Print this Article


කරුණා ගුණයෙන් ප්‍රඥාවට ළංවෙමු

කරුණා ගුණයෙන් ප්‍රඥාවට ළංවෙමු

" තථාගත බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණාව ඔබ, ඔබේ සිත තුළ දැකගෙන ඔබ, ඔබට ම හිතවන්ත වන්න. කරුණාවන්ත වන්න."

ශාස්තෘවරයාණන් වහන්සේ නමක් විසින් තම ශ්‍රාවකයනට යමක් අනුශාසනා කටයුතු වන්නේ ද? ඒ සියල්ල මැනවින් මා විසින් ඔබට දේශනා කොට වදාළහ. එසේ ම පෙන්වාදී ඇත්තේ ය. ඔබ ඒ දේ මනාව සිදු කරන්න. එසේ නොමැති වූවහොත් ශාස්තෘවරයාණන් වහන්සේගේ ඇවෑමෙන් හෝ කුමන හෝ අවස්ථාවක දී අප අපේ මාර්ගය අනුගමනය නො කළේ යැයි ඔබට දුක්වෙන්න සිදුවේවි. එනම් විපිළිසර වන්නට සිදුවේවි.

එසේ නොවන්නට “අප්පමත්තා ආතාපිනො පහිතත්තා” එනම් කුසල් ධර්ම මාර්ගයට, සමථ විදර්ශනා මාර්ගයට, ප්‍රමාද නොවන්න. එනම් ඒ මාර්ගයට එකතු වෙන්න. ‘ආතාපිනෝ’ රාගාධි කෙලෙස් තැවීමෙන් යුක්ත වෙන්න. ‘පහිතත්තා’ අවබෝධයෙන් යුක්තව අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ තිලක්ඛන ධර්මය අවබෝධ කර ගැනීම හෙවත් “උදයත්ථ ගාමිනී පඤ්ඤාය” නම් වූ හටගත් හැම දෙයක් ම නැතිව යනවා නම් වූ අවබෝධයෙන් ඇති කර ගන්නා වූ ප්‍රඥාවෙන් යුක්ත වෙන්න. එනම් අත්හැරීම පුරුදු කරන්න.

මහණෙනි, කුසල් සිදු කිරීම, කුසල් මාර්ගයට එකතුවීමට ඔබ සියලු දෙනාටම හැකි ය. එසේ කරන්නට නො හැකි නම් කිසි විටෙකත් කුසල් මාර්ගයට එකතුවෙන්නට යැයි මා ඔබට අනුශාසනා කරන්නේ නැහැ. මහණෙනි, අකුසල් අත්හරින්න පුළුවනි. අකුසලයෙන් බැහැර වෙන්න පුළුවනි. අකුසලයෙන් බැහැරවෙන්න නොහැකිනම් අකුසලයෙන් බැහැරවන විට අයහපතක් සිදුවෙනවා නම්, ඔබට කිසි විටෙකවත් මා අකුසලයෙන් ඈත්වෙන්නට යැයි සඳහන් කරන්නේ නැහැ. කුසල් සිදු කරන විට යහපතක් වෙනවා. අකුසලයෙන් බැහැරවන විටත් යහපතක් සිදු වෙනවා. ඒ නිසා කුසලයට එකතු වෙන්න. අකුසලයෙන් බැහැර වෙන්න. මෙම ක්‍රියාවන් දෙකින් ම ඔබට සිදුවන්නේ යහපතක්. අකුසලයෙන් යහපතක් සිදුවෙනවා නම් කිසිවිටෙකත් අකුසල් කරන්නට එපා යැයි මා ඔබට සඳහන් කරන්නේ නැහැ. අකුසලයෙන් සිදු වන්නේ අයහපතක්මයි. දීර්ඝ වූ සංසාර ගමනේ සියලු සත්වයන්ගේ සසර ස්වභාවය පිළිබඳව චුතූපපාත ඤාණයෙන් මා දුටුවා. කර්මානුරූපව ගමන් කරන සත්වයෝ වැඩි පිරිසක් අකුසල කර්ම සිදු කරමින් මේ සංසාර ගමනේ හඬාගෙන, වැළපීගෙන, සතර අපාය ප්‍රධාන කොටගෙන දුක්විඳි බව මා නුවණින් දුටුවා. එනිසයි ඔබට කරුණාවෙන් අනුශාසනා කරන්නේ. අකුසලයෙන් බැහැර වෙන්න. කුසල් මාර්ගයට එකතුවෙන්න.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ උතුම් දහම් අවවාද භාග්‍යවතුන් වහන්සේගේ මහාකරුණා ගුණය හැටියට ඔබ දකින්න. ඒ මහා කරුණා ගුණය තමාගේ ජීවිතයට එකතු කර ගන්න. භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණා ගුණය මගේ ජීවිතයට දැන් දැනෙන්නට පටන් ගන්නවා. ඔබට පෙර සඳහන් කළා සේ මෙත්තා නම් වූ හිතවන්තභාවය, කරුණාව නම් වූ අනුන්ගේ දුකක් දුටුවිට දී හදවතේ ඇතිවන කම්පනය, උණුවෙන ස්වභාවය. “මුදිතා” නම් වූ අන් අයගේ දියුණුවේ දී සතුටුවෙන ස්වභාවය, එසේ නොමැති නම් අන් අයගේ දියුණුවට කැමැති වන ස්වභාවය. “උපේක්ඛා” නම් මධ්‍යස්ථභාවය සිතෙහි සකසා ගැනීමයි. විදර්ශනා උපේක්ෂාවේ දී නම් සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ තිලක්ඛන ධර්මයට යටත් කොට සැප අරමුණක්, දුක් අරමුණක් සියල්ලක් ම හේතූන්ගෙන් හටගත් බවත්, හේතූන්ගේ විසිර යෑමෙන් නැතිවෙන බවත් දැක ඒ කිසිවක් උපාදානයකට නොපැමිණීමයි. උපාදානය නොකරගැනීමයි. මෙයින් අදහස් කරන්නේ, මේ ලෙසින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා නම් වූ ගුණ සම්පත්තීන් හතරම භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව යටතේ ඔබේ ජීවිතයට එකතු කර ගන්නට කරුණාවන්ත පුද්ගලයෙක් වෙන්න.

තමා තමාට කරුණාවන්ත කෙනෙක් බවට පත්වෙන්න . දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් උතුම් ශ්‍රී සද්ධර්මය දැක ගනිමින් සැනසෙන්නට පියවර තබන්න. අනන්ත සංසාර ගමනේ දුක්විඳි බව නැවත නැවතත් මෙනෙහි කරමින් නැවත දුකින් යුක්තව භවය සකස්වෙන ආකාරයට අවස්ථාවක් සකසා නොගන්නට නම්, තමා තමාට කරුණාවන්ත වීමෙන් හැම ආරම්මණයක් ම සම්මුතිය ලෙස කල්‍යාණවන්ත ව පිළිගෙන පරිහරණය කළත්, පරමාර්ථ වශයෙන් වටහාගෙන, ඒ සියල්ල අනිත්‍යය, දුක්ඛ, අනත්ත නම් වූ තිලක්ඛණ ධර්මයට යටත්කොට දැක රාග, ද්වේෂ, මෝහා දී කෙලෙස් හි සංසිඳීම ඇති කර ගැනීම අවශ්‍යයයි. පළමු පියවරේ දී ඔබ ම අස්සාද, ආදීනව, නිස්සරණ වශයෙන් වටහා ගැනීම අවශ්‍යය යි. සීලයේ පිහිටා සම්මුතිය තුළ ප්‍රසන්න බව සොම්නස දකිනවා. එහෙත් ඇලෙන්නෙ නැහැ. බැඳෙන්නෙ නැහැ. ගැටෙන්නෙ නැහැ. මේ හැම ආරම්මණයක් ම පඨවි ආදී හේතුප්‍රත්‍යයන්ගෙන් සකස් වූ බවත්, ඒවා විසිරී යන විට මේ ආරම්මණ නම් වූ ඵලය විපාකය නැතිව යන බවත් සිහිපත් කරන්න. ඒ ආදීනවය යි. ඉන් අනතුරුව කෙලෙස් ආශ්‍රය නොකොට මේවා පරිහරණය කිරීමේ ස්වභාවයක් ඔබට සිතෙහි ඇති කර ගන්නට පුළුවනි.

නිදසුනක් දක්වන්නේ නම් “පුංචි දරුවන් සෙල්ලම් ගෙයක් හදනවා. ඒ පුංචි දරුවෝ අම්මට, තාත්තාට ආදරයෙන් කතා කොට පවසනවා. “අම්මේ, තාත්තේ අපි හැදූ සෙල්ලම් ගෙදරට අම්මාත්, තාත්තාත් එන්න යැයි කියා. මව්පියන් සෙල්ලම් ගෙදරට යනවා. ඇතුල්වෙන්න පුළුවන් පුංචි වූව ද සෙල්ලම් ගෙයක් නම්, ඒ සෙල්ලම් ගෙට ඇතුල්වෙන්න පුළුවන්. එසේ නොමැති නම් ඒ පුංචි සෙල්ලම් ගෙය ළඟ අපේ ගෙදර කියා සිනා සී දරුවන් සමඟ සිටින්නට පුළුවනි. එහෙත් මේ පුංචි දරුවන්ගේ සෙල්ලම් ගෙය හරියට අවිද්‍යාවට පත් වූ ලෝකයාගේ ගෘහය වගෙයි. එනම් මේ ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත වූ මේ පුංජය අල්ලාගෙන සිටීමයි. අවිද්‍යාවෙන් පිරුණු ලෝකයා මේ ගෙය අල්ලාගෙන සිටිනවා. පුංචි දරුවන් සෙල්ලම්ගෙය පරිහරණය කරනවා වාගෙයි.

එහෙත් ප්‍රඥාවට ළංවෙන බුද්ධ ශ්‍රාවක, ශ්‍රාවිකාවෝ මව්පියන් වගේ දරුවන්ගේ ලෝකයට සමීප වූවත්, ඔවුන් සම්මුතිය තුළ දරුවන් හා සමඟින් අපේ ගේ යැයි සඳහන් කළත් ඔවුන්ගේ අදහස කුමක් ද? මේ සෙල්ලම් ගෙයක් ය යන අදහසයි. කිසිවිටෙකවත් ඒ ගෙය කෙරෙහි ආශාවක් හෝ අතනින් හෝ මෙතනින් හොඳ යැයි, ජනේලය නැහැ. ඉඩකඩ නැහැ යැයි පවසමින් ගැටීමක් ඇති කරගන්නේ නැහැ. එයට හේතුව එය සෙල්ලම් ගෙයක් නිසයි. ප්‍රඥාවෙන් ලෝකය දෙස දකින විට සම්මතය තුළ මේවා පැවැත්වූවත් පරමාර්ථ වශයෙන් මේ සියල්ල හටගත්තා සේ නැතිව යනවා යන අවබෝධයෙන් යුක්තව කටයුතු කරන විට සෙල්ලම් ගෙයක් දෙස බලනවා වගේ සම්මුතියෙහි ලෝකය පැවැත්වූවත්, පරමාර්ථ වශයෙන් ඒ කිසිවක් ‘මම ය, මාගේ ය යන දෘෂ්ඨියෙන් කෙලෙස් සකස්වන ආකාරයෙන් අල්ලා ගැනීමක් සිතෙහි සකස්වෙන්නේ නැහැ. එනම් උපාධානයක් සිද්ධ වෙන්නේ නැහැ.

තථාගත බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණාව ඔබ, ඔබේ සිත තුළ දැකගෙන ඔබ, ඔබට ම හිතවන්ත වන්න. කරුණාවන්ත වන්න. සසර ගමනේ භයානක බව අවබෝධ කරගෙන නැවතත් සසරේ දුකට පත් නොවෙන්නට ඒ මෙත්තා කරුණාව නිසා ම ප්‍රඥාවට ළං විය යුතුයි. ඔබ සැම දෙනා ම බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න අවශ්‍ය යි. මට ලැබුණු මේ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගැනීම අවශ්‍ය යි. යන අධිෂ්ඨානය ඇතිකර ගත යුතුයි. සම්මුතිය තුළ ආහාර, ඇඳුම්, පැළඳුම්, බෙහෙත් හේත්, නිවාස, රැකියාව, වෘත්තිය, ගේදොර, මව්පියෝ දරුවෝ, ස්වාමි භාර්යා වශයෙන් යුතුකම් කළත්, එහෙත් ඒ සියල්ල සෙල්ලම් ගෙයක් මෙන් තාවකාලිකයි. ඒ බව දැනගෙනයි පරිහරණය කළ යුත්තේ. පරමාර්ථ වශයෙන් මේ කිසිවක් ‘මම ය, මාගේ ය’ යන දෘෂ්ඨියෙන් උපාධානය නොකරගත යුතුයි. භික්ෂු ජීවිතයක් ගත කළත් එසේමයි.

වර්තමාන පරිසරය අනුව ග්‍රාමවාසී හෝ නගරවාසී ජීවිතවල බොහෝ සෙයින් ම දායක ඇත්තන්ගේ කටයුතු නිසාත්, වෙහෙර විහාරවල සිදුකරන දිනපතා හා වාර්ෂික වශයෙන් පවතින නොයෙක් ආකාරයේ පින්කම්, උත්සව, සිරිත් විරිත් නිසා දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයත්, අති දුර්ලභව සකසාගත් උතුම් පැවිදි ජීවිතයත් පරමාර්ථ වශයෙන් ධර්මය දැක ගන්න තිබෙන කාලය අඩු නොකර ගත යුතුයි. බැහැර නො කර ගත යුතුයි.

යම් විටෙක ඒ දායක ඇත්තන්ගේ කටයුතු සිදු කළත්, සිරිත් විරිත් හා උත්සව කටයුතු එවැනි දෑ සිදු කළත් එහෙත් ඒවා මුලින් සඳහන් කළ උපමාවන් වගේ සිතාගෙන පරමාර්ථ ධර්මය ම මුල් කරගෙන අවබෝධ කරගැනීමෙන් උතුම් පැවිදි ජීවිතයේ ඇති කර ගත්තා වූ ඉහළ ස්වභාවය වඩාත් සාර්ථක කරගත හැකි ය. තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් නමුත් ඉදිරියේ වැඩ සිටින බවත්, භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව අපට දැනෙන බවත්, ඒ කරුණාවට යටත්ව, ඒ කරුණාව පිළිගෙන, ඒ මහා කරුණාවෙන් සැනහෙන බවත් දැන් වැටහෙන්නට අවශ්‍යය යි.