UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාමය හැඳිනීමට පමණි

නාමය හැඳිනීමට පමණි

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයේ තමාගේ නමෙහි අර්ථයක් ඇතැයි සිතා, යහපත් නමක් තබා ගැනීමට උත්සාහ කළ "පාපක" නම් භික්ෂුන් වහන්සේ මුල් කොට මෙම ජාතක කතාව වදාළ සේක.

යටගිය දවස දඹදිව තක්සලා නුවර උපත ලැබු බෝසතාණන් වහන්සේ දිසාපාමොක් ඇදුරුව පන්සියයක් පමණ වූ සිසු පිරිසට ශිල්ප ශාස්ත්‍ර උගන්වන්නාහ. මේ සිසු පිරිස අතර 'පාපක' නමින් හැඳින් වූ එක් ශිෂ්‍යයෙක් වූවේ ය. ඔහුගේ නම හේතු කොට ගෙන අනෙකුත් ශිෂ්‍යයෝ ඔහුට නොයෙකුත් විහිළු,තහළු කරන්නට වූහ. තැන නො තැන නො බලා තමන් අපහාසයට ලක් කිරීමට කළකිරී ඔහු දිසාපාමොක් ඇදුරුතුමන් වෙත ගොස්

”ඇදුරුතුමනි, මාගේ නම නුසුදුසු ය. නාමය නිසා මා විහිළුවට ලක්ව ඇත. එබැවින් මට වෙනත් නමක් තබනු මැනයි“ පැවසී ය.

ඒ ඇසූ බෝසත් ඇදුරුතුමා ඔහු අමතා

”දරුව, ජනපදයන්හි ඇවිද තොපගේ සිත් ගත්තා වූ යම් නමක් අසන ලද්දේ ද, එය මට කියව. ඒ නාමය වෙනස් කොට මම නුඹට නමක් තබන්නෙමි.”

එය ඇසූ පාපක ගමින් ගමට යමින් එක් නගරයකට පැමිණියේ ය. එහි දී ඒ නුවර වාසය කළ ජීවක නම් තැනැත්තෙක් මියගොස් ඥාතීන් විසින් සිරුර දවන්නට ගෙන යනු දුටු පාපක ඔවුන් වෙත ගොස් ඔහුගේ නම ඇසී ය.

”මේ ජීවක ය.

”මොහු මියගියේ කවර හේතුවක් නිසා දැ?”

එවිට ඒ ඥාති පිරිස, ”එම්බා මානවකය, ජීවකයාත්, ආජීවකයාත් යන මේ හැම දෙනාම මිය යන්නේ ය. නාමය වූ කලී හඳුනා ගැනීම් මාත්‍රයක් පමණි. නුඹ මහ මෝඩ පුද්ගලයකු මෙන් ප්‍රශ්න නගන්නෙහි” ය කීහ.

එය ඇසූ පාපක මධ්‍යම නුවරට පැමිණියේ ය. එවිට එක්තරා දාසියක් බැල මෙහෙවර නො කිරීම නිසා අයිතිකරු විසින් ඇය ගසක බැඳ වැලකින් පහර ගසනු දිටී ය. පාපක එතැනට ගොස් ඇය බැල මෙහෙවර නො කිරීම නිසා පහර දෙන බව දැන ඇයගේ නම ඇසුවේ ය. එවිට ඔහුට දැන ගන්නට ලැබුණේ ඇගේ නම ධනපාලී බව ය. එවිට ඔහු ඒ ස්වාමියා අමතා,

”මැය ධනපාලි යනුවෙන් නම් ඇතිව කුමක් නිසා මෙසේ බැල මෙහෙවර කරන්නේදැයි” යි ඇසු විට,

”මානවකය, ධනපාලත්, අධනපාලත් දුප්පත් වන්නේ ය. නාමය වූ කලී හැඳිනීමේ මාත්‍රයක් පමණි. එසේ හෙයින් තොප මෝඩයකු මෙන් ප්‍රශ්න නගන්නෙහි යැ”යි කී ය.

එය ඇසූ පාපක නාමයන් කෙරෙහි බොහෝ මධ්‍යස්ථව ඒ නුවරින් පිටත්ව එන අතර මග දී මංමුලා වූ පුරුෂයෙකු දැක

”ඔබ කුමක් නිසා මෙහි නිකරුණේ ඇවිදින්නෙහි ද?”

”මම මං මුළා වීමි”

”නුඹගේ නාමය කුමක් ද?”

” මාගේ නම පන්ථක වෙයි”

”පන්ථකයෝත් මං මුළා වන්නෙහි දැ?” යි ඇසූ කල

”මානවකය, පන්ථකයෝත් අපන්ථකයෝත් මං මුළා වෙත්. නාමය වූ කලී හැඳින්වීමේ මාත්‍රයක් පමණි. තොප මෝඩයකු මෙන් ප්‍රශ්න කරන්නෙහි යැ”යි කී ය.

ඉන්පසු පාපක බෝසතුන් ඇදුරුතුමා වෙත ගොස්

”ආචාරින් වහන්ස, ආජීවකයෝත්, ජීවකයෝත් මිය යන්නාහ, ධනපාලත්, අධනපාලත් දුප්පත් වන්නාහ, පන්ථකයෝත්, අපන්ථකයෝත් මං මුලා වන්නාහ. එසේ හෙයින් නාමය නම් හැඳින්වීමේ මාත්‍රයක් පමණක් වන්නේ ය. එනිසා මා හට වෙනත් නාමය අවශ්‍ය නැති බව කී ය.

එකල පාපක නම් ශිෂ්‍යයා නම් දැන් මේ පාපක නම් භික්ෂූන් වහන්සේ ය. ශිෂ්‍ය පිරිස නම් බුදු පිරිස ය. දිසාපාමොක් ඇදුරු නම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ය.

 

උඳුවප් පුර අටවක පෝය


උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 15 වන දා සෙනසුරාදා පූර්ව භාග 4.17 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 06.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 15 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය දෙසැම්බර් 22 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]