UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා මංගල සූත්‍රය - 3: ජීවිතය ජය ගන්න උතුම් මංගල කරුණු

සුත්ත නිපාතයෙන් ...

මහා මංගල සූත්‍රය - 3:

ජීවිතය ජය ගන්න උතුම් මංගල කරුණු

භාග්‍යවතුන් වහන්සේ වදාළ මහා මංගල සූත්‍රයෙහි සඳහන් උතුම් මංගල කරුණු ගැන අප පසුගිය දෙ සතියේ විස්තර වශයෙන් ඉගෙන ගත්තෙමු.

ඊළඟ ගාථා රත්නයෙන් අපගේ ශාස්තෘන් වහන්සේ ජීවිතයට යහපත, සැපත උදාකරන තවත් මංගල කාරණා කිහිපයක් මෙසේ දේශනා කොට වදාළ සේක.

ගාරවො ච නිවාතො ච
සන්තුට්ඨි ච කතඤ්ඤුතා
කාලේන ධම්ම සවණං
ඒතං මංගල මුත්තමං

උතුමන්ට ගරු කිරීම ද
නිහතමානි වීම ද
ලද දෙයින් තුටුවීම ද
කෙළෙහිගුණ සැලකීම ද
සුදුසු කල බණ ඇසීම ද

මේවා උතුම් මඟුල් කරුණු ය.

වැඩිහිටියන් ගරු කරන්න නිහතමානී වන්න. . .

ගාරවො ච කියන්නේ වැඩිහිටියන්ට, ගුණවතුන්ට, ගුරුවරුන්ට ගෞරව කිරීම යි. මුලින් පූජා ච පූජනීයානං කියා පිදිය යුත්තන් ලෙස විශේෂයෙන් දැක්වූයේ බුදුරජාණන් වහන්සේ, සංඝ රත්නය, සෑ, බෝ රජාණන් වහන්සේලා යි. මෙහි දී උතුමන් කියා අදහස් කරන්නේ ගෞරව කළයුතු අනෙකුත් පුද්ගලයන්ට යි. ගුරුවරු, මව්පිය, වැඩිහිටි පුද්ගලයන්ට යි. ගුරුවර, මව්පිය වැඩිහිටියන්ට ගෞරව කිරීමත් පින් රැස්වෙන උතුම් මංගල කාරණාවක්. ඒ වගේ ම හොඳ බසට, යහපතට අවනතවීම, නිහතමානීව ඒව පිළිගන්නා ස්වභාවය “නිවාත” කියා කියනවා. එයත් මෙලොව පරලොව යහපත උදා කර දෙන්නක්. ඊළඟට ලද දෙයින් සතුටුවීම හෙවත් සන්තුට්ඨියත් මංගල කාරණාවක්. ඔහු සැමවිට ම තෘප්තිමත්. සැනසීමෙන් කල් ගෙවන කෙනෙක් බවට පත්වෙනවා. එවිට අසහනය, පීඩාකාරී බව, අතෘප්තිමත් බව කියන මානසික පීඩාවලින් තොර සරල සැහැල්ලු පැවැත්මක් ඇතිකර ගන්නවා.

කෙළෙහි ගුණ සැලකීම උතුම් මංගල කරුණකි

කතඤ්ඤුතා කියන්නේ කෙළෙහි ගුණ දන්නා බව යි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙළෙහි ගුණ දන්නා, කෙළෙහි ගුණ සිහි කරන පුද්ගලයා ලෝකයේ දුර්ලභයි කියායි. (කතංඤ්ඤු කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං) එය සත්පුරුෂ උතුමන්ගේ ගුණයක්. සුදුසු කාලයට ධර්මය ශ්‍රවණය කිරීම (කාලේන ධම්ම සවණං) ඊළඟ මංගල කරුණ යි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයට හිත විසුරුණු, දුකක් ඇතිවූ, ද්වේශයක් හට ගත්, හිත කලබල වුණ, විපතක් වූ, රාගයෙන් හිත පීඩිත වූ අවස්ථාව ධර්මය අසන්න සුදුසු ම අවස්ථාව යි. එවිට ඒ හැම පීඩාවක්, අසහනයක්ම ධර්ම ශ්‍රවණය තුළින් දුරු කර ගන්න පුළුවන්කම ලැබෙනවා. අංගුලිමාල, පටාචාරා, කිසාගෝතමි වැනි පින්වතුන් අරහත්වයට පත්වූයේ සුදුසු ම අවස්ථාවේ ධර්මය ශ්‍රවණය කළ නිස යි. අප සමාජයේ සමහර පිරිස් ප්‍රශ්න නැතිවෙනකම් සිටිනවා ධර්මය අසන්න. ධර්මය කියන්නේ ජීවිතයේ ගැටලුවලට තිබෙන පිළිතුරක්. එනිසා අද අදම ධර්මයේ හැසිරීය යුතු වෙනවා.ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මෙසේ තවත් ගාථාවක් තුළින් උතුම් මංගල කරුණු දේශනා කොට වදාළා.

ඛන්තී ච සෝවචස්සතා
සමණානඤ්ච දස්සනං
කාලෙන ධම්ම සාකච්ඡා
ඒතං මංගල මුත්තමං

ඉවසන ගුණෙන් යුතුබව
යහපතට අවනත බව
සමණවර බැහැ දැකුමද
නිසි කළ දම් සභාව ද

මේවා උතුම් මඟුල් කරුණු ය

ජීවිතය ජය ගන්න නම් ඉවසන්න පුරුදු වෙන්න.. .

ඛන්ති කියන්නේ ඉවසීම යි. ඉවසීම උතුම් ම තපසයි කියා බුදුරජාණන් වහන්සේ වදාළා. (ඛන්ති පරමං තපෝතිතික්ඛා) ධර්මයේ හැසිරෙන කෙනා සීතල, රස්නය, බඩගින්න, පිපාසය, ඉවසන්න පුරුදු වෙන්න ඕනෑ. කායික පීඩා, නින්දා අපහාස මෙත් සිතින් ඉවසන්න පුරුදු වෙන්න ඕනෑ. එය ජීවිතයට යහපත, සැපත සලසන මංගල කරුණකි. සෝවචස්සතා කියන කීකරුකම ඇතිවන්නේ ඉවසීම තිබෙන පුද්ගලයාට යි.

අනෙක් මංගල කාරණය (සමණානං ච දස්සනං) ශ්‍රමණයන් වහන්සේලා දැකීමයි. එවිට ශ්‍රමණයන් වහන්සේලාගේ ධර්මය අසන්න ලැබෙනවා. (කාලේන ධම්ම සාකච්ඡා) ශ්‍රමණයන් වහන්සේලා සමග සුදුසු කාලයට ධර්මය සාකච්ඡා කරනවා. ඒ හැම දෙයක් ම උතුම් මංගල කරුණයි. ඒ වගේම ඔබ ධර්මය ශ්‍රවණය කරනවානම් එහි ආනිශංස පහකි.

1. අස්සුතං සුණාති – නො ඇසු දහම් කරුණු අසන්නට ලැබෙයි

2. සුතං පරියෝදපේති – ඇසූ දහම් කරුණු නැවත අසන්නට ලැබීමෙන් වඩාත් පැහැදිලි වේ

3. කංඛා විතරති - සැක තැන් නිරවුල් වේ

4. දිඨඨිං උජුං කරෝති – ධර්ම මාර්ගය සම්බන්ධයෙන් දෘෂ්ඨිය සෘජු වේ.

5. චිත්ත මස්ස පසීදති - සිතේ පැහැදීම ඇති වේ.

ඊළඟ ගාථාවෙන් මෙසේ පැහැදිලි කර ඇත.

තපො ච බ්‍රහ්ම චරියං ච
අරිය සච්චාන දස්සනං
නිබ්බාණ සච්ජිකිරියා ච
ඒතං මංගල මුත්තමං

තපසෙහි විසීම ද
බඹසරෙහි හැසිරීම ද
ආර්ය සත්‍යයන් දැකීම ද
නිවන අවබෝධ වීමද

මේවා උතුම් මඟුල් කරුණු ය බ්‍රහ්මචාරී ජීවිතයක් කරා. . .

ගිහි ජීවිතය ගත කරද්දී, දන් දී, සිල් රැක, ධර්මය ශ්‍රවණය කර, ඉවසීමෙන්, කීකරුව තවදුරටත් ධර්මය සාකච්ඡා කරද්දී ජීවිතය ගැන, සංසාරය ගැන අවබෝධයක් ඇතිවෙනවා. ඉන්පසු වඩාත් හොඳින් පිළිවෙත් පිරීම පිණිස උතුම් පැවිදි බව ලබනවා. පැවිදි වී සීලාදි ගුණ ධර්මයන් තුළ වඩාත් හොඳින් හික්මෙනවා. (බ්‍රහ්මාචරිය) බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කරමින් නිවන්මඟ පුරුදු කරනවා. ගිහි ශ්‍රාවකයන් වුවත්, උතුම් රහතන් වහන්සේලා අනුගමනය කොට මාසයකට හතර වතාවක් උපෝසථ දිනවල දී බඹසර සිල් ආරක්ෂා කරනවා. එයත් උතුම් මංගල කාරණාවක්.

මේ ආකාරයට නිවන් මගේ පිළිවෙත් පුරද්දී (අරිය සච්චාන දස්සනං) චතුරාර්ය සත්‍යය අවබෝධ හෙවත් සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීම පිණිස උතුම් මංගල කරණු සම්පූර්ණ වෙනවා. පැවිදි උතුමන්ට අග්‍රම මංගල කාරණය වූ අමා මහ නිවන සාක්ෂාත් කරන්නට අවස්ථාව ලැබෙනවා. එවැනි රහතන් වහන්සේ නමකට අත්දකින්න ලැබෙනා වටිනාම මංගල කාරණයක් තිබෙනවා. ඒ තමයි (ථුට්ඨස්ස ලෝක ධම්මෙහි චිිත්තං යස්ස න කම්පති) අටලෝ දහමින් කිසිසේත් ම කම්පා නොවන සිතක් ඇතිවෙනවා. ලාභ – අලාභ, අයස - යස, නින්දා – ප්‍රශංසා, දුක - සැප යන අටලෝ දහම ඉදිරියේ දී අකම්පිතව සම සිතින්, සම මෙතින් වැඩ ඉන්නවා. (අසෝකං විරජං කේමං) ශෝක රහිත වූ, කෙලෙස් රහිත වූ, බිය රහිත තැන වූ අමාමහ නිවන ම ලබා ගන්නවා. (ඒතාදිසාති කත්වාන) මේ මංගල කරුණු සම්පූර්ණ කොට (සබ්බත්ථ මපරාජිතා) කිසි තැනක පරාජය නොවී (සබ්බන්ථ සොත්ථිං ගච්ඡන්ති ) හැම තැනකම යහපත කරා යනවා. (තං තේසං මංගල මුත්තමං ති )ඒ නිසා මේවාට උතුම් මංගල කරුණු යැයි කියයි.

එනිසා ඔබ තේරුම් ගන්න මංගල කාරණා ආරම්භ වූයේ බාලයන් සේවනය නො කිරීමෙනි. අවසන් වන්නේ නිවන ස්පර්ෂ කිරීමෙනි. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූ කාලයකට මේ මංගල කාරණා සියල්ලක් ම ලැබෙනවා. එනිසා අප මේ දුර්ලභ ක්ෂණ සම්පත්තිය තුළ ඒ උතුම් මංගල කරුණු ඇති කරගන්න උත්සාහවන්ත වෙමු.

සෑම දෙනාට ම උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් මංගල කරුණු ජීවිතයට සම්බන්ධ කරගෙන මේ ගෞතම බුදු සසුනේ දී ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට වාසනාව උදාවේවා.

 

උඳුවප් පුර අටවක පෝය


උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 15 වන දා සෙනසුරාදා පූර්ව භාග 4.17 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 06.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 15 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය දෙසැම්බර් 22 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]