Print this Article


අටුවා රසකතා: තෙරුන් වහන්සේගේ සීලයට නමස්කාර කිරීම

තෙරුන් වහන්සේගේ සීලයට නමස්කාර කිරීම

දීඝනිකාය අටුවාව වන සුමංගලවිලාසිනියේ සඳහන් සීලයෙන් ප්‍රඥාව පිරිසුදුවන අයුරු පහදා දීමට බුද්ධඝෝෂ මා හිමියන් ඉදිිරිපත් කරන කන්ථකසාලා පිරිවෙන් වාසී සට්ඨිවස්ස තෙරුන් වහන්සේගේ කතාවයි.

සීලයේ හා ප්‍රඥාවේ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව පිළිබඳ මේ කරුණු ඉදිරිපත් වන්නේ දීඝනිකායේ ඇතුළත් සෝණදණ්ඩ සූත්‍රයේ ය. සට්ඨිවස්ස තෙරුන් වහන්සේගේ කතාව ඉදිරිපත් කිරීමට පෙර මෙම සූත්‍රයේ පසුබිම හා එම ධර්ම කාරණා සැකෙවින් පැහැදිලි කරගැනීම මෙහි අවබෝධයට වඩාත් පහසුයැයි සිතමි.

දිනක් සෝණදණ්ඩ නම් බමුණා බුදුරජාණන් වහන්සේ තමාගේ නගරය වූ චම්පා නගරයට වැඩම කර වූ බව අසා උන්වහන්සේ බැහැදැකීම සඳහා යෑමට පිටත් විය. ඊට විරුද්ධ වූ තුන්සියයක් පමණ බ්‍රාහ්මණ ප්‍රධානීහු ඔහුගේ ගමන වැළැක්වීමට උත්සාහ ගත්හ. එහෙත් ඔහු එයින් නො වැළකී බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි අතර ඔහු සමඟ කළ සතුටු සාමීචියෙන් අනතුරුව ඔහුගෙන් බුදුරජාණන් වහන්සේ යමෙක් බමුණු දහමෙහි බ්‍රහ්මයෙකු වශයෙන් පිළිගැනීමට කාරණා කීයක් අවශ්‍යදැයි විමසූහ.

එවිට සෝණදණ්ඩ බමුණා තමන්ගේ දහමට අයත් පහසු ප්‍රශ්නයක් නිසා අතිශය සතුටට පත්ව සෝණදණ්ඩයෝ උස්ව හිස නමා පිරිස දෙස නැවත නැවත බලා බුදුරජාණන් වහන්සේට මෙසේ පිළිතුරු දුන්නේ ය. “පින්වත් ගෞතමයන් වහන්ස” යමෙක් ‘මම බ්‍රාහ්මණ වෙමි’යි නිසි අයුරින් කියන්නට නම්, කාරණා පහක් සම්පූර්ණ විය යුතු බව බමුණෝ ප්‍රකාශ කරති.” යනුවෙන් ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය. බමුණු දහමට අනුව යමෙක් බ්‍රාහ්මණයෙකු ලෙස පිළිගැනීමට අවශ්‍ය කාරණා මෙසේ ය.

උභය කුල පවිත්‍රවීම, (බ්‍රාහ්මණ වංශයට අයත් යමෙකු මව්පිය දෙපසින් යහපත් ව උපන්නේ වේ ද, පිරිසුදු මව්කුසින් බිහි වූයේ නම් සත්වන පරම්පරාව දක්වා අවනම්බු නො ලබන ලද්දේ නම්, ජාතිවාදයෙන් අවනම්බු නො කරන ලද්දේ නම් , ඔහු බ්‍රාහ්මණයෙකු ලෙස බමුණු දහම පිළිගනී)

වේදයෙහි පරතෙරට පත්වූවෙකු වීම ( බෞද්ධයන්ගේ ත්‍රිපිටකය මෙන් බමුණන්ගේ ඍග්,යජුර්,සාම, යනුවෙන් ප්‍රධාන වේද තුනක් ඇත. ( මෙම වේද තුනට අථර්වන් වේදය ද එකතුවීමෙන් චතුර්වේදය වේ) මේ වේදයන් පිළිබඳ මනා අවබෝධයකින් යුතු අයෙකු වේ නම් ඔහු බ්‍රාහ්මණයෙකු ලෙස බමුණු දහම පිළිගනී

මනා රූප සම්පත්තියෙන් යුක්තවීම, සීලයෙන් යුක්තවීම (සිල්වත්වීම) හා නුවණැති පණ්ඩිතයෙක් වීම ( නැණවත් වීම)’ ය යන මෙම කාරණා පහෙන් යුක්ත වූ පුද්ගලයා නියම බ්‍රාහ්මණයෙකු ලෙස බමුණු දහම පිළිගන්නා බව ඔහු බුදුරදුන්ට පැවසී ය.

මින් අනතුරුව බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව සෝණදණ්ඩ බමුණා විසින්ම මෙහි සඳහන් මුල් කාරණා තුන හරවත් බවක් නැති, නිරර්ථක කාරණා බව බැහැර කරවමින් අවසන් කාරණා දෙක පිළිබඳ විමසූහ.

එවිට සෝණදණ්ඩ බමුණා මෙසේ පිළිතුරු දී ඇත. “ස්වාමීනි, ගෞතමයන් වහන්ස, මේ කාරණය නම් කිව නොහැකි ය. භවත් ගෞතමයෙනි, නුවණ සීලයෙන් පිරිසුදු කරන ලද්දේ ය. සීලය නුවණින් පිරිසුදු කරන ලද්දේ ය. යමෙකු කෙරෙහි සීලය වේ ද , ඔහු කෙරෙහි නුවණ වේ. යමෙකු කෙරෙහි නුවණ වේ ද, ඔහු කෙරෙහි සීලය වේ. සීලය ඇත්තා හට නුවණ ඇති වේ. නුවණ ඇත්තා ට සීලය ඇති වේ. සීලය හා නුවණ යන දෙක ලෝකයෙහි ඉතා උතුම් යැයි කියනු ලැබේ” යනුවෙනි.

එවිට බුදුරජාණන් වහන්සේ, එම කාරණය අනුමත කරමින් “බමුණ එය එසේම ය. වෙනස් කළ නොහැක. ඔබ නුවණැත්තෙකි. මාගේ ධර්මයෙහි ද එය එසේමය.” යනුවෙන් සෝණදණ්ඩ බමුණා අගය කොට මෙසේ වදාළහ.

”බ්‍රාහ්මණය, නුවණ සීලයෙන් පිරිසුදු කරන ලද්දේ ය. සීලය නුවණින් පිරිසුදු කරන ලද්දේ ය. යමෙකු කෙරෙහි සීලය වේ ද, ඔහු කෙරෙහි නුවණ වේ. යමෙකු කෙරෙහි නුවණ වේ ද, ඔහු කෙරෙහි සීලය වේ. සීලය ඇත්තා හට නුවණ ඇති වේ. නුවණ ඇත්තා හට සීලය ඇති වේ. සීල, නුවණ දෙක ලෝකයෙහි ඉතා උතුම් ය” යනුවෙන් දේශනා කළහ.

තවදුරටත් බුදුරජාණන් වහන්සේ සීලයෙහි හා ප්‍රඥාවෙහි ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව මෙසේ වදාළහ. “බ්‍රාහ්මණය දකුණු අත සේදීමට වම් අත උපකාරි වන්නේ ය. වම් අත සේදීමට දකුණු අත උපකාරි වන්නේ ය. එලෙසින් ම සීලයෙන් ප්‍රඥාවත් , ප්‍රඥාවෙන් සීලයත් පිරිසුදු වන්නේ ය. එය පොත්තට ගසත්, ගසට පොත්තත් මෙන් අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින්නේ ය.” යනුවෙන් වදාළහ.

මේ ශීලයේ හා ප්‍රඥාවේ ඇති අන්තර් සම්බන්ධය හෙවත් සීලයෙන් ප්‍රඥාව පිරිසුදු වන බව වඩාත් අර්ථවත් කිරීම සඳහා උදාහරණ වශයෙන් බුද්ධඝෝෂ හිමියන් යොදාගෙන ඇති කන්ථසාලා පිරිවෙන් වාසී සට්ඨිවස්ස තෙරුන් වහන්සේගේ කතාව මෙසේ ය. (මෙම සට්ඨිවස්ස තෙරුන් වහන්සේ මරණාසන්න වූයේ මරණ මඤ්චකයේ වැදහොත්තේ බලවත් වේදනාවෙන් කෑ ගසන්නට වූ හ. මේ අතර තෙරුන් බලන්නෙමියි ගොස් පිරිවෙන් දොර සිටි වසභ රජතුමා මේ ශබ්දය අසා එම ශබ්දය කාගේදැයි අසා තෙරුන් වහන්සේගේ යැයි දැන “පැවිද්දෙක් සැටවසකින් වේදනා පරිග්‍රහ මාත්‍රයක්වත් නො කරන ලද්දේයැයි (වේදනා මාත්‍රයක්වත් ඉවසන්නට නො හැක්කේ යැයි) තෙරුන් වහන්සේ පිළිබඳ කළකිරී තෙරුන් වහන්සේ දැන් නො වඳින්නෙමියි” නැවතී මහාබෝධිය වඳින්ට ගියේ ය.

එය දැනගත් තෙරුන් වහන්සේ සමීපයේ සිටි උපස්ථායකයා තෙරුන් වහන්සේ සමීපයට ගොස් මෙසේ කී ය. ස්වාමීනි, අපට ලජ්ජා කරන්නේ ඇයි?” ඔබ වහන්සේ වැඳීමට පැමිණි මහරජතුමා විපිළිසරව ඔබ වහන්සේ නො වැඳ ම ගියේ ය. එවිට තෙරුන් වහන්සේ කුමක් නිසාද ඇවැත්නි, යනුවෙන් ඇසූහ. එවිට උපස්ථායකයා පවසනුයේ ඔබ වහන්සේගේ කෑගසන හඬ අසා ය. මේ ඇසු තෙරුන් වහන්සේ එසේ නම් උපස්ථායකට අවකාශයක් දෙවයි පැවසූ තෙරුන් වහන්සේ වේදනාව මැඩ පවත්වා රහත් බවට පත්ව උපස්ථායකයාට සංඥාවක් කොට ‘ඇවැත්නි, යන්න රජු ලවා මා වන්දවන්න යැයි” කී හ. තෙරුන් වහන්සේ රහත් වූ බව දැනගත් රජතුමා වහා පැමිණ සුංසුමාර පතිතයෙන් (බිම දිගාවී) තෙරුන් වහන්සේ වඳින්නේ “මම ආර්යයන් වහන්සේගේ රහත් බවට නො වඳිමි. පෘථග්ජන භූමියෙහි සිට රක්නා ලද ශීලයම වඳිමියි”යි කී ය. මෙය ශීලයෙන් ප්‍රඥාව සෝදාහැරීමට උදාහරණ වේ යනුවෙන් මෙම කතාව දක්වා ඇත.