Print this Article


දුරාචාරය වළකා සදාචාරය වඩමු

දුරාචාරය වළකා සදාචාරය වඩමු

කලකට පෙර මම ධර්ම ප්‍රචාරක කටයුත්තක් සඳහා තායිවානයට වැඩියෙමි. දායක මහතෙක්, මා ඇතුළු පිරිසකට දානය පිළිගැන්වීම සඳහා එහි අති සුඛෝපභෝගී ආපනශාලාවක් වෙත කැඳවාගෙන ගියේ ය. එහි ඉදිරිපස අලංකාර මාළු ටැංකියක් තිබුණි. එය අඩි අටක් දහයක් පමණ වූවකි.

මත්ස්‍යයෝ එහි එහා මෙහා පීනා යන දසුන මනරම් ය. අපි කිහිපදෙනෙක් මඳ වේලාවක් ඒ දෙස බලා සිටියෙමු. ආපනශාලාවේ සේවකයෙක් සමඟ තායි ජාතිකයෙක් එහි ආවේ ය. ටැංකිය දෙසට ඇඟිල්ල දිගු කර කිසිවක් පෙන්වූයේ ය. සේවකයා දිගු කූරක් ගෙන එහි වූ මාළුවෙකු එහි රඳවා එළියට ගත්තේ ය. මාළුවා වේගයෙන් ගැහුණි. ඒ අසල වූයේ තෙල් තාච්චියකි. ගොඩට ගත් මාළුවා පණ පිටින් ම එහි දමා පියන වැසුවේ ය. මුළු තාච්චියම සෙලවෙන්නට වූයේ ය. මාළුවා පණ පිටින් ම ආහාරය සඳහා සැකසෙමින් සිටියේ ය. විනාඩි කිහිපයකින් කෑම මේසයට ගෙන ගියේ ය.

මේ අතිශය සංවේදී දසුන දුටු මා සිත දැඩි කම්පනයකට පත්විය. කියා නිම කළ නොහැකි චිත්තාවේගයකින්, ශෝකයකින්, වේදනාවකින් සිත පෙළෙන්නට විය. වහාම අපි එම භෝජන ශාලාවෙන් ඉවත් වීමු.

එදා පටන් අද දක්වාත් මාළු ටැංකි ඇති ආපන ශාලාවකට නොයන්නට මම පරෙස්සම් වෙමි. චීනය, හොංකොං, තායිවානය, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල මේ ආහාර චාරිත්‍රය ක්‍රියාත්මක ය. මෙවැනිම සිදුවීමක් ලංකාවේ ද ඇතිවීමට යම් පරිසරයක් නිර්මාණය වුණි. ඊට පදනම සැකසුණේ 1990 අවුරුද්දේ ය. දේශීය ජනතාවගේ ආර්ථික හා පෝෂණ ගුණය නැංවීමට, මන්දපෝෂණය නැති කිරීමට එකල නැවුම් ආහාර ලබා ගැනීම සඳහා යෝජනාවක් ගෙන ආවේ ය. ඒ ගෘහාශි‍්‍රත මිරිදිය මසුන් ඇති කිරීමේ ව්‍යාපෘතියයි. මේ ව්‍යාපෘතිය යටතේ ඉදිරිපත් කළ යෝජනාව අනුව ටැංකි සහ මත්ස්‍ය පැටව් ලබා ගැනීමේ පහසුකම් සලසා දුන් අතර ඒ අනුව දෛනික මත්ස්‍ය ආහාර නිවෙසේ සිටම ලබාගත හැකි විය.

මේ යෝජනාව බොහෝ දෙනා පිළිගත්හ. එහෙත් මෙහි වරද මේ නිසා වන අනාගත පරිහානිය ගැන වැඩි දැක්මක් කිසිවෙකුට නොවුයේ ය. ඒ සඳහා කිසිවෙක් ඉදිරිපත් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. එහෙත් මෙතැන දී එක් භික්ෂූන් වහන්සේ නමක් පෙරට ආහ. ඒ මීතිරිගල ධම්මනිසන්ති හාමුදුරුවන් වහන්සේ ය. උන්වහන්සේ මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ භාවනානුයෝගී ව වැඩ විසූ හිමි නමකි. ආරණ්‍ය ජීවිතයෙන් බැහැරට වැඩම කොට උන්වහන්සේ බෞද්ධ නායකයින්ට, මහා නායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසී මේ භයානක අපරාධය පිළිබඳව දැනුම් දුන්හ. පෙත්සම් සකසා, ඉල්ලීම් සකසා, විශාල ජනමතයක් රජයට ඉදිරිපත් කළහ. මේ ව්‍යාපෘතියෙන් වන අයහපත, අපචාරය පිළිබඳව පැහැදිලි කළහ.

මූලිකව මෙමඟින් බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පංච ශීලයෙහි පළමුවැනි සිල්පදය කෲර ලෙස කඩවීමක් සිදුවේ. ඒ අනුව තමන්ගේ ම නිවෙසෙහි, තමන් විසින් ම කෑම බීම දී ඇති කරන සතෙක් ඝාතනය කොට මාංශ අනුභව කරනවා නම් තිරිසන් බවක් ඉක්මවා ගිය ම්ලේච්ඡ, අමානුෂික ක්‍රියාවක් එමඟින් සිදුවන බවත්, එය බෞද්ධ සදාචාර ධර්ම අන්තයටම පිරිහීයාමක් බවත් පෙන්වා දුන්හ. එමෙන් ම මෙය කුඩා දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද සිත් කෲරත්වයට පත්වන දරුණු ක්‍රියාවක් බවද පැහැදිලි කළහ. ඒ අනුව මේ සිදුවීම ගැන මහානාහිමිවරු වහාම ලියකියවිලි සකස් කළහ. විරෝධය පළ කළහ. ඒ අනුව ධම්මනිසන්ති හාමුදුරුවන්ගේ උදාර උත්සාහය මල්ඵල දරමින් රජය විසින් එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම නවතා දැමී ය.

මේ කාලසීමාව තුළ ඇතැම් ප්‍රදේශවල මේ ව්‍යාපෘතිය අත්හදා බැලීම් ලෙස ක්‍රියාත්මක වෙමින් තිබුණු බවට මාධ්‍යවල පළවුණි. මේ එකල ඇතැම් තැනෙක කෑම මේසයේ දී ඇති වූ දෙබසකි.

“මොනවද අම්මේ අද රෑ කෑමට තියෙන්නේ. සුදු මාමා ද?”

“නෑ පුතා, සුදු මාමා නෙවෙයි, කලු මල්ලී”

“එහෙම නම් හෙට සුදු මාමා හදමු.”

මේ ‘සුදුමාමා’, ‘කලු මල්ලී’ නිවසේ දරුවන් විසින් ටැංකියේ ඇති කරන මත්ස්‍යයන්ට හුරතලයට දමන ලද නම් ය.

මේ අතර ඒ නිවෙසේ තවත් දරුවෙක් මේ දෙබස අසා හඬමින් මෙසේ කීවේ ය.

‘අනේ අම්මේ ‘සුදු මාමා’ නම් මරන්න එපා. ඒ මාළුවා මගේ.

මේ තුළවන සදාචාර පරිහානියේ බරපතළකම කොපමණ වී ද? දරුවන්ගේ සිත්තුළ ඇතිවන අනුකම්පාව, දයාව, නැති කරදමන, අවිහිංසා සංකල්පය වනසා දමන වැඩ පිළිවෙළක භයානකකම මෙවැනි මාධ්‍ය වාර්තාවලින් එළි දැක්වුණි.

එමෙන් ම මෙම ව්‍යාපෘතිය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට ගමින් ගමට ගිය අදාළ නිලධාරීන්ට දෝෂාරෝපණය කොට දරුවන් වගේ ඇති කරන සතුන් ඝාතනය කොට ආහාරයට ගන්නේ කෙසේදැයි අසමින් නැවත එවැනි දේ පවසන්නට නො එන ලෙස අවධාරණය කළ කාන්තාවන් ද විය.

මේ සිදුවීම සිහි වූ කල මට සිතුණේ තායිවානයේ දී දුටු දර්ශනය ම නේද, මේ සිදු වෙන්නට ගියේ යනුවෙනි. ඒ ව්‍යසනය වැළැකී ගියේ ධම්මනිසන්ති හිමියන්ගේ උදාර කැපවීම නිසයි.

මේ ධම්මනිසන්ති හිමියන් කියන්නේ පැවිදිවීමට පෙර මේ රටේ අති විශිෂ්ට බෞද්ධ නායකයෙක් වූත්, අධ්‍යාත්මික නායකයෙක් වූත්, දේශීය හා විදේශීය ධර්ම ප්‍රචාරක කටයුතුවල නියමුවෙක් වූත් අශෝක වීරරත්න මහතාණන් ය. අශෝක වීරරත්න නම් වූ චරිතය ලංකාවේ බෞද්ධයන්ට කිසිදා අමතක කළ නොහැකි ප්‍රසිද්ධ චරිතයකි. එතුමාගේ සිය වැනි ජන්ම දිනය නිමිත්තෙන් පසුගිය 12 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී විශාල ගුණ සමරු උත්සවයක් පැවැත්වුණි. විශේෂ ගුණ සමරු මුද්දරයක් ද එහි දී නිකුත් කෙරුණි. 1918 වසරේ එතුමා උපත ලැබුවේ සුප්‍රකට ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු වූ මිනුවන්ගොඩ ඩී.ජේ. වීරරත්න පියාණන්ගේ සහ එම මෑණියන්ගේ පුත්‍ර රත්නයක් හැටියට ඇල්ප්‍රඩ් යන නමිනි. පසුව එතුමා බෞද්ධ සම්ප්‍රදායානුකූලව ‘අශෝක’ යන නම ගෙන බෞද්ධ කටයුතුවල නිරත වුණි. පූර්ණ කාලීන නිර්මාංශ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. එතුමාට අයත් අක්කර 40 ට වැඩි භූමි භාගයක මීට වසර 50 කට පෙර එතුමා මීතිරිගල නිස්සරණ ආරණ්‍ය සෙනසුන ආරම්භ කළේ ය. ඊට පෙර ජර්මන් ධර්මදූත සංගමය පිහිටුවා ජර්මනියේ බර්ලින් නුවර, බර්ලින් බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කළේ ය. අක්කර දහයක පමණ භූමිභාගයක පිහිටි මේ විහාරස්ථානය යුරෝපයේ විශාලතම බෞද්ධ විහාරස්ථානයයි. ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ සිදු වූ විනාශකාරී වාතාවරණය වෙනස් කොට අධ්‍යාත්මික සුවය ලැබෙන වැඩසටහන් ඒ ආයතනයේ ආරම්භ කළේ යුරෝපයටම බුදුදහම පතුරුවන මධ්‍යස්ථානයක් ලෙස ය. අවසානයේ එතුමා 1972 අවුරුද්දේ වනවාසී භික්ෂූන් වහන්සේ නමක් ලෙස පැවිදි දිවියට ඇතුළත් විය. 1999 වසරේ දී, උන්වහන්සේට අවුරුදු අසූවේ දී අපවත් වූහ.

මේ උදාර චරිතය පිළිබඳව අපගේ දරුපරපුර දැනුම්වත් විය යුතු ය. සදාචාරයට එරෙහි ව විවිධාකාරයෙන් පැන නැඟෙන දුරාචාර, මැඩ පැවැත්වීමට, බෞද්ධ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට ජීවිතය ම කැප කළ උන්වහන්සේ දෙවැනි වන්නේ අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතයට ලෙස හැඳින්වීම නිවැරැදි ය.