Print this Article


පිරිත් දේශනාව - 30: ආලවක සූත්‍රය- 4 කොටස

ආලවක සූත්‍රය - 4 කොටස

‘පරලොව විපාක දෙන්නා වූ යම් අර්ථයක් වේ නම් මම අද ඒ අර්ථය වදාළ පරිද්දෙන් ම දනිමි. දැන් නොයෙක් මහණ බමුණන්ගෙන් කුමට විචාරම් ද? සර්වඥයන් වහන්සේ මට වැඩ පිණිස අලවි නුවර මගේ විමානයට වැඩ වදාළ සේක. යම් තැනෙක් හි දෙන දානය මහත්ඵල වේ ද, ඒ අග්‍ර දක්ෂිණෙය්‍ය වූ භාග්‍යවතුන් වහන්සේ මම අද විශේෂයෙන් දනිමි.

ප්‍රශ්නවලට බුදුරදුන් උත්තර ලබා දී අවසාන වනවාත් සමඟම ආලවක කුමාරයා රැගෙන චර පුරුෂයෝ යක්ෂයා සමීපයට පැමිණියේ ය. යක්ෂයාට කුමාරයා දුන්නේ ය. මේ වෙලාවේ දී සෝවාන් භාවයට පත් ව සිටි යක්ෂයා ලජ්ජාවට පත් විය. යක්ෂයා බුදුරජාණන් වහන්සේට, ස්වාමීණී. මේ කුමාරයා මට එවන ලදී. මම භාග්‍යවතුන් වහන්සේට දෙමි, බුදුවරු හිත අනුකම්පා ඇත්තෝ ය. මේ දරුවාට හිත වැඩ පිණිස ද, සැප පිණිස ද පිළිගන්න යැයි ඉල්ලා සිටියේ ය. බුදුරදුන් කුමාරයා පිළිගත්තේ ය. එසේ පිළිගත්තේ යක්ෂයාට ද , කුමාරයාට ද යහපත ඉටු කරන අපේක්ෂාවෙනි. බුදුරදුන් පිළිගෙන ඔහු රාජපුරුෂයන්ට බාර කළේ ය. චර පුරුෂයෝ ඇතුලු පිරිසේ සාදු නාදය පරිසරය පුරා පැතිර ගියේ ය.

ආලවක බුදුරජාණන් වහන්සේ නිසා තමන් ජීවිතය ලද බව පසු කලෙක දැන තෙරුවන් ඇසුරු කිරීමට පැමිණියේය. තෙරුවන් ඇසුරේ ජීවත් වූ ඔහු නොබෝ කලකින් ම අනාගාමී ඵලය සාක්ෂාත් කර ගත්තේ ය. බුදුරදුන් ඔහු සතර සංග්‍රහ වස්තුවෙන් පිරිසට සලකන්නවුන් අතර අග්‍රස්ථානයේ තැබී ය. කාලයාගේ ඇවෑමෙන් හත්ථාලවක නමින් ඔහු ප්‍රකට විය. ඉහත දක්වන ලද ආලවක සූත්‍රයේ විවරණය පිළිබඳ විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ ආලවක යක්ෂයෙක් ලෙස සමාජය හඳුනාගෙන තිබුණ ද ඔහු සැබැවින්ම යක්ෂ බව ඉක්මවා යන ජීවිතයක් ගත කළ පුද්ගලයෙකු බව යි. ඔහු විසින් බුදුරදුන්ගෙන් විමසන ලද ප්‍රශ්න පිළිබඳ ව විමසා බැලීමේ දී එවැනි ප්‍රශ්න සාමාන්‍ය ශ්‍රාවකයෙකුටවත් නැගිය නොහැකි බව වැටහේ. පුද්ගලයෙකුගේ ජීවිතය පියවරෙන් පියවර අධ්‍යාත්මිකව ගොඩනගා ගැනීමට මෙන් ම, ලෞකික හා ලෝකෝත්තර සුවය සැලසෙන ජීවිතයක් ගත කිරීමට ද ආලවක විසින් අසන ලද ප්‍රශ්න සමස්ත ශ්‍රාවක සමූහයාට ම උදව් වන බව පැහැදිලි වේ.

සූත්‍රය තුළ අන්තර්ගත තොරතුරු විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ සසර ගමන නිම කිරීමට තරම් හේතු සම්පත් ඇති අයද තමන් ජීවත් වන පරිසරය නිසා ඇතැම් අවස්ථාවල දී දුර්වල චරිත ලක්ෂණ ඇති පුද්ගලයන් බවට පරිවර්තනය වන අයුරුයි. පුද්ගලයා නිවැරැදි චින්තනය හඳුනා නො ගන්නා තාක්කල් ජීවිතයේ සුවිශේෂී වෙනසක් සිදු නොවේ. යම් අවස්ථාවක ජීවිතය පිළිබඳ නිවැරැදි ආකල්පයක් දර්ශනයක් ඇති කර ගත්තොත් එම අවස්ථාවේ සිට ම ඔහු සුවිශේෂි පෞරුෂයක් විද්‍යමාන කරන ප්‍රබල චරිත ලක්ෂණවලින් සුපෝෂණය වූ ආදර්ශවත් චරිතාංගයන්ගෙන් පිරිපුන් පුද්ගලයෙකු වීම කිසිවෙකුටත් වළකාලිය නොහැකි ය.

ලොව ඇති සියල්ල වෙනස් වේ. පුද්ගලයා ද වෙනස් වේ. වෙනස්වීම ස්වභාවිකව ම සිදුවන අතර වෙනස් කිරීම පුද්ගලයාට කළ හැකි ය. අන්‍යයන් ආකල්පමය වශයෙන් , ගති සිරිත් වශයෙන් වෙනස් කිරීමට පෙර තමන් වෙනස් විය යුතු ය. තමන්ට වෙනස් වීමට සැබෑ වුවමනාවක් නොමැත්තේ නම්, ලොව සියලු දෙනා එක්වී වෙනස් කිරීමට උත්සාහ ගත්ත ද එය කළ නො හැක්කක් වනු ඇත. එහෙත් තමන්ට වෙනස් වීමට සැබෑ වුවමනාවක් ඇත්තේ නම් ලොව සියලු දෙනා එය වැළැක්වීමට උත්සාහ ගත්ත ද වැළැක්විය නොහැකි වනු ඇත. අලාවක සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ මෙම සදාතනික ලෝක ධර්මතාවය යි. ආලවක සූත්‍රය පිරිතක් වන්නේ තමන් තමන්ම අවබෝධ කරගෙන ජීවිතාදර්ශනයක් ගොඩනගා ගන්නා අයට මිස මංමුලා වූ ජීවිත ගත කරන අය සඳහා නොවන බව වටහා ගත යුතු ය.