Print this Article


උඳුවප් පොහොයයි ඓතිහාසික උරුමයයි

උඳුවප් පොහොයයි ඓතිහාසික උරුමයයි

උඳුවප් පුර පසළොස්වක පොහෝදා සිරි සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ සිරිලකට වැඩම කිරීම ද, සිරි මහ බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව වැඩම කරවීම ද, සිරිලක මෙහෙණි සසුන ඇරඹීම ද, සිරිපා වන්දනාවාරය පටන් ගැනීම ද ආදී වටිනා ශාසනික සිදුවීම් රැසක් සිහි කළ හැකි ය.

උඳුවප් මහ, ගොවිතැන සමඟ බැඳී පවතී. ගොවිතැනින් ජීවත් වූ ලක්වැසියා සීතල කාලය ඇරඹෙන මාස් කන්නයේ උඳු වගා කළ බැවින් මේ මාසයට උඳුවප් යනුවෙන් කියන ලදැයි පැවසේ. ගොවිතැනින් ඉසුරුමත් වූ ලක්වැසියා උසස් ආගමික දිවිපෙවෙතකට යොමු වූයේ මිහිඳු මහ රහතන් වහන්සේ හා සඟමිත් මහ රහත් තෙරණින් වහන්සේගේ වැඩමවීමත් සමඟ ම ය.

සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේගේ කුළුණු බර මෙත් සිත නිසා ම ලක්දිව මෙහෙණි සසුන පිහිටුවීමට හැකි වූ අතර, සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් වැඩමවන ලද සිරි මා බෝ සමිඳුන්ගේ අනුහස නිසා මෙරට සදහම් දීපයක් වීම ද එකවිට ම සිදුවිය.

පොසොන් පොහෝ දා අනුබුදු මිහිඳු හිමියන් සිරිලකට වැඩම කිරීමෙන් පසු දේශනා කළ මුල් ම බණ දෙසුම් ඇසූ අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් පැවිදි කරවන ලෙස දෙවනපෑතිස් රජතුමා උන්වහන්සේගෙන් ඉල්ලා සිටියත්, එසේ කිරීම භික්ෂූන්ට නුසුදුසු යැයි මා හිමියෝ දෙසු සේක. ඒ අනුව කාන්තාවන් පැවිදි කරවීමට සඟමිත් මහරහත් තෙරණිය වැඩම කරවා ගැනීමටත්, ඒ සමඟ ම සිරි මා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව වැඩම කරවීමටත් තීරණය විණි.

ඒ අනුව දෙවනපෑතිස් රජු තම බෑණනුවන් වූ අරිට්ඨකුමරු ඇතුළු දූත පිරිසක් දම්සෝ රජු වෙත පිටත් කර යවා මිහිඳු මාහිමියන්ගේ අදහස් ඉදිරිපත් කරවී ය. තම පුතණුවන් වූ මිහිඳු මා හිමියන්ගේ ඉල්ලීමට ගරු කළ දම්සෝ මහ නිරිඳු මූලික කටයුතු සම්පාදනය කරන්නට විය. සැදැහැ සිතින් බෝසමිඳු පුදා තෙලිතුඩකින් ශාඛාව වෙන් කළ යුතු තැන ඇන්දා පමණි. ආශ්චර්යයකි. විවිධ ප්‍රාතිහාර්ය පාමින් දකුණු ශාඛාව රන් පාත්‍රයේ පිහිටියේ ය. ඉන් අනතුරුව දම්සෝ නිරිඳු බෝ සමිඳුන්ගේ රැකුමට අටළොස් කුලයක පිරිසක් සමඟ සිය දියණිය වූ සඟමිත් තෙරණිය උත්තරා, හේමා, පාසාදපා, අග්ගිමිත්තා, දාසකා, වෙග්ගු, පබ්බතා, මත්තා, මල්ලා හා ධම්මදාසියා යන තෙරණිවරුන් දස නම ද සමඟ මේ ලක්දිවට එවී ය.

මේ උතුම් කුළුණුබර මෙහෙණිවරු, ලක්දිව පැවිදි වීමට බලා සිටි අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් පැවිදි කොට සිරිලක මෙහෙණි සසුන පිහිටුවන ලද්දේ අද වැනි උඳුවප් පුන් පොහෝ දිනක ය. ඉන් අනතුරුව දෙවන පෑතිස් රජු සිය ඇත්හල සමීපයේ මෙහෙණවරක් ඉදිකොට තෙරණිවරුන්ට පුද කළ අතර එය ‘හත්ථාල්හක මෙහෙණවර’ යනුවෙන් ප්‍රසිද්ධ වී ය. ලක්වැසි කාන්තාවන් හා මෙරට මෙහෙණි සසුන වෙනුවෙන් සිය දිවිය පිරිනැමූ සඟමිත් තෙරණිය වයස අවුරුදු පනස්නවයේ දී එවකට රජ කළ උත්තිය රජුගේ නව වැනි වසරේ දී එම මෙහෙණවරේ දී ම පිරිනිවන් පා වදාළා ය. රජු විසින් ශ්‍රී දේහයට පුද සත්කාර කර සත්වැනි දින ශ්‍රී මහා බෝධිය අසල ශ්‍රී දේහය ආදාහනය කොට ධාතූන් වහන්සේලා තැන්පත් කර චෛත්‍යයක් ද කරවී ය.

උඳුවප් පුන් පොහෝ දින ඇරඹෙන සිරිලක තවත් එක් මා හැඟි පින්කමක් නම් සිරිපා වන්දනා සමය ඇරඹීමය. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා සලකුණ සමන්ගිර මුදුනේ පිහිටා ඇති අතර උඳුවප් පුන්පොහෝ දා පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට සධාතුක කරඬුන් වහන්සේත්, සමන්දේව ප්‍රතිමාවත් මහ පෙරහරින් සිරි පා මළුව තෙක් වැඩම කරවීමෙන් එම සුවිශේෂ වන්දනා සමය ඇරඹේ.

උඳුවප් පොහෝදා බොහෝ බෞද්ධයෝ වන්දනා කිරීමට අනුරාධපුරයට යාමට අමතක නොකරති. එක් අතකින් සිරිපා කරුණාව ඇරඹීමත්, අනෙක් අතින් ජය සිරිමා බෝසමිඳුන් වැඩම වූ දිනය වීමත් නිසා ලක්වැසියෝ ඉතාමත් ම සැදැහැසිතින් මේ වන්දනා කටයුතුවලට යොමු වෙති. ඔවුන් විශේෂයෙන් ම අනුරාධපුර වන්දනාවට යොමු වන්නේ සිරිමා බෝ සමිඳුන් වැඳ පුදා ගන්නට ය.

ආදි කාලයේ පටන් පැවත එන ඒ පැරැණි සිරිත අද පවා දැක ගැනීමට පුළුවන. ලක්දිව බොහෝ පෙරහර පැවැත්වෙන මාසයක් ලෙස ද උඳුවප් මාසය හඳුන්වා දීමට පුළුවන. විශේෂයෙන් ම ලංකාවේ ගම් නියම්ගම් රාශියකම සංඝමිත්තා පෙරහර පැවැත්වෙන්නේ උඳුවප් පුන් පොහෝ දින ය.

උඳුවප් පොහෝදා ලාංකික කාන්තාව ආගමික විමුක්තිය අත්පත් කරගන්නට අවස්ථාව ලද නිසා එක් අතකින් බලන කල එය සුවිශේෂ මංගල අවස්ථාවක් ලෙස සැලකීම වරදක් නැත. නමුත් අප ලාංකික බෞද්ධයන් ලෙස කල්පනා කළයුතු වන්නේ සිරි සංඝමිත්තා මහරහත් තෙරණියගෙන් උරුම වූ මහබෝධි සංස්කෘතිය හෙවත් ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය මැනවින් ආරක්ෂා කර සිරිලක බුදුසසුන වසර පන්දහසක් කල් පවත්වා ගැනීමට කටයුතු කිරීමයි.