UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මානුපස්සනාව - ආයතන විදර්ශනාව:  යා යුතු ගමන...

ආයතන විදර්ශනාව: 

යා යුතු ගමන...

බුදු දහම යනු ඕනෑම කෙනෙකුට අනුගමනය කළ හැකි දහමක්. ජාති, ආගම්, භේදවලින් තොර දහමක්. ඒ අනුව ඔබ අප සියලු දෙනාට ම ඒ උතුම් සදහම් වාසනාව ලැබුණේ සංසාරයේ පිනකට. එසේනම්, කවුුරුත් සම්මා සම්බුද්ධ ශාසනය වැළඳගෙන සිත සදා ගැනීමේ වැඩපිළිවෙළට යොමු වී , සියලු පව් නො කිරීම, සියලු කුසල් කිරීම ආදී අවවාදයන් හොඳින් මතක තබාගෙන, ශීල, සමාධි, ප්‍රඥා ගුණ ධර්ම දියුණුවෙන්, ධම්මායතනය පිළිබඳව හොඳට මතක තබා ගෙන ඉදිරියට යා යුතු යි.

පසුගිය සතිවල ස්කන්ධ පිළිබඳව, ආයතන පිළිබඳව සඳහන් කළා. ආයතනවල සඳහන් ධම්මායතන කොටස පිළිබඳව දැන ගැනීම ඉතාමත් ම වැදගත්. රූපායතනය යනුවෙන් සඳහන් කළේ රූප යි. ශබ්ධායතනය යනු ශබ්ද යි. ගණ්ධායතනය යනු ගන්ධය යි. රසායතනය යනු රස යි. පොට්ඨබ්භායතනය යනු ස්පර්ශය යි. ධම්මායතනය පිළිබඳව සලකා බලද්දී චෛතසික පනස් දෙක යි, සුඛම රූප දාසය යි, නිර්වාණය යි යන කොටස් සියල්ල වෙයි. එසේනම්, ධම්මායතනයට, ආයතනවලදී වැඩිපුරම සංඛ්‍යාවක් අයත් වෙයි. මනායතනයට සිත් අසූනවය අයත්වෙයි.

මෙතෙක් වූ ධර්ම සම්පත්තිය අතුරෙන් නිර්වාණය විදර්ශනාවට ගන්නේ නැහැ. භාවනාවකට ගන්නේ නැහැ. නිවනට පත්වුණහම ලැබෙන්නේ ස්කන්ධ ආයතන ආදිය කිසිවක් නැති උතුම් සුවයක්. නැවත ඉපදීමක් නැති තැන නිර්වාණය යි. එය අවබෝධකර ගැනීමටයි සියලුම දාන , ශීල, භාවනා පින්කම් ද ශීල, සමාධි, ප්‍රඥා ආදිය සියල්ල සිදු කරන්නේ. තමන්ගේ දහම් දැනුම දියුණු කරගත් විට විශාල ශක්තියක් ගොඩ නංවා ගත හැකි යි.

ධර්මය පිළිබඳ විශාල දැනුමක් තමන්ට ලැබෙයි. චෛතසික පනස් දෙක පිළිබඳව පෙර ලිපි මඟින් සඳහන් කළා. අන්‍ය සමාන චෛතසික දහ තුන යි. ශෝභන චෛතසික විසි පහ යි. සියල්ල තිස් අටක් වෙයි. එසේම අකුසල චෛතසික දාහතර ද එකතු කළ විට පනස් දෙකක් වන අතර මේ සියල්ල එකක් ගානෙ ම මෙනෙහි කළ යුතු යි. මේවා පොතක සටහන් කර තබාගෙන මතක තබා ගත් පසුව පෙර ක්‍රමයට ම චෛතසික පනස් දෙකම එකක් පාසාම ධම්මායතන විදර්ශනා වගන්තියේ දී මෙනෙහි කළ යුතු යි.

සබ්භ චිත්ත සාධාරණ චෛතසිකයේ පටන් අවසාන පඤ්ඤා චෛතසිකය දක්වා පනස් දෙකක් වන අතර මෙය එකක් පාසා ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැන මෙනෙහි කළ යුතු යි. ඵස්ස, වේදනා ,සංඥා, චේතනා, ඒකග්‍රතා, ජීවිතේන්ද්‍රිය , මනසිකාර ආදී හතම අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් එකක් පාසා ම මෙනෙහි කළ යුතු යි. විතක්ක, විචාර, අධිමෝක්ඛ,විරිය, ඡන්ද, පීති ආදී ප්‍රකීර්ණ චෛතසික හය ද අනිත්‍ය, දුක්ඛ , අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. එසේම අකුසල චෛතසික දාහතර ද එකක් පාසා ම අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. සෝභන චෛතසික විසි පහ ද එකක් පාසාම අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. එය මෙලොවට පමණක් නොවෙයි. සංසාරයට ම ගමන් කරන නිසා මේ පිළිබඳ හසල දැනුමක් කවුරුත් ඇති කර ගන්න.

එසේම ධම්මායතනයට සම්බන්ධ සුඛම රූප දාසයම ආපෝ ධාතු රූපයෙන් පටන්ගෙන අනිත්‍ය ය, දුක්ඛ, අනාත්ම වශයෙන් එකක් පාසාම මෙනෙහි කිරීම ධම්මායතන විදර්ශනාව යි. කිසිම දෙයකට නිර්වාණය ගන්නේ නැහැ. එවිට ධම්මායතනයට ධර්ම හැටනවයක් වෙයි. (චෛතසික පනස් දෙකයි, සුඛම රූප දාසය යි, නිර්වාණය යි) මනායතනයට සියලුම සිත් අසුනවයම අයත් වෙයි.

පංචස්ඛන්ධය පිළිබඳව, ආයතන පිළිබඳව මනා වැටහීමක් ඇති කරගත්තොත්, තවත් ඉදිරියට ම ගමන් කළ හැකි යි. මේ සියල්ල ක්‍රියාත්මක වන විට සිත සහ සිතිවිලි වශයෙන් හඳුන්වයි. මේවා රූප නොවන අතර සිතිවිලි වෙයි. සිත ද රූපයක් නොවන අතර එය ද අරූප වෙයි. චෛතසික ද රූප නොවන අතර අරූප වෙයි. සුඛම රූප, රූප සහගත වන අතර නිර්වාණය රූපයන්ගෙන් තොර වෙයි.

භාවනාව යනු සිතේ වැඩීම යි. සිත දියුණු කර ගැනීම යි. සිත දියුණු කරගත් විට තමන්ට ඉදිරි ගමන පහසුවෙන් යා හැකි යි. මේ සඳහා ශීලය, සමාධිය , ප්‍රඥාව අවශ්‍ය වෙයි. ඡන්ද ඍද්ධිපාද,චිත්ත ඍද්ධිපාද, විරිය ඍද්ධිපාද, වීමංස ඍද්ධිපාද, හොඳටම අවශ්‍ය කරනවා. එසේ ම භාවනා ක්‍රම ඉදිරියට ගෙන යන්න සති සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපේක්ඛා සම්බොජ්ඣංගය අනිවාර්යයෙන් වැඩෙනවා. මේවා මෙනෙහි කරන වරක් පාසාම බෝධි අංග වැඩෙන විට චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා උපනිශ්‍රය වෙනවා. බෝධි යනු බුදු, පසේ බුදු, මහ රහත් යන තනතුරු යි. ඒවා ලබා ගන්නට අවශ්‍ය අංග හත යි. මේවා සප්ත බොජ්ඣංග යනුවෙන් හඳුන්වන අතර මේවා හට ගන්නේ සිතෙහි පමණ යි. එසේනම්, සිත දියුණුකරගනු ලැබුවොත්, බොජ්ඣංග ධර්ම ද හොඳින් වඩා ගන්නට පුළුවන්.

බෝධිපාක්ෂික ධර්ම තිස් හතම මෙනෙහි කරන වරක් පාසා ම සිතෙහි පහළ වෙනවා. සිහි කල්පනාවෙන් භාවනා වගන්ති මෙනෙහි කරන්න. සජ්ඣායනය කරන්න, එවිට සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර ඍද්ධිපාද වැඩෙනවා. සතර සම්‍යක් ප්‍රධන් වීර්යය වැඩෙනවා. පඤ්චෙන්ද්‍රිය, පඤ්චබල හොඳින් වැඩෙනවා. සප්ත බොජ්ඣංගය අනිවාර්යයෙන් වැඩෙනවා. මාර්ගාංග අට සිතෙහි පහළ වෙනවා. මේ කරුණු තිස් හත බෝධි පාක්ෂික ධර්ම වෙයි. මෙය මෙනෙහි කරන වරක් පාසා ම එක සිතක පහළ වෙනවා. මේ පිළිබඳ හොඳ වැටහීමකින් යුතු ව ධම්මානුපස්සනාවේ ගැඹුරු ධර්ම කාරණාවන් හොඳට අවබෝධයෙන් දැන තේරුම් ඇතිකරගෙන , කටයුතු කිරීම ඉතාමත් ම වැදගත්. එය තම ගුණ ධර්මවල දියුණුව පිණිස හේතු වෙයි. සෝවාන්, සකදාගාමී , අනාගාමී, අර්හත් මාර්ග ඵලයන්ට හේතු වන්නේ බෝධි පාක්ෂික ධර්මයන්ගේ දියුණුව යි. මේවා දියුණු නොකර චතුරාර්ය සත්‍ය, නිවනට පත්වීම ලබන්න පුළුවන්කමක් නැහැ. මේ ගැන හසල දැනුමක් බුදු දහමෙන් ලබාගෙන බුද්ධාදී උතුමන් අවබෝධ කරන්නට යෙදුණු සම්මා දිට්ඨි , සම්මා සංකප්ප ආදී ආර්ය ගුණාංග දියුණුවට පත් කරගනු ලැබුවොත්, නිවනට පත්වන්න අපහසු නැහැ. කරදර පීඩා බහුල වුව ද මේවා මැඩගෙන නිවන් මඟ යා යුතු යි.

කෙතරම් කරදර , පීඩා හමුවේ වුව ද බෝසත්වරු තම ගමන් මඟ අවසන් කළේ නිවන් මඟට පැමිණීමෙන්. පාරමී ගමන නොයෙක් කරදර, පීඩා, බාධක ඇති වුව ද, ඒ සියල්ල මැඩගෙන නිවන දක්වා ම යා යුතු යි යන අවවාදය යි බුදු පියාණන් වහන්සේ අපට ලබා දෙන පණිවුඩ ය. එසේනම්, ගිහි ගෙදර කරදර කම්කටොළු බාධක වැඩි වී නිදහස අඩු වුව ද කරදර , පීඩා මැඩගෙන මේ ගමන ඉදිරියට යා යුතු යි. විශ්‍රාම කාලයේ ද වැඩ රාජකාරි වෙනුවෙන් කැප නො කර, පරලොව වෙනුවෙන් , පින් රැස් කරගැනීමට කටයුතු කළොත් බොහොම වටිනවා. එසේනම් කවුරුත් ධම්මායතනයේ කරුණු දැන, එකක් පාසාම මෙනෙහි කරන්න.

මීළඟ ලිපියෙන් ධම්මායතනයට, මනායතනයට සම්බන්ධ සියලුම ධර්මයන් එකක් පාසාම විදර්ශනාවට ලක්වන අයුරු සඳහන් කරමු.

 

උඳුවප් පුර අටවක පෝය


උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 15 වන දා සෙනසුරාදා පූර්ව භාග 4.17 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 06.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 15 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය දෙසැම්බර් 22 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]