Print this Article


අකුසල් කළොත් සුගතියක් නෑ

අකුසල් කළොත් සුගතියක් නෑ

පින්වත් දරුවනේ, ඉවසීම, කරුණාව, මෛත්‍රිය වගේ ගුණ ධර්ම ඇතිකර ගත්විට මේ ආත්මභවයේ දී ත් අපට සුගතියක් වනවා තමයි. ඒ වගේ ම මරණින් පසුව සුගතිගාමී වෙන්නත් පුළුවන්. ධර්ම පුස්තකවල, ධර්ම දේශනාවන්වල දී මේ සුගතිගාමී කියන වචනය නිතර කියැවෙනවා. මොකක්ද මේ සුගතිගාමී වීම කියන්නේ. අපි මෙතැන් සිට ඉදිරියට කතා කරන්නේ සුගතිගාමී වන ආකාරය, එහි ස්වභාවය හා සුගතිගාමී ලෝක පිළිබඳවයි.

දරුවනේ, ගුණ ධර්ම පිරිහෙන විට අපේ ආයුෂත් පිරිහී යනවා. ගුණ ධර්ම පිරිහෙන විට, අකුසල් කරනවිට මිනිස් ආයුෂ අවුරුදු අසංඛ්‍යෙයේ සිට අවුරුදු දහය දක්වා ක්‍රමිකව අඩුවෙනවා. ඒ වගේම, ගුණ ධර්ම වඩා වර්ධනය වනවිට, ගුණ ධර්ම රකිනවිට, අකුසල් නොකරනවිට නැවත නැවත ආයුෂ වැඩෙනවා. ඒ කියන්නේ අවුරුදු දහයේ සිට අසංඛ්‍යෙය දක්වාම වැඩිවෙනවා. මේ කාල සීමාව හඳුන්වන්නේ අන්තඞකල්පය කියලයි. ඉතින් ඔය අතර සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ මිනිස් ආයුෂ පිරිහෙමින් පවතින අවුරුදු ලක්ෂයත්, සියයත් අතර කාලය තුළයි.

දරුවනේ, බුද්ධ ක්ෂේත්‍ර තුනක් තිබෙන බව අසා තිබෙනවා නේද? නොදන්නා අයටත් දැන ගන්න ඒ ගැන කියා දෙන්නම්. ජාති, ආඥා, විෂයය කියන ක්ෂේත්‍ර ත්‍රිත්ත්වය බුද්ධ ක්ෂේත්‍රය ලෙස හැඳින්වෙනවා.

බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීම, බෝසතාණන් වහන්සේගේ උපත, ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම වගේ අසිරිමත් අවස්ථාවන්හි දී මහ පොළොව කම්පාවීම දස දහසක් සක්වල ජාති කියන ක්ෂේත්‍රයට අයත් වෙනවා.

දරුවනේ, සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ආඥා ක්ෂේත්‍රය නම් කෝටි ලක්ෂයක් සක්වලයි. රතන සූත්‍රය, ඛන්ධ සූත්‍රය, ආටානාටිය සූත්‍රය, ධජග්ග ආදී පිරිත් දේශනාවන්ගේ ආනුභාවය ඉහත කී කෝටි ලක්ෂයක් සක්වල පුරා පැතිරී තිබෙනවා.

සක්වල කියන්නේ, ඉර, හඳ එළිය පැතිරෙන සීමාවට අයත් අසීමිත ප්‍රදේශයට භූමිතල තිස් එකක් සක්වලට අයිති වෙනවා. මේ අතර අප ජීවත්වන මනුෂ්‍ය ලෝකය, ඒ වගේම තිරිසන්, ප්‍රේත, අසුර, නිරය මෙන් ම දිව්‍ය ලෝක හය, රූප ලෝක දහසය, අරූප ලෝක සතර එකම ලෝක ධාතුවක් තුළ පවතිනවා.

ඉතින් දරුවනේ, මේ අන්තඞකල්පය විනාශ වන ක්‍රම තුනක් තිබෙනවා. අවි ආයුධවලින්, දුර්භික්ෂවලින් හා වසංගත රෝගවලින්. අප මේ ගත කරන්නේ මහා භද්‍ර කල්පයේ හතරවන අන්තඞකල්පයට අයත් කාලයයි. තවත් අන්තඞකල්ප හැටක් ගත වූ පසු මහා කල්ප විනාශය ඇති වෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ හත්වන අන්තඞකල්පයේ දී යි. එවිට මිනිස් ආයුෂ අවුරුදු අසූ දහසක් වෙනවා.

අපි දැන් බලමු දිව්‍ය ලෝකයන්හි ආයුෂ කොපමණ ද කියලා.

චාතුර්මහා රාජිකය නම් වූ දිව්‍ය ලෝකයෙහි එක් දිනයක් මිනිස් ආයුෂවලින් වසර පනහක් වනවා. එහි පරමායුෂ එවැනි වසර පන්සියයක්. මිනිස් ආයුෂවලින් නම් වසර අනූලක්ෂයයි.

තාවතිංසය නම් වූ දිව්‍ය ලෝකයෙහි එක දවසක් මිනිස් ආයුෂවලින් අවුරුදු සියයක්, එහි පරමායුෂ ඒ වගේ අවුරුදු දහසක්. මිනිස් ආයුෂවලින් බැලුවේ නම්, වසර තුන්කෝටි හැට ලක්ෂයක්.

යාමය නම් දිව්‍ය ලෝකයෙහි එක දවසක් මනුෂ්‍ය ආයුෂවලින් අවුරුදු දෙසීයක්. පරමායුෂ ඒ වගේ වසර දෙදහසක්, මනුෂ්‍ය ආයුෂවලින් නම් අවුරුදු දාහතරකෝටි හත් ලක්ෂයක් වනවා.

තුසිතය නම් වූ දිව්‍ය ලෝකයෙහි එක් දිනයක් මනුෂ්‍ය ආයුෂවලින් වසර හාරසියයක්. එහි පරමායුෂ වසර හාර දහසක්. මිනිස්ආයුෂවලින් නම් පනස්හතර කෝටි හැට ලක්ෂයක් වනවා.

නිම්මානරතියෙහි එක් දිනයක් මනුෂ්‍ය ආයුෂවලින් වසර අටසියයයි. එහි පරමායුෂ වසර අට දහසයි. මිනිස් ආයුෂවලින් නම් දෙසීය තිස්කෝටි හැට ලක්ෂයයි.

පරනිම්මත වසවර්තියෙහි එක් දිනයක් මනුෂ්‍ය ආයුෂවලින් වසර එක් දහස් හයසියය යි. පරමායුෂ වසර දහසය දහසයි. මිනිස් ආයුෂවලින් නම් වසර නවසිය විසි එක් කෝටි හැට ලක්ෂයයි.

පේනවා නේද දරුවනේ ආයුෂ ප්‍රමාණයේ තරම. මේවාට කියන්නේ සුගතිගාමී ලෝක කියලයි. මේ පිළිබඳව තවත් විස්තර උඳුවප් අව අටවක පෝදා (29) පත්‍රයෙන් දැනගන්න.