Print this Article


බිහිසුණු අපාය: පින්කමක් වැළකීම විශාල පාපයක්

බිහිසුණු අපාය:

පින්කමක් වැළකීම විශාල පාපයක්

ධර්මයේ සඳහන් සේ එක්තරා මනුස්සයෙක් ජීවිත කාලයේ ම ගව ඝාතනයෙන් නරකාදියට වැටී අපමණ දුක් විඳිනවා. නඩු විභාග ආදිය කිසිවක් නැහැ. යමපල්ලන් ඇද ගෙන ගොස් ගෙල සිඳ දමනවා, අතපය කපා දමනවා. දෑස , සම ගලවනවා. මෙතරම් දරුණු දුක් හමුවේ කෑ කෝ ගසා විළාප නැඟුව ද බේරා ගන්න කිසිවකු නැහැ. නැවත සිරුරේ කොටස් එක් වුව ද නැවතත් එසේ ම කපා කොටා දමනවා.

මෙලෙස දීර්ඝ කාලයක් අපායේ දුක් විඳ ප්‍රේත ලෝකයේ රක්ත වර්ණ මස් වැදැල්ලක් සේ උපත ලැබුවා. මේ මස් වැදැල්ල වටකරගෙන ගිජු ලිහිණියන්, උකුස්සන් වැනි තියුණු හොටය ඇති සතුන් ලුහු බඳිමින් නොනවත්වා ම මාංශ කෑලි ගලවමින් කා දමනවා. නැවත මාංශ කැබැල්ලක් සේ සිරුර සැකසී ගිය ද නැවත මාංශ කැබලි සතුන් විසින් කා දමනු ලබනවා. එසේනම් තව කෙතරම් කාලයක් කළ පාපයට දුක් විඳින්න සිදු වෙයි ද?

බුදුන් වහන්සේගේ විහාරයට ගිනි තැබූ මනුස්සයෙක් නරකාදී දුක් විඳ ප්‍රේත ලෝකයේ ගිනි ජාලාවක් මධ්‍යයේ උපත ලැබුවා. වේදනාවෙන් එහෙට මෙහෙට දිව ගිය ද ගිනි ජාලාව නිවී යන්නේ නැහැ. මොකද? බුදුන් වහන්සේ සිටි විහාරයට යි ගිනි තැබුවේ. කෙතරම් ම පවක් ද? ලොවේ උසස් තැනට ගිනි තැබුවා. අපායේ මෙන්ම ප්‍රේත ලොවත් සිටින්නේ ගිනි ජාලාවක් මධ්‍යයේ යි. මෙය මුගලන් මහ රහතන් වහන්සේ ඍද්ධි බලයෙන් දුටුවා. බුදුන් වහන්සේ පසුව හේතුව පහදා දුන්නා

එසේනම්, අපායේ දොරටු වසා දැමීමට කවුරුත් පාප කර්මයන් සිදු කිරීමෙන් වළකින්න. බිහිසුණු අපාය ලිපි පෙළෙන් අද සඳහන් කරන්නේ හතළිස් පස්වන නරකය වන මූලගබ්භ නරකය යි. එය බොහොම බියකරු අපායක් . අපමණ දුක් දෙන ස්ථානයක්. මව් කුස තුළ සිටින දරුවන් ගබ්සා කරන අය මෙහි උපත ලබයි. තෙල්, බෙහෙත් ගල්වා, කොඩිවින ආදියෙන් ගර්භාශයේ සිටින දරුවන් විනාශයට පත්කරන්නන් මෙහි උපත ලබයි. එම පාප කර්මය බොහොම දරුණු යි. එය සත්ත්ව ඝාතනයක්. මෙවැනි දරුණු පව් කළ අය උපත ලබන්නේ මූලගබ්භ නරකයේ ය.

මෙහි උපත ලබන්නෝ විඳින දුක සීමාවක් නැහැ. මෙලෙස කරගනු ලබන මනුෂ්‍ය ඝාතනය බරපතළ නිසා තම ජීවිතයටත් ඒ දුක එලෙසම විඳින්නට සිදු වෙයි. මේ නරකාදියේ උපත ලබා, අප්‍රමාණ දුක් විඳිමින් පැසෙමින් කාලය ගත කරයි. කෑ කෝ ගසා , විළාප නැඟුව ද කිසිවක් කළ නො හැකියි. ඒ නිසා කවර දවසක වුව ද දරුවන් මරණයට පත් කිරීම, ගබ්සා කිරීම ආදිය ද, මැසි මදුරුවෙක් වත් මරන්න හොඳ නැති බව සිහි තබාගෙන කටයුතු කළ යුතු යි.

හතළිස් හයවන නරකය මංගුලිත්ත නරකය යි. මෙහි උපත ලබන්නේ විහිළු තහළු කරන, කවටකම් කරන, සම්ප්‍රපලාප, අසභ්‍ය වචන, බොරු කථා ගොතන, නරක වචන, නපුරු වචන කථා කළ අය යි. මෙවැන්නන්ට කර්මයක් රැස්වී විපාක වශයෙන් මංගුලිත්ත නරකයේ උපත ලබයි. මෙහි සීමා නැති අසීමිත දුක් විඳින්න සිදු වෙයි. එතැනදී මා මින් ඉදිරියට සම්ප්‍රපලාප, බොරු , නරක , නපුරු වචන කියන්නේ නැතැ’යි පොරොන්දු වුව ද කළ වරදට විපාක ලැබිය යුතු ම යි.

හතළිස් හත්වන නරකය ඕතිලි නරකය යි. මනු ලොව සිටිය දී ගුණ දම් නො වඩා හිස් වචන කථා කරන, කිසිම ගුණ ධර්මයක් නො වඩන, දවස පුරාම හිස් වචන ම පවසන ( මෙලොවට සහ පරලොවට වැඩක් නැති කථා) අයට විශාල පාපයක් සිදු වෙයි. ආර්ය තුෂ්ණිම්භාවය යනු ආර්ය උතුමෝ අනවශ්‍ය කිසිවක් කථා කරන්නේ නැහැ. අවශ්‍ය දේ කථා කර නිහඬ වෙයි. එලෙස කවුරුත් අනවශ්‍ය දේ කථා නොකර අවශ්‍ය දේ පමණක් කථා කරන්නට පුරුදු පුහුණු විය යුතු යි. එවැනි අය නරකයන්ට පත් වන්නේ නැහැ. මහා දිව්‍ය පුත්‍රයන් ව බැබළෙන්නට පුළුවන්. සෑම සම්පතක් ම ලබන්න පුළුවන්. හතළිස් අටවන නරකය අසේස නරකය යි. මෙහි උපත ලබන්නේ අනුන්ගේ ගෙළ සිඳින්නන් ය. ඇතැමුන් සතුන්ගේ හිස කුළු ගෙඩි ආදියෙන් ගසා දමා හිස සිඳි යි. සර්පයෝ දුටු විට හිසට ගලකින් පහර දෙයි. මෙවැනි පාපී පුද්ගලයන්ගේ කඳින් හිස වෙන් ව යයි. යමපල්ලන් විසින් ගෙල සිඳ, ගෙල තලා දමයි. ඇතැම් නරකා දී සත්ත්වයන්ට එකවර කුළුගෙඩි පන්සියයක් වදි යි. හිස පොඩි පට්ටම් වුව ද කර්මයේ විපාකයන් ලෙස නැවත හිස සැකසෙයි. නමුත් නැවත කුඩු පට්ටම් කරයි. මෙලෙස පන්සිය වාරයක් බැගින් හිස කුඩු පට්ටම් වුව ද නැවත සැකසෙ යි. එසේනම්, අසේස නරකයට වැටෙන පාප කර්මය දැන කෙදිනකවත්, සත්ත්ව හිංසාවක් නො කරන්න.

හතළිස් නවවන නරකය පරලාභ නරකය යි. අනුන්ට ලැබෙන ලාභ වළක්වන්නන් මෙහි උපත ලබයි. බණ දහම් නො දැනීම , ශීල, සමාධි, ප්‍රඥා ගැන නො දැනීම, දාන, ශීල, භාවනා, පින්කම් ගැන නො දැනීම, නිසා අනුන්හට ලැබෙන ලාභය වළක්ව යි. සතෙකුට හෝ යමක් දෙනවා නම්, එය දෙන්න එපා යැ’යි නො කියන්න. එය දෙන්න යැයි පැවසීම දෙව්ලොවට යන ගුණයක්.

බුදු පියාණන් වහන්සේට පිණ්ඩපාතයක් වැළැක්වීමට, යන මඟ වරද්දන සුප්‍රබුද්ධ රජතුමා අදටත් නරකාදියේ දුක් විඳිනවා. එසේනම්, ඕනෑම කෙනෙකුට ලැබෙන කිසිවක් කිසිදිනක වළක්වන්නට එපා. ඇතැමුන් පන්සලට දෙන දානය වළකා දමයි. මව් පියන්ට දෙන දේ වළකා දමයි.

බුද්ධ පූජාව පවා වළකා දමයි, මහා පූජා, පින්කම් නො කරන්නැ’යි වළකා දමයි. දිනකට කප් රුක් පූජා විස්ස තිහ පැළඳීම ඇතැමුන් වැඩක් නැතැ’යි පවසයි. අටපිරිකර සිය දහස් ගණන් පූජා කරද්දී එසේ නොකරන්නැ’යි කිසිවිටෙක නො පවසන්න. ඒ නිසා කටපරිස්සම් කර ගැනීම වැදගත්. දෙන දේ වැළකීම විශාල පාපයක්. තමන්ට සසරේ ආහාර නො ලැබී , යන තැනින් පවා එළවා දමයි. කුසගිනි වේදනාව සීමාවක් නැතිව පරලාභ නරකයේ දී දුක් විඳින්නට සිදු වෙයි.

මේ අනුව සලකා බලද් දී නරක ලෝකවලට වැටෙන්නේ දරුණු පව් කළ අය යි. මේ ගැන දැනකියාගෙන හොඳින් පන්සිල් රැකිය යුතු යි. මවට පියාට, ගුරුවරයාට ස්වාමියාට ,ස්වාමී දියණියට , දරුවන්ට සැලකිය යුතු යි. එසේ ම පෝයට අටසිල් රැකිය යුතු යි. බණ ඇසීම, භාවනා කිරීම, ශීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන්න, දාන , ශීල, භාවනා පින්කම් වැඩි කරගත යුතු යි. කරුණා, මෛත්‍රිය දියුණු කළ යුතු යි. තමන්ගෙන් අනුන්ට කරදරයක් නො වේවා! යනුවෙන් අධිෂ්ඨාන කරගත යුතු යි. එවිට විශාල පිනක් ලැබෙයි. කිසිවිටකත් නරකාදියට නො යයි.

මනු ලොව උපත ලැබුවොත්, සකල සම්පත්වලින් පිරිපුන් මනුස්සයෙක් ව උපත ලබයි. දෙව් ලොව උපත ලැබුවොත්, අනෙක් දෙවියන්ට වඩා ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා හොඳින් තිබෙයි. මහා විමාන වස්තු පහළ වෙයි. එසේම අසිරිමත් දෙවි දේවතාවුන් වෙයි. කිසිවකින් අඩුපාඩුවක් නො වෙයි. මෙසේ ලැබෙන්නේ අනුන්ට දෙන දේ වළක්වන්නේ නැතිව හැකිතාක් පින්කම්, දාන මාන කළ නිස යි. මේ ගැන හොඳින් කල්පනා කර කවුරුත් සම්මා සම්බුද්ධ ශාසනය පවතින කාලයේ පාපයෙන් වැළකී අපායේ දොරටු වසා, හැකිතාක් පින් දහම් කර, මෙලොව ජීවිතය සරු සාර කර ගැනීමට, පරලොව ජීවිතය ද සුගතිගාමීව ඉක්මන් භවයක දී ම නිවන් සුව විඳින්න අධිෂ්ඨාන ප්‍රාර්ථනා තබා ගන්න.