Print this Article


කසළ නැති කුසල සිත

කසළ නැති කුසල සිත

“ධම්මියා කථාය සන්දස්සේයි
සමාදපේසි සමුත්තේජේසි
සම්පහංසේසි”

තථාගත බුදුරජාණන් වහන්සේ ‘සමාදපේසි' - දහම් කතාවෙහි අප සමාදන් කරවනවා. එනම් සීලයේ පිහිටා පරමාර්ථ ධර්ම අවබෝධය පිණිස අපේ සිත යොමු කරනවා. හේතූන් නිසා යම් ඵලයක් හටගත්තේ ද? ඒ හේතූන්ගේ විසිර යෑමෙන් ඵලය බැහැරව යන්නේ ය යන අදහස භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ම දේශනා කළා. එය මෙනෙහි කරන්නට මාර්ගය උන් වහන්සේ සකසා දෙනවා.

“ඛේමෝ මග්ගෝ සෝවත්ථිකො පීතිගමනීයො” යනුවෙන් පෙන්වා දුන්නේ එයයි. එනම් ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියෙන් නිදහස් වෙන්න. ඒ පිළිබඳව බියක් නැති වෙන්නට මාර්ගය සකසා දෙනවා. සුවසේ නිරාමිස ප්‍රීතියෙන් යා යුතු ගමනක් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. එහි පිහිටුවනවා. “සමුත්තේජේසි”- නැවත නැවතත් උනන්දු කරනවා. සසරේ ඇති භයානක බව පෙන්වා දෙනවා. දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ උතුම් බව පෙන්වා දෙනවා. කුසලයේ ඇති උතුම් බව පෙන්වා දෙනවා. සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන ආකාරය මතුකොට දක්වනවා. අශ්‍රැතවත් පෘථග්ජන ස්වභාවය නිසා යම් වැරැද්දක් සිදු වූවත් එයින් නිදහස් ව අවබෝධයෙන් යුක්තව ධර්ම මාර්ගයට නැවත එකතුවෙන ආකාරය භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් පෙන්වා දෙනවා.

ලෞකික ජීවිතයේ දී ගෘහස්ථව නම් ඔවුනොවුන්ට යුතුකම් කරන ආකාරය මංගල, ව්‍යග්ඝපජ්ජ, සිඟාලෝවාද ආදී සූත්‍ර දේශනාවල පෙන්වා දෙනවා. නොකළ යුතු වැරැදි, මෙලොව ජීවිතය පිරිහෙන ස්වභාවය, වසල, පරාභව ආදී සූත්‍ර තුළින් පෙන්වා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ පටන් පෙන්වා දුන්නා. එලෙසම තථාගත බුදුරජාණන් වහන්සේ සිය ජීවිතයේ අවසාන කාලයේ දී මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාවෙන් තමන් වහන්සේ අවුරුදු 45ක් පුරා දේශනා කළ ශ්‍රී සද්ධර්මය සාරාංශ කොට දේශනා කරමින් පෙන්වා දුන්නා. මේ ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් පෙන්වා දුන් ධර්මය තුළ “සමුත්තේජේසි” අප උනන්දු කළ බව පැහැදිලියි.

“සම්පහංසේසි” – ධර්මයෙන් ලබන ප්‍රහර්සය ඇතිවන ආකාරයෙන් මඟ පෙන්වනවා. එනම් ධර්මය ලැබීමෙන් නිරාමිස ප්‍රීතියක් ලබන ආකාරය පෙන්නුම් කළා. සාමාන්‍ය ලෝකයා ඇසෙන් රූප, කනෙන් ශබ්ද, ආදී වශයෙන් අරමුණු ලබා සතුටු වන්නේ. එක් ආකාරයකින් රාගය මුල් කරගෙනයි, තවත් ආකාරයකින් ද්වේෂය, ඊර්ෂ්‍යාව, වෛරය මුල් කරගෙනයි. එහෙත් නිරාමිස ප්‍රීතියට පැමිණෙන විට මේ කාමාදී අකුසල ධර්ම බලවත් ලෙසම යටපත් ව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය තුළ සැනසෙමින් වීතදෝෂව ඒ අරමුණ පරිහරණය කරන්න තරම් අවස්ථාව සැලසෙනවා.

අවසානයේ කෙලෙස් සංසිඳෙන ස්වභාවයට පත්වෙනවා. එතනයි ‘සම්පහංසේසි’ ධර්මයෙන් ලබන සැනසිල්ල, ප්‍රහර්සය. එසේ නම් තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් දැක ගන්නට ආරාධනා කරනවා. එය ම උතුම් වූ සම්බුද්ධ පූජාව හැටියට දැක ගත හැකියි. ඔබ ඔබගේ නුවණින් ම තවදුරටත් දැක විවරණය කර ගන්න. විමසා ගන්න.

භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් කතාවක් දේශනා කර, එහි පිහිටුවා, ඒ වෙනුවෙන් ශ්‍රාවකයන් උනන්දුකරවමින්, ඵලය ලෙස ධර්මයෙන් ලබන සුවයත්, සැනසිල්ලත් පෙන්නුම් කරනු ලැබුවා. මේ අවස්ථාව ධර්මයේ පැහැදිලි කරන්නේ කල්ලචිත්ත, මෘදු චිත්ත, විනීවර්ණ චිත්ත, පසන්න චිත්ත, උදග්ග චිත්ත යනුවෙනි.

භාග්‍යවතුන් වහන්සේ දහම් කතාවක් දේශනා කරමින්, ශ්‍රාවකයන් එහි සමාදන් කරවමින්, උනන්දු කරවූවා. ඵලය ලෙස ධර්මයෙන් ප්‍රහර්සයක් ලැබෙන විට කල්ල චිත්තයක් සකස්වෙනවා. කල්ල චිත්ත යනු කෙලෙසුන්ගෙන් බැහැර වීම නිසා ලබන නිරෝගී වූ සිත යන අදහසයි. රාගය හෝ දැඩි ලෝභය හෝ ඇති වූ සිතක් කෙලෙසුන්ගෙන් එනම්, ආශ්‍රවයන්ගෙන් ගිලන් වූ, දුගඳ හමන සිතක් හැටියට සඳහන් කරන්න පුළුවනි. කල්ල චිත්තය සකස් වූ විට කෙලෙස් සංසිඳීම හෝ පළමු අවස්ථාවේ දී කෙලෙස් තදංග වශයෙන් යටපත් වීමෙන්, නිරෝගී සිත, කුසල සිත ඇතිවෙන්නට පුළුවනි. රාගාධි කෙලෙසුන් හි මුඵමනින් ම බැහැරවීමෙන් කල්ල චිත්තය හෙවත් කුසල් සිත සම්පූර්ණ වනවා. කල්ල චිත්තයෙන් අනතුරුව මෘදු චිත්තය සකස් වෙනවා.

දහම් කතාවෙන් සුවපත් ව කෙලෙස් හි සංසිඳීමෙන් සිත කුසල්බවට පත්වෙන විට, ඒ සිත මෘදු සිතක් බවට පත්වෙනවා. දැඩි ආශාව, තරහව, අමනාපය, වික්ෂිප්තභාවය වැනි අකුසල් සිතිවිලි පවතින විට සිත ථම්භ බවට පත් වෙනවා. එනම් අකුසලය තුළ දැඩි බවට පත්වෙනවා. එසේ දැඩි බවට පත් වූ සිත ඕනෑම වරදක්, නපුරක් කරන්නට යොමුවෙනවා. ඒ නිසා මෘදු චිත්තයක් සකස්වන විට කරුණාවෙන් සිසිල් වූ, මෛත්‍රී දිය දහරාවෙන් තෙත් වූ සිතක් හා ඇවතුම් පැවතුම් ඇති අයෙක් බවට ශ්‍රාවකයෙක්, ශ්‍රාවිකාවක් බවට පත්වෙනවා.

විනීවර්ණ චිත්ත – කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ද, උද්දච්ඡකුක්කුච්ඡ, විචිකිච්ඡා නම් වූ නීවරණ ධර්මයන්ගෙන් බැහැර වූ සිතක් ඇති අයෙක් බවට පත්වෙනවා. කාමයන් හි ඇති ආදීනවය දැක “ඕකාරං සංකෙලේසෝ” යන ස්වභාවයට පත්වෙනවා. එනම් රාගාධි කෙලෙසුන් හි ඇතිවන පිළිකුල් ස්වභාවය, කිලිටි ස්වභාවය බැහැර කොට ඒ සිත දහම් මඟ අවුරන බාධාවලින් ඉවත් වෙනවා. දහම් මඟ අවුරන කරුණුවලින් ඉවත් වෙනවා. කාමච්ඡන්දය, දහම් මඟ පරමාර්ථ ධර්ම අවබෝධය,නිවන අවුරන හෙවත් වළක්වන කරුණයි. විනීවර්ණ චිත්තයේ දී ඒ බව ඉවත්ව කෙලෙස්වල ඇති භයානක බව තේරුම් ගෙන, සම්මතය තුළ සීලයේ පිහිටා කටයුතු කළත් පරමාර්ථ වශයෙන් සියල්ල හේතූන්ගෙන් හටගත් බවත්, හේතූන් විසිර යෑම නිසා ඒ ඵල විපාක ඉවත්ව යන බවත්, නැතිව යන බවත් අවබෝධයෙන් කාමච්ඡන්දයෙන් බැහැර වෙනවා.

ව්‍යාපාද හෙවත් තරහවෙන් බැහැරවෙනවා. ව්‍යාපාදය නම් තරහව හටගත් සිත මොනතරම් භයානක දැයි පැහැදිලියි. ද්වේශ සහගත සිත නිසා පුද්ගලයා පටිඝය, ක්‍රෝධය, වෛරය, බද්ධ වෛරය, පලිගැනීම ආදී වශයෙන් උපක්ලේශයන්ගෙන් පිරිපුන් අයෙක් බවට පත්වෙනවා. මේ පිරිපුන් බව යහපතට නොව ධර්ම මාර්ගය ද අහුරා දුගති මාර්ගය විවෘත කරනවා. එය අපමණ දුක් දෙන ස්වභාවයක්. ඒ නිසා ව්‍යාපාදය නම් වූ දහම් මඟ අහුරන අවස්ථාවෙන් බැහැරවෙනවා. ‘ථීනමිද්ද’ නම් චිත්ත චෛතසිකවල හා ගතෙහි ඇතිවන මලානික ස්වභාවයයි. එනම් ධර්ම මාර්ගයට උනන්දු නො වීමයි. ‘උද්දච්ඡකුක්කුච්ඡය’ නම් සිතෙහි ඇතිවන නොසන්සුන් බව හා විසිර යෑමයි. ඇවිස්සී ගිය අළුගොඩක් හරියට උද්දච්ඡකුක්කුච්ඡය යෙන් යුතු සිතක් සේ ය. සංසිඳුණු දිය දහරාවක්, නිසල විලක් සංසුන් වූ මනසක ස්වභාවයට උපමා කොට ගත හැකි ය.

‘විචිකිච්ඡා’ නම් බුද්ධාදී අටතැන් හි සැකයයි. සත්‍ය, ධම්මවිජය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා නම් වූ සප්ත බොජ්ඣංග ධර්ම වැඩෙන පිළිවෙලට සැකය බැහැර ව සක්ඛායදිට්ඨිය බැහැර කරන ස්භාවයට සිත යොමු කළ යුතුයි. විචිකිච්ඡාව යම් තැනක පවතින්නේ ද, ධර්ම මාර්ගය මුළුමනින් ම වැසී යනවා. “හතරමං හංදියකට පැමිණි, මඟ නොදන්නා අයෙකුට මංමුලාවීමට ඇති අවස්ථා බහුල සේ ය. විචිකිච්ඡාවෙන් යුතු පුද්ගලයාට ධර්ම මාර්ගය ඇහිරී යන අතර බෝධි අංග වඩා ගැනීමට ඇති අවස්ථා ඈත්වෙනවා. බැහැරවෙනවා. මේ නිසා විනීවර්ණ චිත්තයක් සකස්වෙන විට නීවරණ ධර්ම බැහැර වී, දහම් මඟ අහුරන බාධක ඉවත් වී, නිවැරැදි මඟ මතුවෙන්නට පටන් ගන්නවා. මෙය ධර්මයේ හඳුන්වන්නේ “මග්ග සම්මා දිට්ඨි” හැටියටයි. නියම ආකාරයෙන් මාර්ගය අනුගමනය කිරීමට සම්මා දිට්ඨිය සකස්වීම යන අදහසයි.