Print this Article


පානදුර දිබ්බැද්ද මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරස්ථ සුභාෂෝදය තරුණ බෞද්ධ සංගමයේ 70 වන සංවත්සර මහෝත්සවය

පානදුර දිබ්බැද්ද මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරස්ථ

සුභාෂෝදය තරුණ බෞද්ධ සංගමයේ 70 වන සංවත්සර මහෝත්සවය

පානදුර දිබ්බැද්ද මොරවින්න පුරාණ විහාරස්ථ සුභාෂෝදය තරුණ බෞද්ධ සංගමයට වර්ෂ 70 ක් සපිරේ. චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා මනුෂ්‍යත්වයෙන් පොහොසත් සංවේදී විනයගරුක දූදරු පිරිසක් බිහිකිරීමටත් සමාජ අභිවර්ධනය පිණිසත් මෙමඟින් ඉටුකළ සේවය අතිවර්ණිත ය. මෙම අත්‍යුත්තර මෙහෙවර අනුස්මරණය කෙරෙන සැමරුම් උත්සවය දෙසැම්බර් 09 වන දින ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන් වහන්සේගේ සහ ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

අමරපුර මහා නිකාය හා බැඳුණු මහ සඟ පරපුරක ආශීර්වාදය මධ්‍යයේ බැබළීමට පත්වූ මෙම විහාරස්ථානයේ ආදි කර්තෘන් ලෙස අපවත් වී වදාළ පීක්කුලමේ සංඝරතන මා හිමි, කහතුඩුවේ පඤ්ඤාරතන නා හිමි, දෙල්දූවේ ඤාණරතන අධිකරණ නා හිමි, ගොරකානේ පේමරතන අධිකරණ නා හිමි, පරණගම, සෝමාලංකාර අධිකරණ නා හිමි, ශාස්ත්‍රාචාර්ය කරතොට විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු යතිවරයන් වහන්සේලා සුධර්මාරාම පුරාණ විහාර වංශ කතාවේ ලේඛනගතව ඇත.

දෙල්දූවේ ඤාණරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි 1924 ජූලි 16 වන දින සුධර්මාරාම පින්බිමේ දී සුභාෂෝදය තරුණ සමිතිය පිහිටුවන ලදී. 1925 ජූනි 07 වන ඉරුදින සුභාෂෝදය තරුණ සමිතිය මඟින් සුභාෂෝදය ධර්ම විද්‍යාලය ස්ථාපිත කරනු ලැබූ බව විහාර වංශ කතාව කියයි. කුඩා කටුමැටි ගෙපැලක සෙවනේ දරුවන් කීප දෙනෙකුගේ අත්පොත් තැබීමෙන් මෙම ප්‍රථම දහම් පාසල ආරම්භ වී ඇත. දෙල්දූවේ ඤාණරතන නා හිමි හා ගොරකානේ පේමරතන නාහිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් 1948 අප්‍රේල් 18 වනදින සුභාෂෝදය තරුණ සමිතිය සුභාෂෝදය තරුණ බෞද්ධ සංගමය ලෙස ද 1948 ඔක්තෝබර් 3 වන දින සුභද්‍රෝදය දහම් පාසල සුභාෂෝදය දහම් පාසල ලෙස ද නාමිකව වෙනස්කර නැවත ආරම්භ කළ බව ප්‍රචලිත ය.

සංගමයේ ආරම්භක සභාපති ලෙස ඩබ්ලිව්. නෙවිල් ප්‍රනාන්දු මහතාද, සම ලේකම්වරුන් ලෙස ඩබ්ලිව්. ටිඩිමන් ප්‍රනාන්දු මහතා සහ ඩබ්ලිව් වින්සන් සොයිසා මහතා ද, භාණ්ඩාගාරික ලෙස ඩබ්ලිව්. දේවසිරි ප්‍රනාන්දු මහතාද කටයුතු කර ඇත. ඉන්පසු සිරිල් ප්‍රනාන්දු, ඩබ්ලිව්.පී. පුණ්‍යදාස, සෑම්, වී. ද සිල්වා, ලෙස්ලි ෆොන්සේකා යන මහත්වරුන් සභාපති පදවියේ ද, ඩබ්ලිව්. දේවසිරි ප්‍රනාන්දු, ටී.ඩී.බී. පීරිස්, ජී. සිරිපාල ෆොන්සේකා, කුලසිරි ප්‍රනාන්දු, රොෂාන් ප්‍රනාන්දු ලේකම් පදවියේ ද කටයුතු කර ඇත.

ඩබ්ලිව්.ටිඩිමන් ප්‍රනාන්දු, ඩබ්ලිව්. සිසිල් සොයිසා සහ ධම්මික උඩවත්ත යන මහත්වරු භාණ්ඩාගාරික පදවියේ දීර්ඝ කාලයක් කටයුතු කර ඇත.

1950 වර්ෂයේ සිට චතුර් විහාරාධිපති ධූරයට පත් ගොරකානේ පේමරතන නාහිමියන් සුභාෂෝදය සංගමය ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂී කාර්යය භාරයක් ඉටුකරන ලද අතර කරතොට විමලරතන හිමියන් සහ පරණගම සෝමාලංකාර නාහිමියන් වහන්සේද අනුශාසනා දෙමින් සුභාෂෝදය සංගමයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන ලදහ.

1994 දී විහාරාධිපතිත්වයට පත්වීමෙන් පසුව එතෙක් දහම් පාසලේ ප්‍රධානාචාර්ය සහ පාලන අධ්‍යක්ෂ ධූරය හොබවමින් අනභිභවනීය සේවයක් කළ බලංගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක ශාස්ත්‍රපති බලංගොඩ පියනන්ද නාහිමියන් සුභාෂෝදය සංගමයේ උත්තරීතර පැවිදි අනුශාසක ධූරයට පත් කිරීමත් සමඟ උන්වහන්සේගේ අමිල සේවය සංගමයට ද ලබාගත හැකිවීම භාග්‍යයකි.

පරිපාලන සහ කළමනාකරණ කටයුතුවලදී බී.ඇම්. ද. සිල්වා, සෑම් වී ද සිල්වා, එම් තිඩිමන් ප්‍රනාන්දු, ටී.ඩී.බී. පීරිස් යන මහත්වරුන් කරන ලද සේවය අතිමහත් ය.

සංගමයේ සාමාජික ඩබ්ලිව්. සිසිල් රොබට් සොයිසා මහතාගේ අධීක්ෂණය සහ සතර පේරුවේ දායක කාරකාදීන්ගේ ධන පරිත්‍යාගයෙන් ගොඩනැගිල්ලක් සහ සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව 2006 වර්ෂයේ දී තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමට හැකි විණි. 2013 මැයි පළමුවන දින අපගේ සභාපතිත්වයෙන් ස්ථාපිත කරන ලද සුභාෂෝදය දහම් පාසල් සංවර්ධන සමිතියටද එක් වූ සුභාෂෝද සාමාජිකත්වය විහාරස්ථානයේ මෙන්ම දහම් පාසලේ ප්‍රගමනය උදෙසා ප්‍රශංසනීය සේවයක් සිදුකරයි. දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති කළුගල සුගතනන්ද හිමියන් සහ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත මීගහකිවුලේ සුමේධ හිමියන් ඇතුළු විහාරස්ථ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ සහයෝගය සහ කැපවීම ද විශාල ශක්තියකි.

සුභාෂෝදය සංගමයේ වත්මන් සභාපති ලෙස පණ්ඩුක සිල්වා මහතා ද, ලේකම් ලෙස එම්.ඒ.බී. එස්. අත්තනායක මහතා ද කටයුතු කරති. භාණ්ඩාගාරික පදවිය මහේෂ් ප්‍රනාන්දු මහතා උසුලන අතර ලෙස්ලි ෆොන්සේකා මහතා අධීක්ෂණ සභාපති ද, ආනන්ද පෙරේරා මහතා සහ ප්‍රදීප් ප්‍රනාන්දු මහතා උපසභාපතිවරු ද වෙති. කළමනාකාර ලෙස නිශ්ශංක විජේවර්ධන මහතා ද, උප ලේකම් ලෙස ධම්මික ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ද කටයුතු කරති.

සුභාෂෝදය තරුණ බෞද්ධ සංගමයේ

පැවිදි අනුශාසක දහම් පාසලේ පාලන අධ්‍යක්ෂ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අධිකරණ සංඝනායක

දෙල්දූවේ සුමන නා හිමි