Print this Article


අසිරිමත් ජය සිරිමහ බෝ සමිඳු

අසිරිමත් ජය සිරිමහ බෝ සමිඳු

සම්බුදු හිමියන් සැවැත් නුවර ‘ගණ්ඩබ්බ රුක්ඛ’ මූලයෙහි වැඩ සිටිය දී අහස් කුසට නැඟ යමා මහ පෙළහර පෑවාක් මෙන් සිරිමා බෝ රදුන්ගේ දක්ෂිණ ශාඛාව මහමෙව්නා උයනේ වඩා හිඳුවද්දී එම දක්ෂිණ ශාඛාව අහස් කුසට නැග බුදුරැස් නංවා මොහොතක් ප්‍රාතිහාර්යය පාන ලද බව මහා වංශයේ විස්තර වෙයි.

සිංහල ජාතියත්, මෙම ජය සිරිමා බෝ සමිඳුත් අතර එකිනෙකට බැඳී ගිය ආකර්ෂණ බලයක් පවතී. රටට ජාතියට විපතක් වන හැමවිටම එය හැඟවීමේ සලකුණක් ලෙස සිරිමා බෝ සමිඳු මැලවී යයි. ක්‍රි.ව. 1674 දී සිරිමා බෝ සමිඳු මලානික ගතියක් පෑ අතර 1929 ජූලි30 වෙනි දින සතුරු ප්‍රහාරයකට ද ගොදුරු විය. 1948 දී ද මැලවී ගිය ගතියක් දකින්නට ලැබීමෙන් වෛද්‍ය උපදෙස් පවා ලබාගන්නට සිදුවිය. උඩමළුවට සැදැහැවතුන් පැමිණීම, බෝ සමිඳුට කිරි වක්කිරීම තහනම් කරන ලද්දේ මේ හේතූන් නිසා ය. මෙයින් බෝ සමිඳුට ආරක්ෂාවක් සහ ගෞරවයක් ද සැලසිණි. 1948 පෙබරවාරි 04 වෙනිදා රටට නිදහස ලැබීමේ පෙර නිමිත්තක් වශයෙන් 1947 දී බෝරදුන්ගේ උතුරු පසින් නව අංකුරයක් මතු විය.

අතීතයේ වසර තුන්සියයකට වැඩි කාලයක් පුරාවට අනුරාධපුර අලි, කොටි, වලස් ආදී සිව්පාවුන්ගෙන් සහ දාර පිඹුරන්, පොළඟුන් ආදී විෂ ඝෝර සර්පයන් ගැවසුණ පෙදෙසක් විය. පෙරදා බෝ සමිඳු වැඳපුදා ගැනීමට ඈත පළාත්වල සිට බෞද්ධයන් පැමිණියේ සිය දේපළ පවා දුවා දරුවන්ට අන්තිම කැමැති පත්‍රයෙන් ලියා තබා අනාරක්ෂිතව ය. නමුත් මේ යුගයේ දී බෝ රදුන්ට තබා වන්දනාවේ පැමිණි සැදැහැවතුන්ටවත් කිසිදු හානියක් සිදු නොවී ය. ඒ බෝ සමිඳුගේ ගුණ මහිමයෙනි.

ලක්ෂපාන ජල විදුලි යෝජනා ක්‍රමය සාර්ථක කර ගැනීමට ජය සිරිමා බෝ සමිඳුට බාරයක් වී තිබිණ. එම බාරය සාර්ථක වීමේ හේතුවෙන් ප්‍රථමයෙන් ම අනුරාධපුර පෙදෙස 1934 දී විදුලි ආලෝකයෙන් ආලෝකවත් කෙරිණ.

ලෙඩදුක් රෝග පීඩාදිය සඳහා බෞද්ධ ජනතාව ජය සිරිමා බෝ සමිඳුන්ට බාරහාර වෙති. නියං සමයට බෞද්ධයන් එක් රැස්ව තිසා වැවෙන් ජලය ගෙනැවිත් සිරිමා බෝරදුන්ට එක දිගට තෙදිනක් පුරාවට පැන් වඩති.

“දුක් සැප දෙකෙහි නිති ඔබ නම ම පවසන

සක්විති රජකු හට මෙන් ඔබට සලකන

නෙක් තුති ඔබට පුද දෙන සිහල බොදු දන

රැක්ම ද බෝ රදුනි ඔබ අයිතිය නිතින”

අතීතයේ දී බෝරදුන් වෙත පැමිණි බොහෝ අය මෙබඳු ගුණ ගායනා කරති. බෝරදුන්ගේ ආරක්ෂාවට කළුකුමාර නම් වූ දේවතාවකු රැකවල් ලා සිටින බව ද වංශ කතාවල විස්තර වේ. මෙම “කළුකුමාර” දෙවිඳු විෂ්ණු දෙවියන් වියහැකි යයි බොහෝ දෙනා අදහති.

සම්බුදු හිමියන් පිරිනිවන් මඤ්චකයෙහි වැඩහුන් මොහොතේ ‘මාගේ දක්ෂිණ බෝධි රාජයා පන්දහසක් කල් ලක් බුදු සසුන හොබවමින් වැඩ සිටීවායි” අධිෂ්ඨාන කළ බව වංශ කතාවල දැක්වෙයි. ‘මහමෙව්නා උයන මැද මේ බෝධිරාජයාණන් වහන්සේ සදාකල් නිල්වන් ව බබළන්නේ යයි’ මිහිඳු හිමියන් අධිෂ්ඨාන කළ බවද ඉතිහාසයේ දැක්වේ.

සිරිමා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව මෙහි වැඩම කිරීමෙන් පසුව ධර්මාශෝක රජතුමාගේ මෙහෙසියක වූ ‘නිස්සා රක්ඛා’ විසින් මෙහෙකරුවන් යොදා සිරිමා බෝ සමිඳු විනාශ කළ බවත් දැනට දඹදිව පවතින්නේ සම්බුදු හිමියන් පිටදුන් බෝධිය නොව පසුව උපන් අංකුර බෝධියක් බවත් කිය වේ. මෙම සිරිමා බෝරදුන් විනාශ කළ ද මේ බුද්ධාන්තයේ දී නැවත නැවත එය උපදී. කෙසේ වුවද සම්බුදු හිමියන්ගේ සැබෑ ස්පර්ශය ලද එකම බෝධිය අද පවතින්නේ මහමෙව්නාවේ ය.

අතීතයේ දී වෛතුල්‍යවාදයෙන් වෙළී සිට සම්බුදු සසුන වැනසීමට කටයුතු කළ මහසෙන් රජු පවා පසුව යථාර්ථය තේරුම්ගෙන සිරිමා බෝ මළුවෙහි ප්‍රතිමා ගෘහයක් ඉදිකොට එහි ලෝහමය සම්බුදු පිළිමයක් වඩා හිඳුවන ලදී. මෙම බෝධි මාලය වටා පිහිටි ප්‍රාකාරය ක්‍රි.ව. 1747 සිට 1780 දක්වා කාලය තුළ ඉදිකරනු ලැබූවකි. මෙහි දිග අඩි 370 ක් විය. උස අඩි 11 කි. උඩමළුවට ඇතුළුවීමට ප්‍රාකාරයේ දොරටු තුනක් තබා තිබුණි.

රොබට් නොක්ස් විස්තර කර ඇති අන්දමට සිවුරක් පොරවා බඳ මැදින් පටියකින් බැඳගත් ‘ගණින්නාන්සේ’ නමින් හැඳින්වූ භික්ෂුවක් සිරිමා බෝ සමිඳු රැකවරණයෙහි යෙදී සිටි බව විස්තර වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයෙහි සිරිමා බෝ සමිඳු රැකබලාගෙන සිටි මේ භික්ෂුව සැතපුම් පහක් පමණ දුරින් පිහිටි ‘කරඹෑව‘ නම් වූ ගමට පිඬුසිඟා වැඩ කුරහන්, රොටී, අල, බතල ආදිය පිණ්ඩපාතයට ලැබගෙන ආපසු සිරිමා බෝ සමිඳුන් වෙත පැමිණ එම ආහාර පූජා කළ බව රොබට් නොක්ස් කියා ඇත.

ක්‍රි.ව. 1293 දී ඇතුගල්පුරදී රජ බවට පත් දෙවන බුවනෙකබාහු රජුගෙන් නුවරවැව පෙදෙස හිමි කරගත් ‘සූරියකුමාර වන්නිසිංහ මුදියන්සේ’ පරපුරේ අවසාන පුරුක වූ රටේ රාළ සිරිමා බෝ සමිඳුන් විවිධ දුෂ්කරතා මැද භික්ෂුවක් විසින් රැකබලා ගන්නා බව කීර්ති ශ්‍රී රාජසිංහ රජුට දැන්වී ය. ඒ පුවත ලැබීමත් සමඟ “නුවර කලාවිය පෙදෙසේ දිසාපතිකම’ පවරා දෙමින් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සන්නස් පත්‍රයක් සකස් කොට මේ හිමියන් වෙත එවා ඇත. ඒ සංසිද්ධිය මුල්කොට “දිසාපති හාමුදුරුවෝ” යන නම ව්‍යවහාරයට එක් විය. පසු කලෙක ගිහි අයට පවා “දිසාපති හාමුදුරුවෝ” යන නම පෙළ ගැසුනේ නුවර කලාවියට ප්‍රථමවරට පත් වූ දිසාපති හාමුදුරුවන් නිසා ය.

එදා සිරිමා බෝ සමිඳු රැකබලා ගත් නුවර වැවේ සූරියකුමාර වන්නි මුදියන්සේ පරපුර මේ වනවිට පුලියන්කුලම, කවරක්කුලම, කරඩික්කුලම, පුදුක්කුලම යන ගම්වල ව්‍යාප්ත වී ඇත. සිරිමා බෝ රදුන් රැකබලා ගත් ‘හෙරණපාන’ හිමි නමට නුවර කලාවියේ දිසාපති පදවිය පැවරූ කතාවට අදාළ පුස්කොළ පොත මෙම ගම්වාසීන් තුළ තවමත් තිබිය හැකි ය.

සිරිමා බෝ සමිඳු මහමෙව්නාවේ රෝපණය කළ දා බෝ ඵලයක් බිමට පතිත විය. එය අතට ගත් මිහිඳු මාහිමියන් අත පවතිද්දී ම එයින් බෝ අංකුර අටක් පැන නැගිණ. මේවා අටමහ බෝධිය ලෙස ගරු බුහුමනට පත් වූ අතර ඒවා පහත දැක්වෙන ස්ථානවල එදිනම රෝපණය කරන ලදී.

1. දඹකොළ පටුන – යාපනයේ කීරමලෙයි ප්‍රදේශය

2. තන්තිරිමලය – ගලක් මත

3. ථූපාරාමය – දැනට උපාසිකාරාමය පවතින්නේ බෝ පැළය සිටවූ ස්ථානයේ ය.

4. ඉසුරුමුණිය – ගලමත, රන්මසු පොකුණට යාව

5. පඨමක චේතිය මළුව - මහියංගණය

6. චේතිය පබ්බතය – මිහින්තලේ

7. කතරගම කිරි වෙහෙර – මළුවේ

8. චන්දන ග්‍රාමය – හඳගල රජමහා විහාර බිමේ.

සිරිමා බෝ සමිඳුන්ගේ අනුහසින් සිංහලේ රට මුළුමණින් බෞද්ධ රාජ්‍යයක් බවට පත් කරමින් මෙම අෂ්ට මහා බෝධිය මුළු රටම ආවරණය වන පරිදි සිරිමා බෝ සමිඳු රෝපණය කළ දිනම රෝපණය කරන ලද බව මහාවංශයේ දැක්වෙයි. සිරිලකට අදටත් ඇති එකම ආශිර්වාදය වන්නේ රටපුරා පැතිරී ඇති මෙම අෂ්ට මහා බෝධීන්ගෙන් ලැබෙන ආරක්ෂාව බව සංඝරත්නයේ ද, බෞද්ධ ජනතාවගේ ද විශ්වාසය යි.