෙනෙක් කරුණු කියනවා නම්, කියලා තිබෙනවානම්, ඒවා පිළිගන්නවා නම් ඔහු හෝ ඇය ගිහි කෙනෙක් වීමට පුළුවන්. පැවිදි කෙනෙක් වීමට පුළුවන් . ඔහු පැහැදිලි ලෙසම බුදුරජාණන් වහන්සේට අභූත චෝදනා කරන කෙනෙක් බවට පත්වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට නිග්‍රහ කරන කෙනෙක් බවට පත් වෙනවා.

වර්තමානයේ ඇතැම් අය උත්සාහ කරන්නේ තමන්ට ගැලපෙන, වාසිදායක වන කරුණු බුද්ධ දේශනාවෙන් ඉස්මතු කරල පෙන්වල තමන්ගේ මතය ඉස්මතු කර දැක්වීමටයි. නමුත් සැබෑ බුද්ධ වචනය පැහැදිලි කරන්න ඔවුන් උත්සාහ කරන්නේ නැහැ. යම්කිසි කෙනෙක් මේ දේශනාවට විරුද්ධව කතා කළොත් බුද්ධ වචනය ඉක්මවා යාම නිසා ඒ තැනැත්තාට පැහැදිලිවම සතර අපායට යන්න වෙනවා. ඒ නිසා කෙනෙක් ධර්මය දේශනා කරන කොට බොහෝ පරිස්සම් වෙන්නට ඕනෑ. පැවිදි කෙනෙක් හෝ ගිහි කෙනෙක් වේවා ධර්මය දේශනා කරන විට තමන් නිවැරැදි අවබෝධයෙන් යුතුව පැහැදිලි කරන්නට ඕනෑ. එලෙස පැහැදිලි කළේ නැතිනම් තමාට විශාල හානියක් වෙනවා. ඒ විතරක් නොවෙයි . තමාගේ මතය පිළිගන්නා අයටත් විශාල හානියක් වෙනවා. ඒ නිසයි මා කල්පනා කළේ මේ සෝතානුධත සූත්‍රය මේ පින්වතුන්ට පැහැදිලි කරන්නට ඕනෑ කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

(සොතානුධතානං භික්ඛවේ ධම්මානං වචසා පරිචිතානං මනසානුපෙක්ඛිතානං දිට්ඨියා සූප්පටිවිද්ධානං චත්තාරො ආනිසංසා පාටිකංඛා කතමෙ චත්තාරො

යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අසා ධාරණය කරගෙන ,වචනයෙන් පුරුදු කරල, මනසින් මෙනෙහි කරල, නුවණින් අවබෝධ කරගෙන තියෙනවනම් අන්න, ඒ පුද්ගලයා ආනිසංස හතරක් කැමැති විය යුතු බව උන්වහන්සේ දේශනා කරනවා.

ඉධ භික්ඛවෙ භික්ඛු ධම්මං පරියාපූණාති සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබභූතධම්මං වෙදල්ලං තස්ස තෙ ධම්මා සොතානුධතා හොන්ති වචසා පරිචිතා මනසානුපෙක්ඛීතා. දිට්ඨියා සුප්පටිවිද්ධා සො මුට්ඨස්සති කාලං කුරුමානො අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති,තස්ස තත්ථ සුඛිනො ධම්මපදාපිලපන්ති දන්ධො භික්ඛවේ සතුප්පාදො අථ සො සත්තො ඛිප්පං යෙව විසෙසගාමී හොති සොතානුධතානං භික්ඛවේ ධම්මානං වචසා පරිචිතානං මනසානුපෙක්ඛිතානං දිට්ඨියා සුප්පටිවිද්ධානං අයං පඨමො ආනිසංසො පාටිකංඛා

පළවෙනි කොටසේ උන්වහන්සේ දේශනා කරනවා ඉධ භික්ඛවෙ භික්ඛු ධම්මං පරියාපුණාති සුත්තං

මෙය විස්තර වෙන්නේ නවාංග ශාස්තෘ ශාසනයේයි.බුදුරජාණන් වහන්සේ නමක්, දේශනා කළ සියලුම දහම් කරුණු අඩංගු වන කොටස නවාංග ශාස්තෘ ශාසනයයි. සුත්තං- යම් භික්ෂුවක් ධර්මය හදාරනවා. ඒ කියන්නේ සූත්‍ර හදාරනවා. අප දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සූත්‍ර දේශනා දාහත්දහස් හත්සිය පහක් පමණ තිබෙනවා. මේ සූත්‍ර ඉගෙන ගන්නවා.

ගෙයිය – සමහර සූත්‍ර දේශනා තියෙනවා දේශනාව අවසානයේ දී ගාථාවකින් විග්‍රහ කරනවා.

වෙය්‍යාකරණං – ගාථා රහිත දේශනා අප දන්නවා ධම්මචක්කපවත්වන සූත්‍රය ආදි දේශනා තියෙනවා. මේවා විවරණය කරමින් කරන දේශනා.

ගාථා – ඇතැම් බුද්ධ දේශනා තියෙනවා ගාථා රත්නයන් සහිතවයි විග්‍රහ කරන්නේ. උදාහරණ – රතන සූත්‍රය , මංගල සූත්‍රය

උදානං – බුදුරජාණන් වහන්සේ ඒ ඒ අවස්ථාවල සතුට පළ කරමින් කළ දේශනා සම්බුද්ධත්වයට පත් වූ පසුව උන්වහන්සේගේ ප්‍රථම උදාන වාක්‍යය එවැන්නක්.

අනෙක ජාති සංසාරං
සන්ධා විස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තො
දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨොසි
පුන ගෙහං න කාහසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා
ගහකූටං විසංඛිතං
විසංඛාර ගතං චිත්තං
තණ්හානං ඛය මජ්ඣගාති

ආදි වශයෙන් උන්වහන්සේගේ පී‍්‍රතිය පී‍්‍රති වාක්‍යයකින් පළ කරනවා. මෙවැනි දේශනා උන්වහන්සේ වරින්වර සිදු කරනවා.

ඉතිවුත්තකං – සමහර ධර්ම කරුණු උන්වහන්සේ මේ මේ ආකාරයට කියල පැහැදිලි කර දේශනා කරනවා. උදාහරණ – කුසල්, අකුසල්. මේ ආකාරයෙන් විවරණය කරල දක්වන දේශනා විශාල ප්‍රමාණයක් අපේ සූත්‍ර පිටකයේ තියෙනවා.

ජාතකං – උන්වහන්සේගේ අතීත කතාවන් පිළිබඳ කරන ලද දේශනා

අබභූතධම්මං – ආශ්චර්යවත් අද්භූත වූ කරුණු ගැන කළ දේශනා. මජ්ක්‍ධිම නිකායේ තුන්වන කොටසේ සුඤ්ඤත වර්ගයේ තුන්වැනි සූත්‍රය ඒ තමයි අච්චරිය අද්භූත සූත්‍රය. බෝධිසත්ව චරිතයේ කියැවෙන ආශ්චර්ය අද්භූත ධර්ම කරුණු ගැන දේශනා එහි තිබෙනවා.

මෙම ලිපියේ ඉතිරි කොටස උඳුවප් අව අටවක පෝදා (29 වනදා) පත්‍රයේ