Print this Article


තරහට අභියෝගයක්

තරහට අභියෝගයක්

අප දවස ගත කරන ආකාරය මොහොතක් සිතීමට පුරුදු වීම හරි ම වැදගත් භාවනාවක්. බුදුරජාණන් වහන්සේ භික්ෂු ජීවිතය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා නිතර මෙනෙහි කිරීමට අවශ්‍ය කරුණු දහයක් දේශනා කරන අවස්ථාවක එනම්, දසධම්ම සූත්‍රදේශනාවේ දී පෙන්වා දෙනවා.

“මහණෙනි, ඔබ විමසිලිමත් වෙන්න අවශ්‍යයි, ඔබේ දවාල හා රාත්‍රී කාලය කොහොම ද ගෙවී යන්නේ කියලා.

මෙයින් අදහස් කරන්නේ, අප ගත කරන හැම දවසක් ගානේ ම හිතන්නට, විමසන්නට, සිහියට නගා ගන්න ඕන තමන් දවස ගත කරන ආකාරය පිළිබඳ ව. මෙය ඇත්තෙන් ම සිහියෙන් ජිවත්වීම කියා කියන්නත් පුළුවනි. මෙහෙම හිතන්න පුරුදු වුණොත් තම තමන්ට වැටහෙනවා ඒ ඒ කරුණෙහි දී තමන්ගේ හිත ක්‍රියා කරන ආකාරය. මූලික වශයෙන් බැලුවොත් හිතට ආශාවන් ගලා ගෙන එන ආකාරය. ඒ වගේ ම තරහ, වෛරය උපදින ආකාරය, අනුවණ සිතිවිලිවලින් සිත වසා සිටින ආකාරය. ඉතින් අපි අද මොහොතක් විමසා බලමු අපේ සිත ක්‍රෝධයෙන් රත්වන ආකාරය. මේ ක්‍රෝධයට අපි සාමාන්‍යයෙන් භාවිත කරන හුරුපුරුදු වචනයක් තමා “තරහ” කියන වචනය.

තරහ යන්නට ධර්මයේ සඳහන් වෙනවා “ආඝාත” කියන වචනය. සූත්‍රපිටකයේ සඳහන් වෙනවා ආඝාත විනය කියලා සූත්‍ර දෙකක් ම. ධම්මපදයෙහි මේ ආඝාත, ක්‍රෝධය, වෛරය, තරහ ගැන කියැවෙන වර්ගයක් වෙන් කරලා තිබෙනවා ”කොධවග්ගය” කියලා. මොන වචනයෙන් පෙන්වා දුන්නත් තරහා හෙවත් ක්‍රෝධය සිත කිලිටි කරන භයානක අකුසල සිතිවිල්ලක්. එසේත් නැතිනම් භයානක අකුසල සිතිවිලිවලින් එකක්. දවස ගතකරන හැටි සිත පිහිටුවා ගෙන බැලුවොත් දවසේ කීවරක් අපේ හිතට මේ භයානක තරහා කියන අකුසල සිතිවිල්ල බලපැවැත්වෙනවා ද කියන එක වටහා ගන්නට හැකියාව තිබෙනවා.

සමහරු ඒ ඒ අවස්ථාවල කියනවා “මට ඒ වෙලාවේ හරි ම තරහක් ආවේ. මට ම හිතා ගන්න බැරුව ගියා මම මේ කොහෙද ඉන්නේ කියලාවත්.” ඉතින් මෙහෙම තරහ එන්නේ ඇයි? තමන් කැමැති දෙය, බලාපොරොත්තු වන දෙය ඉටු නො වෙන විට හිතට තරහ එනවා. ඒ වගේ ම තමා තමන් නො කැමැති දෙයක්, අපේක්ෂා නො කරපු දෙයක් තමන්ට ලැබෙන කොටත් තරහක් එනවා. ඉතින් හොඳට කල්පනා කරලා බැලුවොත් මේ සිතිවිලි වෙනත් වෙනත් හේතු කරුණු එකතු වෙලා පෝෂණය වෙන කොට එය සිය දිවි නසා ගැනීමක්, තවත් අයෙකුගේ ජීවිත හානියක් දක්වා දියුණු වෙලා යන්නටත් හැකියාව තිබෙනවා. එහෙම නම් මේ කෝපය හෙවත් ක්‍රෝධය කොතරම් හානිකරද කියලා සිතීම ඉතා වැදගත් වෙනවා.

බොහෝ අවස්ථාවල අපේ සිතට කෝපය, තරහව ඇති වන්නේ සිහිය පිහිටුවා දවස ගත නො කරන නිසා. එහෙම සිහිය පිහිටුවා ගත්තොත්’ මෙහි ආදීනව දැකලා කෝප නො වී සිටීමට ඉබේ ම අපේ සිත් සතන්හි උත්සාහයක් ඇති වෙනවා.

කෝපයට විරුද්ධ සිතිවිල්ලට කියනවා ”අක්‍රෝධය” හෙවත් මෛත්‍රිය කියලා. අපි බොහෝවිට කෙනෙකු සමඟ උරණ වන්නේ, තරහක් ඇති කරගන්නේ අප කැමැති දෙය ඒ අයගෙන් ඉටු නො වන නිස යි. එවිට අපි ඔහු කෙරෙහි තරහක් ඇති කර ගන්නවා. මෙය පුහුදුන් ගතියක්. මෙහි දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ක්‍රෝධය නැති කරන එකම මග වන්නේ අක්‍රෝධය හෙවත් මෛත්‍රිය ඇති කර ගැනීම බවයි. මෙය හරි ම දුෂ්කර වැඩක්. අපි වඩාත් හිතවත්ව යම් අයෙකු සමග කටයුතු කරලා, යම් වෙලාවක ඔහු සමඟ විරුද්ධවාදි කමක් ඇති කර ගත්තොත් අපට පෙනෙන්නේ හැම විටම ඔහුගේ වැරැදි මයි. එතැනදී අපි පුරුදු වෙන්නට අවශ්‍යයි ඔහුගේ වැරැදි වගේ ම ඔහු සමඟ කටයුතු කරමින් හිතවත් ව සිටි කාලයේ ඔහු විසින් කරන ලද, කියන ලද හොඳ යහපත් දේත් තියෙනවානේ. ඒවා ගැනත් හිතන්න පුරුදු වුණොත් අර ඔහු සමඟ ඇති වුණු තරහ තුනී වෙලා මෙත් සිත ඇති වෙන පැත්තට හිත ගමන් කරනවා. ඒ නිසා බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙනවා ක්‍රෝධය නැති කරගන්න හෙවත් එය දිනන්න මෙත් සිත ම දියුණු කරගතයුතු බව. “අක්කොධෙන ජිනෙ කොධං” යනුවෙන් දේශනා කළේ මේ කාරණය යි. ක්‍රෝධය ඇති වන සිතිවිලි පහළ කර ගන්නා තැනැත්තා මෙත් සිත ඇති කර ගැනීමෙන් ම ඒ ක්‍රෝධය ජයග්‍රහණය කළ යුතු වෙනවා කියන අදහස යි. මෙය හරියට ජලයෙන් ගින්න මැඩ පවත්වා ගන්නා ආකාරය පෙන්වන්නාක් මෙන් ය.

මේ පිළිබඳ හොඳ බණකථාවක් අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ වාසය කරන කාලයක පුණ්ණ නමින් දුගියෙක් ජිවත් වුණා. මේ තැනැත්තා උසස් කුලවන්තයෙක් වුවත් දුප්පත් අයෙක්. ඒ වුණත් හරි ම ශ්‍රද්ධාවන්ත යි. ඔහුගේ භර්යාව ද බොහොම සැදැහැති තැනැත්තියක්. උත්තරා නම් දුවක් ද වූවා. දවසක් දා සැරියුත් මහරහතන් වහන්සේ සතියක් පුරාම රහත්ඵලසමවත් සුවයෙන් වැඩසිට එය අවසන් වී, මේ දුගී දුප්පත් කුලවතාගේ සැදැහැසිත නිසා එයින් ඔහුට ඇතිවන මහත් වූ ලාභය තේරුම් ගෙන වදාරා එම දුගියාගේ දානයක් පිළිගැනීමට ඔහුගේ නිවසට වැඩම කළා. ඒ විදිහට දුගියා දුන් දානයේ විපාක මොලොව දී ම ලබමින් මේ දුගියා මහත් සැපතකට මෙන් ම ධනයකට ද හිමිකම් ලබා ටික කලකින් ම ”බහුධන සිටුවරයා” යයි ප්‍රසිද්ධ වුණා. එමෙන් ම නැවත සිය නිවසට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ වැඩමවා මහ දනක් දුන්නා. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දෙසූ බණ අසා සිටුවරයාත්, බිරියත්, උත්තරා නම් දුවත්, සෝවාන් වුණා. මේ අවදියෙහි ම රජගහනුවර “සුමන සිටුවරයා” තමන්ගේ පුතණුවන්ට බහුධන සිටුවරයාගේ දුව සරණපාවා ගැනුමට යෝජනාවක් ද ඉදිරිපත් කළා. මේ යෝජනාවට එම දුවත් බහුධන සිටුවරයාත්, බිරියත් කැමැති වුණේ නැහැ. එයට හේතුව වුණේ මේ පුතණුවන් තදබල මසුරු අයෙකු වීමත්, සැදැහැ නැති අයෙකු වීමත් නිස යි. ඒ වුණත් තමා දුගී බවට පත් ව සිටි කාලයේ සුමන සිටුවරයා තමන්ට කළ උදව් උපකාර සිහි කළ බහුධන සිටුවරයා තමන් තුළ බලපැවැත්වෙන නො කැමැත්ත යටපත් කරගෙන අවසානයේ දී විවාහයට එකඟ වුණා. උත්තරා දුව විවාහ කර දුන්නා.

උත්තරාව ඉන්පසු ගත කළේ සිරගෙයක හුන් විලසට යි. පිනට දහමට යොමු වීමට ඉඩක් ලැබුණේ නැහැ. මේ අවස්ථාවේ ඇය සිරිමා නම් ගණිකාව නිවසේ කටයුතු ඉටු කරවිමට යොදා ගත්තා. එවිට උත්තරා කල්පනා කළේ සිරිමාව සිටු මාළිගාවේ තබා තමන් පුළුවන් තරම් පින්කම් කටයුතුවල යෙදීමට යි. එහෙම වුණත් සිරිමාව එතැන් සිට ම කළේ උත්තරාවට හතුරුකම් ම තමා. ඒත් උත්තරා ඒ කිසිවකට කම්පා නො වී සිරිිමාවට මෙත් වැඩුවා. අන්තිමට උත්තරාවගේ ඉවසීමේ ගුණය හා ඇයගේ මෙත් සහගත වචන මෙන් ම හැසිරීම ද ගැන තේරුම් ගත් සිරිමා උත්තරාවගෙන් සමාව ගැනීමට ද ක්‍රියා කළා. ඒ වගේ ම උත්තරාවගේ කල්‍යාණ මිත්‍ර ගතිසිරිත් ගැන පැහැදුණු සිරිමා ඇයගේ සහාය ද ලබා ගෙන දනට පිනට යොමු වුණා. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහසඟනට දන් දෙන්නට ද යොමු වුණා. සිරිමාව උත්තරාවට අතිශයින් ප්‍රශංසා කරන්නට ද යොමු වුණා. ඉතින් මේ තත්වය දැනගත් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ට ක්‍රෝධ කරන තැනැත්තාට තමා ක්‍රෝධ නො කිරීමෙනුත්, නපුරු ක්‍රියාකාරකම්වල යෙදෙන තැනැත්තාට සමාජයට හිතකර ක්‍රියාවන්හි යෙදීමෙනුත්, තද මසුරු ගතියෙන් පෙළෙන තැනැත්තා නිරන්තරයෙන් දනට පිනට යොමු කරවීමෙනුත්, බොරුවෙන් වංචාවෙන් ජීවත්වන තැනැත්තා අව්‍යාජ නිවැරැදි ක්‍රියාකාරකම්වල යෙදෙන ආකාරයට පරිසරය නිර්මාණය කිරීමෙනුත් සියල්ල ජයග්‍රහණය කළ හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අවස්ථාවේ දී සිරිමාව ඇතුළු බොහෝ සේවිකාවෝ සෝවාන් ඵලයටත් පත් වුණා.

මෙහි දී ඉතා වැදගත් වන්නේ උත්තරාව ක්‍රියා කළ ආකාරය යි. සිරිමාව උත්තරාවට වෛර කරමින් තමන් විපතට පත් කරන්නට වෑයම් කරද්දීත් උත්තරා ඒ පිළිබඳ තමන්ගේ පුහුදුන් බවට අනුව එක්වර ම නැගී ආ ක්‍රෝධ සිතිවිලි ඇය පාලනය කර ගත්තේ සිහියෙන් යුක්තව ක්‍රියා කිරීමෙන්. ඒ වගේ ම තමා ඇය මේ වෙනකොටත් බුදුබණ අනුව ජිවිතය ගොඩ නගා ගැනීමට උත්සාහවත් වන කාන්තාවක්. ඇය බෞද්ධ උපාසිකාවක්. ඇයට සිරිමාව කරන කෙනෙහිලිකම් පිළිබඳව, බුදු බණ අනුව වෛරීව ක්‍රියා කිරීමට තරම් සුදුසු නො වන බව ඇය වටහාගෙන තිබුණේ. ඒ නිසා ඇය බුදුබණ ඇසුවා පමණක් නොවේ. ඒ දහම අනුව ක්‍රියා කරන ධර්මචාරිණියක් ව යි හිටියේ. ඇය කල්පනා කළේ ක්‍රෝධ කිරීම නොව හැමවිට ම මෙත් සහගත සිතිවිලිවලින් යුක්තව ජිවත් වීමට යි, යම් අයෙක් තමන්ට ක්‍රෝධ කළත් ඇයගේ වෙනසක් නැහැ. එහි ප්‍රතිඵලය කුමක් ද? ඇය ධර්මානුකූලව ජීවත් වන තැනැත්තියක් නිසා ඇය ධර්මය විසින් රැකෙන කාන්තාවක් බවට පත් වී සිටියා. ඇයට විරසක කරන අය අවසානයේ ඇය තේරුම් ගෙන ඇයගේ දෙපාමුල වැටී සමාව අයදින තත්වයට පත් වුණා. මේක තමා ධර්මයෙන් ලොව ජයග්‍රහණය කරනවා කියන කථාවේ අදහස. අප හැම විටම මෙත් සිතින් යුක්තව ජිවත් වෙනවා කියන සුභවාදි තත්වයට පත් විය යුතු වෙනවා, එනම් අද කවුරුත් කථා කරන ධනාත්මක චින්තන රටාවට යොමු වීම යි. මෙහි අදහස අපි හැමවිට ම සිහියෙන්, අවධියෙන් යුතුව ජිවත් වෙනවා කියන අදහස යි.