Print this Article


දුක් නොවිඳ ඉන්න නම් ඉගෙන ගන්නැයි මගේ අම්මා නිතරම කීවා

දුක් නොවිඳ ඉන්න නම් ඉගෙන ගන්නැයි මගේ අම්මා නිතරම කීවා

මාවරලේ භද්දිය හිමි

මගේ උපන්ගම මාතර දිස්ත්‍රික්කයේ හක්මන ආසනයේ පිහිටා තිබෙන මාවරල, ගොමිල නම් වූ ගම් පියස යි.

මගේ අම්මා කුලසිංහගේ චන්ද්‍රාවතී තාත්තගේ නම මද්දුමගේ පියදාස. අම්මා උපන්නේ එක් දහස් නවසිය පනස් නමය අවුරුද්දේ ජූලි මාසේ පළමුවැනිදා. තාත්තා උපන්නේ එක්දහස් නවසිය පනස් හතර අවුරුද්දේ අප්‍රේල් මාසයේ පළමුවැනිදා. මගේ අම්මාත් තාත්තාත් දෙදෙනා ම වෘත්තියෙන් තේවතු කම්කරුවන්. රජයේ සහ පුද්ගලික වැවිලිකරුවන්ගේ කම්කරු සේවකයෙක් ලෙස තාත්තා රාජකාරි කළා.

අම්මා ආණ්ඩුවේ වැවිලි සමාගම්වලට අයත් වතුවල සහ පුද්ගලික තේ වතු හිමියන්ගේ වතුවල කම්කරු කාන්තාවක් ලෙස සේවය කළා. අපේ පවුලේ දරුවන් පස්දෙනයි. මට වැඩිමල් සොහොයුරන් දෙදෙනෙක්, බාල සොහොයුරන් දෙදෙනෙක් සිටිනවා.දැන් ඔවුන් විවාහකයින්.විවිධ වෘත්තීන් හි නියැළෙන්නන්.

මගේ අම්මාත්, තාත්තාත් දරුවන් පස් දෙනකු පෝෂණය කරන්නට කරන ලද කැපවීම අසීමාන්තිකයි. අප කුඩා කාලයේ ජීවත් වුණේ පොල්අතු හෙවිල්ලන ලද, බිම ගොම මැටි ගෑ කටු මැටි ගැසූ කුඩා නිවසක. මගේ අම්මා, ලස්සන ගෙයක් හදන්නට දුටු සිහිනය වයස අවුරුදු 37 ක් වීත් අදටත් මගේ සිතේ සටහන් වී තිබෙනවා. ඒ වෙනුවෙන් අම්මා තුළ වූ සකසුරුවම මොනතරම් ද? අම්මා අපට නොපෙනෙන ලෙස කුස්සියේ ලිප අයිනේ හෑරු කුඩා වළක්තුළ දැමූ ටින් එකක ඒ වෙනුවෙන් රුපියල, දෙක එකතු කළා. දවසක් අපි, සහෝදරයන් එකතු වෙලා අම්මාට හොරෙන් ඒ මුදල් අරගෙන බනිස් මිලදී ගත්තා. ළඳු කැලෑවක සැඟ වී ඒවා ආහාරයට ගත්තා. අම්මාට එය හසුවුණා. එදා ඇය අපට දඬුවම් කළේ හඬමින් වැළපෙමින්. ඒ දඬුවම, හැඬිම, වැළපීම මා දකින්නේ දුප්පත් කාන්තාවක් දකින සිහිනයක් බිඳ වැටීම තුළ ඇතිවන අසරණකමේ ප්‍රකාශනයක් ලෙසයි.

මගේ අම්මා විටෙක කරුණාවන්තයි. තවත් විටෙක රළු ලෙස, නපුරු ලෙස අපට බැණ අඬ ගැසීම් කළා. දඬුවම් කළා. තේ දළු කඩමින්, ඉතා සුළු වැටුපක් ලබමින් දරුවන් පස් දෙනෙකු හදන්නට වීර්යය කරන අම්මා කෙනෙක් වෙතින් එවැනි මිශ්‍ර හැසිරීමක්, හොඳ සහ නරක අතර සංයෝගයක් දැක ගත හැකිවීම අරුම පුදුම දෙයක් නොවන බවයි අද මම කල්පනා කරන්නේ.

දරුවන් වෙත වූ සෙනෙහස සේ ම, දුගී දුප්පත්කමට එරෙහිව පැවැත්ම වෙනුවෙන් අරගල කරන ඕනෑම අම්මා, තාත්තා කෙනෙක් එවැනි මිශ්‍ර හැසිරීම් සහ චෛතසිකයන්වලින් කටයුතු කරනවා දකින්නට පුළුවන්.

මා කුඩා කාලයේ දී අම්මා, තාත්තා වෙත යම් ආගමික ශ්‍රද්ධාවක් වූ බව මට මතකයි. ගෙදර තිබුණු රේඩියෝ කබලෙන් ඉරිදාට බණ ඇසීමත් වරින් වර සිදුවුණා. මුවන් පැලැස්ස වැනි ගුවන්විදුලි නාට්‍ය එකල අම්මාට, තාත්තාට මෙන් ම අපට ද රසවින්දනය ලබා දුන් අංගයන්. පෝයට පන්සල් යාම එකල සියලු ගම් වැසියන් කළ දෙයක්. අපේ මව්පියන් ද එවැනි යි. තාත්තා, පන්සලේ විහාර ගෙය නිර්මාණය කරන කාලයේ කළුගල් කඩා දීම ආදී ශ්‍රමදායකත්වය ලබාදුන් ආකාරය මගේ මතකයට නැඟෙනවා.

අපේ ගමත්, පන්සලත් අතර ඉතාම ඉහළ සම්බන්ධකමක් ඇති වුණේ විහාර මන්දිරය සැදුණු කාලයේ දී. ඒ කාලයේ දිනපතා වන්දනාව සඳහා ගමේ සෑම වත්තකින් ම මල් කඩාගෙන යාම අපේ පුරුද්දක්. එයට මව්පිය දෙදෙනා ගෙන් මෙන් ම මවගේ විවාහ නොවී සිටි සහෝදරියගෙන් ද අනුබලය ලැබුණා.

මගේ මව්පියන් අතර ආදරයක්, සෙනෙහසක් පැවතුණ ද, එකිනෙකා එය සිත්තුළ රඳවා ගත්තා මිස විවෘතව ප්‍රකාශ කිරීම කුඩා කල සිට මා දැක තිබුණේ නෑ. අපේ රටේ දුප්පත් පවුල්වල, වැඩි අධ්‍යාපනයක් නොමැති මිනිසුන් අතර මේ ස්වභාවය සුලබ බව පසු කලෙක මට වැටහුණා. අනෙකා වෙනුවෙන් වූ තම සිතිවිලි ප්‍රකට කිරීම අයහපත් දෙයක්ය යන ආකල්පය එයට හේතු වීය යනු මගේ විශ්වාසය යි.

මගේ අම්මාත් තාත්තාත් හොඳින් කතාබහ කරන අවස්ථා වගේම රණ්ඩුසරුවල් වන අවස්ථා ද මා දැක තිබෙනවා. කවර අභියෝගයක් පැවතිය ද, මොන තරම් ප්‍රශ්න තිබුණ ද දරුවන් වෙනුවෙන් තම සියලු ආශාවන්, හැඟීම් කැප කරමින්, අවංකව ම දරුවන්ගේ සුබසෙත වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළා.

ඇතැම් දිනවල අම්මාත්, තාත්තාත් අල්ලට ගත් සීනි ස්වල්පය කා, කහට කෝප්පයක් බී කුලී වැඩට ගියේ රාත්‍රියේ ඉතිරි වී තිබූ හීල්බත් ව්‍යාංජන ස්වල්පයකින් අපගේ කුස පුරවමින්. මගේ මව්පියන් ඒ තරම් ආදරණීය හා පරාර්ථකාමී වුණා. ඔවුන්ගේ ඒකායන අරමුණ වූයේ අපට ඉගැන්වීමයි. මගේ අම්මා නිතරම කීවේ, “උඹලට දුක් විඳින්නේ නැතිව ඉන්න ඕනෑනම් ඉගෙන ගන්න ඕනෑ” කියලයි.

මගේ අම්මාත්, තාත්තා උපාධිධාරීන් හෝ යටත් පිරිසෙයින් සාමාන්‍යපෙළ විභාගය දක්වා හෝ පාසල් නොගිය අය වුවත් මේ සමාජයෙහි උගතුන් තමන්ට වඩා යහපත්, පොහොසත් ජීවිතයක් ගෙවන බව හඳුනාගෙන සිටියා. මගේ මව්පියන් කම්කරුවන් ලෙස සේවය කළ අක්කර 12 ට අධික තේ වත්තෙහි හිමිකරුවා වූයේ පාසලේ විදුහල්පතිතුමා. ඔහු අපට පවුලේ ඥාතියෙකු සේ සමීප වුණා. ඒ තුළ අපේ අම්මා තාත්තා හඳුනාගත්තේ, පොහොසත් වීමට, ඉඩම් හිමියෙක් වීමට, කීර්තිමත් අයෙක් වීමට ඉගෙන ගත යුතු බවයි. ඒ සඳහා අප පස්දෙනාම උනන්දු කරවීමට අම්මාත්, තාත්තාත් බොහෝ දේ කළා. සමහර වෙලාවට ඒවා අවවාද. සමහර වෙලාවට ඒවා ආදරණීය ඉල්ලීම්. ඇතැම්විට ඒ අරමුණු කරා අප ගමන් නොකරනවා යැයි හැඟුණ විට ද්වේශයෙන් දෙස් තැබීම්, දඬුවම් කිරීම් ද සිදු කළා.

මට අවුරුදු දහයක් පමණ වන කාලයේ දිනක් පාසලේ විදුහල්පතිතුමා පන්තියෙන් පන්තියට යමින් මහණ වෙන්නට කැමැති ළමයි ඉන්නවාදැයි විමසුවා. මුළු පාසලෙන් ම ඒ සඳහා කැමැති වුණේ මා පමණයි. අම්මාටත්, තාත්තාටත් ඒ ගැන පැවසූ විට අසතුට පළ කළා. දෝෂාරෝපණය කළා. මුලින් ම ඔවුන් මාවෙත දැඩි අකැමැත්ත පළ කළා. ඒත් පැවිදි විය යුතු ම බවට ඇවිටිලි කරමින් මා හඬා වැළපීම නිසා අවසර ලැබුණා. ඒ අනුවයි මා පැවිදි වුණේ.

පැවිදිවීමෙන් පසුව මව්පියන් සමඟ සම්බන්ධකම් තිබුණේ ලිපි මඟින්. පිරිවෙන් අවසාන විභාගය දක්වා, මට අවුරුදු පහළොවක් පමණ වනතුරු සෑම මාසයකම වාගේ අම්මාට ලියුමක් හෝ දෙකක් ලියා යැව්වා. මගේ විස්තර කියමින්, නිවසේ විස්තර අසමින් ඒවා යැවූ බව මට මතකයි. ඒ කාලේ අම්මා මා යැවූ ලියුම් බොහෝ ප්‍රමාණයක් ළඟ තබා ගෙන සිටි බව මම දන්නවා.

වෙසක් පෝය ළඟ එනවිට අම්මාට, තාත්තාට, අයියලාට, මල්ලිලාට, නැන්දලා පුංචි අම්මලාට වෙසක් කාඩ් එකක් යවන්න කෙසේ හෝ මුදල් සොයා ගැනීම පුංචි හාමුදුරුවරු වූ අපේ හීනයක් වුණා.

පුංචි කාලෙ අපට ලැබෙන පිරිකර ලොකු හාමුදුරුවන්ට දෙන්න සිදු වුණා. ඒත් මාස තුන හතරකට වතාවක්. මා බලා යන්න එනවිටත්, අවුරුද්දකට වතාවක් මා ගමට යනවිටත් ලොකු හාමුදුරුවන්ට සොරෙන් සැඟ වූ සබන් කැට දෙක තුනක්, තුවායක්, ඇඳ ඇතිරිල්ලක් අම්මට, තාත්තාට ගෙදරට ගෙනගොස් දීම මා සිදු කළා. අවුරුදු පහළොවක්, දහසයක් වනවිට ලොකු හාමුදුරුවෝ දැනුම්වත් කරලා ඒවා ලබා දුන්නා.

මා කුඩා කල සිටම දුප්පත්කමෙන් ගොඩ එන්නට අම්මට, තාත්තාට හැකි පමණ උදව් කළා. ඒ කාලේ පවුලේ වැඩිම ආදරය, සෙනෙහස ලැබූ දරුවා වුණේ මම. තාත්තා ගමනක් ගියත්, නැන්දලා, පුංචි අම්මලා ගමනක් ගියත් වැඩිම වාර ගණනක් ඔවුන් සමඟ ගිය කෙනා වුණේ මමයි.

මා පැවිදි කළ දිනයේ මගේ තාත්තා දවසක් ම හැඬූ බව අම්මා මා සමඟ කියා තිබෙනවා. අපේ ලොකු හාමුදුරුවෝ බොහෝ සැර කෙනෙක් නිසා ඔවුන්ට මා බලන්නට එන්න ලැබුණේ කලාතුරකින්. මට ගෙදර යන්න ලැබුණේ ඊටත් වඩා කලාතුරකින්. ඒත් ඒ නිසා මව්පියන් කෙරෙහි තිබූ ආදරය සෙනෙහස අඩුවුණේ නෑ. සීමාව ඉක්මවා ගෙදර අය සමඟ සම්බන්ධකම් නොතිබුණ නිසා කුඩා කාලෙදී උපැවිදි වීමට තිබුණු ඉඩකඩ ඇහිරී ගියා කියලා මම විශ්වාස කරනවා.

මා පිරිවෙන් අධ්‍යාපනයෙන් ඉහළට යනවිට මගේ අම්මා සියලු දෙනා සමඟ ඒ ගැන කියමිනුත්, තාත්තා නිශ්ශබ්දවත් සතුටු වූ බව මා දන්නා කරුණක්. අදටත් ඔවුන් දෙදෙනා මා සම්බන්ධව සතුටු වෙන්නේ ඒ ආකාරයෙන්.

වර්තමානයේ මගේ මව්පියන් වතු කම්කරුවන් ලෙස සේවය කරන්නේ නෑ. නිවෙසට ඉහළින් කුඩා කාමරයක සිල්ලරබඩු ආදිය විකුණමින් සුළු වෙළෙඳාමක් අම්මාගේ මුල්වීමෙන් ආරම්භ කළා. දැන් එහි කටයුතු කරන්නේ තාත්තා. අම්මා වැඩිපුර වන්දනා ගමන්වල නිරත වෙනවා. ගම්වාසීන් සමඟ මාසයකට වතාවක් හෝ දුරබැහැර විහාරස්ථාන වැඳ පුදා ගන්නට යනවා. ඇය පස්වතාවක් දඹදිව වන්දනාවේ ගොස් තිබෙනවා. සෑම පොහොයදිනක ම අටසිල් සමාදන් වෙනවා. ගමේ පන්සලේ හාමුදුරුවන්ට වගේ ම දුර පළාත්වල වැඩ සිටින හාමුදුරුවරුන් පිළිබඳවත් මවක් ලෙසින් සුව දුක් බලමින්, ඇයට ලැබෙන මිල මුදලින් උන්වහන්සේලාට උපකාර කරමින්, දන්පැන් දෙමින් කටයුතු කරනවා.

මගේ තාත්තාට ධර්ම කරුණු ගැන හොඳ මතකයක් තිබෙනවා. ඒත් ඔහු වැඩි වශයෙන් ආගමික, සංස්කෘතික කටයුතුවල නියැළෙන්නට අදටත් එතරම් ලැදි නෑ. එහෙත් මගේ පියා ජීවිතය ගැන දර්ශනයක් ඇති, ධර්මය පිළිබඳව අවබෝධයක් ඇති කෙනෙක් ලෙස මා විශ්වාස කරනවා. කිසිවෙකුට ඊර්ෂ්‍යා නොකර, ලැබෙන දෙය නිහඬව බාර ගන්නා, වැඩිපුර දෙයක් ලැබීමට රණ්ඩු නොකරන, අනුන්ට ලැබෙන දෙයට හූල්ලන්නේ නැති ඉහළ පෙළේ ගුණ ධර්ම මා තාත්තා වෙතින් දකිනවා.

අඩුකුල මිනිසුන්, වැඩිකුල මිනිසුන් වැනි සිතිවිලි ඔහු තුළ කිසි දිනෙක නොවුණි. අප ගමේ ජීවත් වූ මිනිසුන්ගේ නිවෙස්වලට උස්පහත් භේදයෙන් තොරව අලුත් අවුරුදුදාට ත්‍යාගයක් රැගෙන මා ද සමඟ ම ගොස් ඔවුන් දෙන ආහාර අනුභව කිරීමට තරම් මගේ තාත්තා මිනිසුන් වෙත ගෞරවනීය හැඟීමකින් යුතු වෙනවා. ඔහු තුළ ඇතැම් දුර්ගුණ ද තිබෙනවා. ඒත් එකී දුර්ගුණයන් නිසා ඔහුට අවැඩක් වුව ද තාත්තා කිසි කලෙක ගමේ හෝ, ගෙදර හෝ කිසිවෙකුට අවැඩක් නො කළ බව නම් නිර්භයව කිව යුතු යි. මගේ විශ්වාසය, මගේ පියා සත්පුරුෂයෙකු බවයි. තමන්ගේ ගුණ උළුප්පන්නට යන්නේ තැනි උදාර මනුෂ්‍යයෙකු ලෙස මා මගේ තාත්තා හඳුනාගෙන තිබෙනවා.

වර්තමානයේ මමත්, මගේ සොහොයුරන් සිව් දෙනාත් අම්මාටත්, තාත්තාටත් උපරිම තෘප්තිමත් ජීවිතයක් ලබා දීමට, බේත් හේත් ඇඳුම්, පැළැඳුම් ආදිය ලබා දෙමින් කටයුතු කරනවා. ඒ වගේම මගේ මව්පිය දෙදෙනා අප ලබා ඇති දියුණුව දැක බොහෝ සෙයින් සතුටු වෙනවා. ලේලිවරු සතර දෙනෙක් සමඟ කටයුතු කරන මගේ අම්මා ඉතාම ආදරණීය මවක් යැයි මා විශ්වාස කරනවා. ඇය අනෙක් අයගේ පවුල් ජීවිතයට හානියක් වන කිසිදු ක්‍රියාවක නියැළෙන්නේ නෑ.

මගේ අම්මාත්, තාත්තාත් මා කුඩා කල දුටුවාට වඩා ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, පරිත්‍යාගශීලී බවින්, වගේම හිරි ඔතප් යන ධර්මයන්ගෙන් හා ප්‍රඥාවෙන් ඉහළ තලයකට පැමිණ ඇති බව කිව යුතු යි. එය මට විශාල අස්වැසිල්ලක් වී තිබෙන්නේ. අම්මාටත්, තාත්තාටත් මේ ආත්මයෙහි මාර්ගඵල අවබෝධ කර ගන්නට නොහැකි වුවහොත් යටත් පිරිසෙයින් ඊළඟ භවයෙහි හෝ සුගති භූමියක ඉපදීමට තරම් ප්‍රමාණවත් ශ්‍රද්ධා, හිරි ඔත්තප්ප, සුත, ත්‍යාග, ප්‍රඥා වැනි උතුම් ධර්ම ඔවුන් දෙදෙනා තුළ වැඩී ඇති බව මට පසක්වන නිසයි.

මගේ අම්මාත්, තාත්තාත් සාමාන්‍ය මිනිසුන් වෙත තිබෙන දුර්ගුණවලින් මිදෙන්නට වෑයම් කිරීම මා දකින විශේෂ කරුණක්. මගේ මව්පියන් මේ ලෝකයේ සිටින පරමාදර්ශීම අම්මා හෝ, තාත්තා හෝ නොවුණ ද එය මා ඔවුන්ට දක්වන අධ්‍යාත්මික හා භෞතික සැලකිලි සංග්‍රහයන් සඳහා හේතුකර ගන්නේ නෑ. මට වැදගත් එකම කරුණ වන්නේ ඔවුන් දෙදෙනා මේ ගෞතම බුදු සසුන තිබෙන සමයේ, ශ්‍රී සද්ධර්මය කියා දෙන සත්පුරුෂයන් ජීවත්වන සමයේ මට මේ උතුම් මිනිස් ආත්මය ලබා දුන් අම්මා සහ තාත්තා වීම ම පමණයි. සියලු දෙනාට සිහිපත් කරන්නේ ද තමන්ගේ අම්මා, තාත්තා ගැන විමර්ශනය කරමින් සිටිනවාට වඩා, ඔවුන් තමන්ගේ අම්මා, තාත්තා බව මතකයේ තබා ගැනීම ම ඔවුන්ට කළගුණ සැලකීමට ප්‍රමාණවත් බවයි.