Print this Article


 සැපවත් ජීවිතයක් සඳහා බුදු සමය

සැපවත් ජීවිතයක් සඳහා බුදු සමය

"ධම්මපද ගාථා විවරණය පෙන්වා දෙන්නේ අසීමිත ආශාවන්ගෙන් වෙළී සිටින ජන සමාජය තුළ භෞතික සම්පත් ගැන උනන්දු වන්නන් අතර තම ආශාවන් නැණ නුවණින් පාලනය කර ගනිමින් සතුටින් ජීවත් වීමට තම තමන් උත්සාහවත් විය යුතු බවකි."

“සුඛකාමානි භූතානි” සෑම සත්වයෙක් ම සැපය ගැන උත්සාහවත් වන්නේ ය. සෑම කෙනෙකුගේ ම අරමුණ කෙලෙසක හෝ තම ජීවිතය සතුටින් ගෙවා දිවි මගින් සමු ගන්නට ය. ඈත අතීතයේ ජීවත් වූ මානව සමාජය විවිධ කණ්ඩායම් වලට සම්බන්ධව නිරන්තර ජීවන අරගලයක යෙදුන ද ප්‍රශස්ථ මට්ටමේ සතුටක් ළගා කරගෙන තම සමාජ සම්බන්ධතා වඩා වර්ධනය කරගත් අතර ,සාරධර්ම රාශියකින් ජීවිතය වර්ධනය කර ගත්හ.

ලේඛනගත මේ ඉපැරැණි තොරතුරු ගෙන එන ඉන්දීය ඉතිහාසයේ මොහොන්දෝජාරෝ හරප්පා යුගයට අයත් අභිලේඛනයන්ගෙන් ද, රෝම අධිරාජ්‍යයේ නටබුන් වලින් ද, චීන අධිරාජ්‍යයේ විවිධ හැලහැප්පිලි , බෙදීම් රාශියක් පැවතිය ද, චීන ජනතාව තෘප්තිමත් භාවයකින් ජීවත් වූ බවට ඉපැරැණි චීන මහා ප්‍රාකාරය සහ වෙනත් සාධක රාශියකින් පෙන්වා දේ. ඉන්දියන් සාගරයේ මුතු කැටය , මිණි කැටය යන නම්වලින් හැඳින් වූ ඓතිහාසික ලංකාද්වීපය ද, දීපවංශය හා මහා වංශයන්හි සඳහන් කරුණු වලින් ද, එදා මෙරට ජනතාව චාම් දිවි පැවතුම්වලින් යුතුව පී‍්‍රතිමත්ව ගත කර ඇති බව පැහැදිලි වේ.

තාක්ෂණික මෙවලම් රාශියකින් සහාය ලබාගෙන තම තමන්ගේ ජීවිත මග සතුටින් ගෙවා ලන්නට නිරන්තර අරගලයක යෙදෙන නූතන ජන සමාජය එකලට සාපේක්ෂව සතුටින් සිටින්නේ ද යන්න අභියෝගාත්මක ප්‍රශ්නයකි.

බුදු හිමියන් තම හතළිස් පස් වසරක ( 45) කාලය තුළ දෙසූ දේශනාවන්ගෙන් උත්සාහ ගත්තේ “අත්තාය හිතාය, සුඛාය දේව මනුස්සානං” යන තේමා පාඨය පෙරදැරි කරගෙන ය. බුදු දහමේ ආභාෂය ඍජුව ලබා ගන්නට නො ලැබුණු බටහිර ජනතාව සතුට ළඟා කර ගැනීමට නූතන පර්යේෂණ ක්ෂේත්‍රයන්හි නියැළෙන වියතුන්ගේ පිළිසරණය මගින් සතුටුවීමට උත්සාහවත් වෙත්.

බෞද්ධ දර්ශනය මගින් පුද්ගලගත සුඛය යන්න තුලනාත්මකව විග්‍රහ කරයි. මේ සඳහා ත්‍රිපිටකය තුළදී බොහෝ සූත්‍ර දේශනාවන් දැකිය හැකි වේ. පුද්ගලයාගේ සුඛය සමස්ත සමාජයේ සුඛයට ප්‍රබලව බලපාන සාධකයක් වන අතරම පුද්ගල සැපයේ එකතුව සමස්ත සමාජයේ සුඛය වේ. සමාජයන්ගේ සුඛය රටක සැපය ද, රාජ්‍යයන් සියල්ලේ එකතුව විශ්වයේ සතුට ලෙසට ද, අර්ථ දැක්විය හැකිවේ. මේ නිසාම සැපයේ මූලික පදනම පුද්ගල සැපය වන හෙයින් මුලින් ම තනි පුද්ගල සැපය පිළිබඳව බුදුන් වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගය ගැන මුලින්ම සලකා බැලීම වැදගත් බව පෙනේ.

“සුසුඛං වත ජීවාම උත්සුකෙසු අනුස්සුකා උත්සුකෙසු මනුසෙස්සු විහාරාම අනුස්සුකා”

(ධම්ම පදය – සුඛ වග්ගය)

“සුඛ වග්ගයේ” කෙරෙන කෙටි විවරණය වත්මන් සමාජයේ පවතින සත්‍ය ජීවන රටාව මැනවින් ප්‍රදර්ශනය කෙරෙන්නකි. ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී අමෙරිකන් ජාතික මහාචාර්ය ලයනල් රොබින්සන් සඳහන් කළේ පාරිභෝජක ජනයා එකා පසුපස එකා පරයමින් දිවෙන මී කැලක සේ (අචබ අචඵඥ) නො නවතින තරඟයක යෙදෙන්නේ කෙලෙසක හෝ පුද්ගල සැපය ළඟා කර ගැනීම සඳහා බවයි. අසීමිත ආශාවන් රාශියකින් යුතු ජනතාව සීමිත වූ භෞතික සම්පත් ලබා ගැනීමට යාමේ දී ආර්ථික ප්‍රශ්නාවලියකට ඒ ජනතාවට මුහුණ දීමට සිදුවීම නො වැළැක්විය හැකි බව මෙම මහාචාර්යතුමා අවධාරණය කරයි. ඉහත ධම්මපද ගාථා විවරණය පෙන්වා දෙන්නේ අසීමිත ආශාවන්ගෙන් වෙළී සිටින ජන සමාජය තුළ භෞතික සම්පත් ගැන උනන්දු වන්නන් අතර තම ආශාවන් නැණ නුවණින් පාලනය කර ගනිමින් සතුටින් ජීවත් වීමට තම තමන් උත්සාහවත් විය යුතු බවකි. වෙනත් විදියකින් පවත්වන්නේ නම් තමා එම සම්පත්වලට වහල් වී සතුට වෙනුවට නො නිමි ආශා භරිත ජීවන රටාවකට යටත්ව හැම විටදී අතෘප්තිමත්ව ජීවත් වීමට සිදුවන බවයි. මෙම චර්යා රටාව අධ්‍යාත්මික සුවය සුනුවිසුණු කරන සහ මිනිසා දුක්ඛාවලියකට රැගෙන යන්නක් විය හැකි ය.

පුද්ගල සුඛය සුරක්ෂිත කරලීමේ දී පුද්ගල ආදායම සහ වියදම අතර පවතින්නේ නිරන්තර ගැටුමකි. ලබන ආදායම තුළින් එදිනෙදා ජීවිතය සුවපත් කරගත යුතු වන්නා සේ අනාගත ආර්ථික අභියෝගිතාවන්ට ශක්තිමත්ව මුහුණ දීමට සූදානම් වීමද ,සැපය රැක ගැනීමට වැදගත් වේ. බෞද්ධ සමාජ දර්ශනයෙහිලා ජනතාව ප්‍රබුද්ධත්වයට පත්කරලීමට දේශනාවන් රැසක් ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන් වේ. ඒ අතර සිඟාලෝවාද සූත්‍රය බෙහෙවින් ම ජනපි‍්‍රය දේශනාවකි. එහි දී සුරක්ෂිත ආර්ථික ජීවිතයක පරිභෝජනය, ආයෝජනය හා ඉතුරුම් අතර පැවතිය යුතු අන්‍යොන්‍ය සම්බන්ධතාව ගැන සඳහන් ස්ථානයක් වන්නේ

“එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය
ද්විහි කම්මං පයෝජයේ
චතුත්ථං නිධාචෙය්‍ය ආපදාසු භවිස්සති”

ආර්ථික ක්‍රියාවලියක නිරතවන්නේ උපයා ගන්නා තම ආදායම විධිමත් භාවයකින් යුතුව පවත්වා ගන්නේ කෙසේද? යන්න පැහැදිලි කර ඇත්තේ ජීවිත නඩත්තු සඳහා මුලු ආදායම නොයොදා අවම මට්ටමින් එදිනෙදා ජීවිතය පවත්වා ගත යුතු බවකි. එසේ යොදා ගන්නා ප්‍රමාණයට සාපේක්ෂව දෙගුණයක් ආයෝජනයක් ලෙස ප්‍රතියෝජනය කළ යුතු වේ. පරිභෝජනය සහ ප්‍රතිආයෝජනය කිරීමට සාපේක්ෂව යම් ප්‍රමාණයක් ඉතුරුම් ලෙස පවත්වා ගෙන යාමද අත්‍යවශ්‍ය බව සිඟාලෝවාද විවරණය මගින් පාරිභෝගික සමාජය දැනුවත් කරයි. පුද්ගල ආපාදාවන්ට සේ ම, වෙළෙඳපළ (වෙනස්වීම් වලට) මුහුණ දීම සඳහා නිරන්තරව ඉතුරුම් ක්‍රමයක් තම ආර්ථික ජීවිතයේ දී අත්‍යවශ්‍යම දෙයකි. අවිනිශ්චිතතාව පුද්ගල ජිවිතයේ දී මගහැරලිය නොහැකි වේ. බොහෝ ආපදා අවස්ථා වලදී සැලසුම් සහගත ආර්ථික ජීවිතයක් පවත්වා ගෙන යන පුද්ගලයා තරගකාරි ලෝකයේ දී ණයගැතියෙකු වී වේදනාවට පත් නොවනු ඇත.

පුද්ගල පරිභෝජනයේ දී සදාචාරාත්මත භාවයක් පවත්වා ගෙන යාම කෙරෙහි බෞද්ධයන් දැනුවත් කරන බෞද්ධ සමාජ දර්ශනය, උපයාගත් තම ධනය තමාගේම ප්‍රයෝජනය සඳහා පමණක් යොදා ගැනීමට වඩා පුද්ගල ජීවිතය හා බැඳි යුතුකම් හා වගකීම් පිළිබඳව අමතක නො කර ඒ සඳහා කිසියම් සංවේදී බවක් දැක්වීම පුද්ගලයාගේ වගකීම බව පෙන්වා දේ. බෞද්ධ පරිභෝජන රටාවේ දී උපයන පුද්ගලයා මුලින්ම තෘප්තිමත් විය යුතු වේ. ලෝවැසි බොහෝ දෙනෙක් මේ සඳහා ප්‍රමුඛතාව දුන්න ද, බෞද්ධ දර්ශනය පෙන්වා දෙන්නේ තමාගේ ජීවිතයට ඉතාම සමීපතම පිරිස ගැන සිතා බැලිය යුතු බවයි. විවාහක කෙනෙකු නම් තම සැමියා, බිරිඳ, දූ දරුවන්ගේ අවශ්‍යතා ගැනද, තෙවන කාණ්ඩය ලෙස මව් පිය ඥාතීන්ගේ අවශ්‍යතා සඳහා දායක වීම ද, සිව්වෙනුව අන්‍යයන්ගේ සහාය අවශ්‍ය, අපහසුතා වලින් පිරි, සරණක් නැති අය ද, පස්වෙනුව සමාජ සංවර්ධනය වෙනුවෙන් ශ්‍රමය ලබාගෙන ස්වේච්ඡා සේවක සහ ආගමික නියෝජිතයන්ට හැකි ආකාරයෙන් සහාය දැක්වීමද පී‍්‍රතිමත් ජීවිතයක් සඳහා පරිභෝජන රටාව සකසා ගත යුතු වේ.

පුද්ගල සතුට සඳහා වැදගත් වන අංශයක් වන්නේ පුද්ගල සෞඛ්‍යයයි. බුදු දහම සෞඛ්‍යය ගැන පෙන්වා දෙන මාර්ගය සහිත කය වචන සංවරව පවත්වාගෙන යාම තුළින් වීම විශේෂයකි.

“කායෙන සංවරො සාධු,
සාධු වාචාය සංවරො,
මනාස සංවරො සාධු,
සාධු සබ්බත්ථ සංවරො”

අන්‍යයන්ගේ ජීවිතවලට සහ අයිතියට ගරු කිරීමට තම ඉන්ද්‍රියන් මනා පාලනයකින් පවත්වා ගැනීම

සත්‍ය තම ජීවිත දර්ශනය කරමින් අවිහිංසාවාදීව ජීවත්වීම

සමාජගත යුතුකම හා වගකීම් ඉටුවන ලෙස තම ජීවිතය සැලසුම් කර ගැනීම

අධික අවශ්‍යතාවන් වෙත හඹායන ජීවන වටපිටාව වෙනුවට ලද දෙයින් සතුටු වෙමින් හැමදේම බදා ගැනීම හැරදා කළ හැකි කුසලතා වලට සරිලන අයුරින් වෘත්තියක වගකීම භාර ගැනීමට තරම් නැණවත් වීම

තාවකාලික සුඛය සඳහා අන්‍යයන්ගේ අවශ්‍යතා සපුරා මුදල් උපයා ගැනීම්වලට සම්බන්ධ වීම වෙනුවට, දහදිය වගුරුවා සුදුසු මාර්ගවලින් පමණක් ධනය උපයා ගැනීමට සිත ගත යෙදීම යන්නය.