Print this Article


තෙවළා බුදු වදන් අතරින් -15: නිරෝගිබවේ රහස

තෙවළා බුදු වදන් අතරින් -12:

නිරෝගි බවේ රහස

" ආහාරයෙහි පමණ දැන කටයුතු කරන්නෙකුට ලැබෙන ප්‍රතිලාභ තුනක් බුදුරදුන් විසින් මෙහිදීි පෙන්වා දෙන ලදී. කායික සුවයත්, මැනවින් ආහාර ජීර්ණය වීමත්, දීර්ඝායුස ලැබීමත් එම ප්‍රතිලාභ තුනයි."

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි කොසොල් රජු අරභයා මෙම දොණපාක සූත්‍රය දේශනා කොට වදාළහ. නිතර සහල් නැළියක පමණ බත් අනුභව කළ කොසොල් රජු දිනක් බුදුරදුන් හමුවට ගොස් උන්වහන්සේට නමස්කාර කොට එකත් පසෙක හිඳගත්තේ ය.

එහෙත් අධික ලෙස ආහාර අනුභවකොට සිටි හෙයින් කොසොල් රජුට බුදුරදුන් සමඟ පහසුවෙන් කරුණු සාකච්ඡා කිරීමට නොහැකි විය. නිදිමත හා අලස ගතිය හේතුවෙන් ඈනුම් අරින්නට විය. අධික ආහාර අනුභවයෙන් පීඩාවට පත්ව සිටි රජතුමා දුටු බුදුරජාණන් වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන්, හැම කල්හිම සිහි නුවණින් යුක්ත, ආහාරයෙහි පමණ දන්නා තැනැත්තාගේ දුක්ඛ දායක වේදනා සමනය වන බවත්, ඔහු ගත් ආහාරය පහසුවෙන් දිරවන බවත්, ඒ හේතුවෙන් දීර්ඝායුෂ ආරක්ෂා වන බවත් පාලි ගාථාවකින් දේශනා කළහ.

බුදුරජාණන් වහන්සේ කොසොල් රජුට අනුශාසනා කරන අවස්ථාවෙහි ඒ අසල සුදස්සන නම් මානවකයා ද සිටියේ ය. ඔහු ඇමතූ රජු දිනපතා තමන් ආහාර අනුභව කරන අවස්ථාවෙහි බුදුරදුන් විසින් දේශනා කළ එම ගාථාව තමා අභියස සිට ප්‍රකාශ කරන මෙන් දැන්වී ය. ඒ වෙනුවෙන් ඔහුට කහවනු සියයක වැටුපක් ද දිනපතා ගෙවන බව රජතුමා පැවසුවේ ය. රජුගේ අණ පිළිගත් සුදස්සන මානවකයා බුදුරදුන්ගෙන් එම ගාථාව මැනවින් ඉගෙන රජ මැදුරට ගොස් රජු ආහාර අනුභව කිරීමට සූදානම් වන විට ප්‍රකාශ කළේ ය. එය ඇසීමෙන් රජු ක්‍රමයෙන් තමන් ගන්නා ආහාර ප්‍රමාණය අඩු කළ අතර පසුකලෙක සැහැල්ලු ශරීර ඇත්තෙක් බවට පත් විය. තමන් ලද කායික සැහැල්ලුව පිළිබඳ අතිශය පී‍්‍රතියට පත් කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ මෙලොව අභිවෘද්ධියෙන් ද , පරලොව අභිවෘද්ධියෙන් ද තමන්ට අනුකම්පා කළ සේකැයි උන්වහන්සේට ප්‍රශංසා කළේ ය. සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ එන දොණපාක සූත්‍රයෙහි ඇතුළත් මෙම පුවත ගිහි පැවිදි දෙපක්ෂයටම බෙහෙවින් අදාළ වේ.

පාලි ‘දෝණ’ යන්නෙන් නැළි හතරක් අදහස් වේ. ඒ අනුව සහල් නැළි හතරක බත් හා එයට ප්‍රමාණවත් ව්‍යඤ්ජන ද කොසොල් රජ එක්වරකට අනුභව කර ඇති බව ගම්‍ය වේ.නැළි ප්‍රමාණය කෙසේ වුවද, ඔහු එක්වරකට විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කිරීමට පුරුදුව සිටි බව පැහැදිලි ය. දිවා ආහාරයෙන් පසුව බුදුරදුන් හමුවට ගිය කොසොල්රජතුමා බත් මත හේතුවෙන් අධික ලෙස පීඩාවට පත්වී ය. රජු අනුභව කරන අධික ආහාර ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරගැනීමට අවශ්‍ය උපක්‍රමය බුදුරදුන් විසින් සුදස්සන මානවකයාට පැහැදිලි කළ අයුරු අට්ඨකථාවෙහි විස්තරාත්මකව දැක්වේ. ඒ අනුව අධික ලෙස ආහාර අනුභව කිරීමේ රජුගේ පුරුද්ද ක්‍රමයෙන් පියවර කීපයක් යටතේ පාලනය කොට ඇති බව පැහැදිලි ය. පළමුව සහල් නැළි හතරක බත් අනුභව කිරීමට පුරුදුව සිටි රජු අවසානයේ එක් සහල් නැළියකට පමණක් සීමාවන පරිදි තම ආහාර ගැනීමේ පුරුද්ද පාලනය කරගත්තේ ය. පෙර අධික ආහාර අනුභවය හේතුවෙන් පීඩා විඳි කොසොල් රජු, පමණ දැන ආහාර අනුභවයට හුරු වීම නිසා පසුකලෙක ශාරීරික වේදනාවන්ගෙන් මිදුණු අතර නිරෝගී බවත්, දීර්ඝායුෂ ත් ලැබුවේ ය. මෙයින් ලද කායික මානසික සැහැල්ලුව නිසා ඔහුගේ සිත පී‍්‍රතියෙන් උද්දාමයට පත්විය. පමණ දැන ආහාර ගැනීම (භොජනෙමත්තඤ්ඤුතා) ගිහි පැවිදි දෙපක්ෂයට ම නිර්දේශ කර තිබේ.

භික්ෂු, භික්ෂුණී දෙපිරිසගේ ආහාර අනුභවයෙහි අරමුණ හා එය ක්‍රියාවට නැංවිය යුත්තේ කෙසේ ද? යන්න පිණ්ඩපාත භෝජනය සම්බන්ධයෙන් පනවා ඇති ශික්ෂාපද හා විධිනියමයන් මගින් පැහැදිලි වේ. කොසොල් රජතුමා අරමුණු කරගෙන දේශීත මෙම සූත්‍රය සමස්ත ගිහි සමාජයට ම පොදුවේ. ගිහි වුව ද , පැවිදි වුව ද තමා ගන්නා ආහාරය කුමක් වුවත් එය පමණ දැන අනුභව කිරීම අධ්‍යාත්මික විමුක්තියට පමණක් නොව කායික නිරෝගී බවට ද හේතුවක් වේ. අධික මෙන්ම අවිචාරවත් ලෙස ආහාර පාන ගැනීම හේතුවෙන් බොහෝ දෙනෙකු විවිධ අයුරින් කායික රෝගීන් බවට පත්ව තිබේ. ඒ අතරින් ඇතැම් රෝග මාරාන්තික ඒවා බව වෛද්‍ය වාර්තාවලින් ද සනාථ වේ. පෙර අප නො ඇසු විරූ රෝග ඒ අතර වේ. අතීතයේ වියපත් පුද්ගලයන්ට පමණක් වැළඳුණු ඇතැම් රෝග වර්තමානයේ කුඩා දරුවන්ට ද වැළඳී තිබීම ඛේදජනක ය. පාසල් ළමුන්ට ද දියවැඩියාව වැළඳී තිබේ. මේ සඳහා අධික පැණි රසැති හා පිටි සහිත ආහාර පමණ ඉක්මවා අනුභව කිරීම බලා පා ඇති බව පැහැදිලි ය.

ආහාරයෙහි පමණ දැන කටයුතු කරන්නෙකුට ලැබෙන ප්‍රතිලාභ තුනක් බුදුරදුන් විසින් මෙහිදීි පෙන්වා දෙන ලදී. කායික සුවයත්, මැනවින් ආහාර ජීර්ණය වීමත්, දීර්ඝායුස ලැබීමත් එම ප්‍රතිලාභ තුනයි. අනුභව කළ ආහාර කායික සුවයට හිතකර නොවන විට එයින් ශාරීරික පීඩා ඇති වේ. වර්තමානයේ බොහෝ දෙනෙකුට වැළඳී තිබෙන ලෙඩ රෝග එහි ප්‍රතිඵලය යි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවන්නේ ආහාර වේල් අතර පරතරයක් පවත්වා නොගෙන නිතර නිතර ආහාර ගැනීම නිසයි. කය නොවෙහෙසා වැඩ කරන පැවිද්දෙකු ඝණ ආහාර වේල් දෙකකින් යැපෙන අතර, කය වෙහෙසා වැඩ කරන ගිහියෙකුට ප්‍රධාන ආහාර වේල් තුනක් අවශ්‍ය වේ. එහෙත් එය පමණ ඉක්මවා ගත්විට යට දක්වන ලද ප්‍රතිලාභ අත්පත්කරගත නොහැකි ය. ආහාර අනුභවයේ මූලික අරමුණ වන්නේ කායික සුවයත්, දිගුකල් පැවැත්මත් ය. අප ගන්නා ආහාර පානවලින් එම අරමුණ ඉටු නොවන විට ලෞකික වශයෙන් පමණක් නොව අධ්‍යාත්මික වශයෙන් ද කිසිවක් අත්පත්කරගත නොහැකි ය.

කෙනෙකුට ලෞකික සමෘද්ධියක් ඇතිකරගත හැකි වන්නේ කායික මානසික නිරෝගී බව මනාව ඇත්නම් පමණි. භාවනාවෙන් ලබන අධ්‍යාත්මික ඵල අත්පත්කරගැනීමට ද සැහැල්ලු මෙන්ම නිරෝගී කයක් අවශ්‍ය වේ. මේ සියල්ල ලැබෙන්නේ ආහාරයෙන් ය .එය පාලනයකින් තොරව සිදු කරන අයෙකුට දෙලොව දියුණුව අපේක්ෂා කළ නොහැකි ය. අධික ලෙස ආහාර අනුභව කිරීමේ නරක පුරුද්ද පාලනය කරගැනීමට උපදෙස් දුන් බුදුරදුන් තමාට දෙලොවින් ම පිහිට වූ බවත්, අනුකම්පා කළ බවත් පවසමින් කොසොල් රජු උදන් ඇනුයේ මේ නිසයි. වෙළෙඳ දැන්වීම්වලින් ඉදිරිපත් කෙරෙන ඇතැම් දෑ කෙරෙහි විශ්වාසය නොතබා තම ආදායමට සරිලන පරිද්දෙන් හැකිතාක් ස්වභාවික ආහාරපාන පමණ දැන අනුභව කිරීමෙන් කායික මෙන්ම මානසික සුවයත් අත්පත්කරගත හැකි ය . සියලු ප්‍රතිලාභ අතර උසස් ම ලාභය වන නිරෝගිකම ලැබීමේ රහස එයයි.