Print this Article


ඉවසමි විඳ දරා ගනිමි

ඉවසමි විඳ දරා ගනිමි

පින්වත් දරුවනේ, අප තවදුරටත් ඉවසීම පුරුදු කරන ආකාරය ඉගෙන ගනිමු. ඉවසීමේ ප්‍රතිපදාව, ඉවසීමේ ආනිශංස ගැන දීර්ඝව කතා කළා මතකයි නේද? ජීවිතයට සැනසීමක් ලැබෙන්නට නම් ඉවසන්නම ඕනෑ.

ඉවසීමත් සමඟ ඊළඟට යෙදෙන ගුණ ධර්මය තමයි විඳදරා ගැනීම. එසේ නම් අපේ දරුවන් ඉවසන්න පුරුදු වෙන්නත් ඕනෑ. විඳ දරා ගන්න පුරුදු වෙන්නත් ඕනෑ. තමන්ගේ නිවෙසේ නිතර ඇස ගැටෙන තැනක, ලොකු අකුරෙන් ලියා තැබිය යුතු වටිනා වචන කිහිපයක් මම අද කියා දෙනවා. පාඩම් කරන කාමරයේ, අම්මා, තාත්තා, ගෙදර හැමෝම ආහාර ගන්නා තැන, මුළුතැන්ගෙයි, විසිත්ත කාමරයේ මේ වැකිය ලියා තබන්න ඕනෑ.

“ඉවසමි. විඳදරා ගනිමි”

ඇයි දන්නවාද? අපේ සිත සකසා ගන්නට ඕනෑ උපක්‍රමශීලීවයි. ‘විශාඛා’ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ විශාඛාවට දේශනා කොට වදාළේ සිත මහා පුදුම දෙයක්. සිත සදා ගන්න ඕනෑ උපක්‍රමශීලීව කියලයි.

‘ඉවසමි, විඳ දරා ගනිමි’ යන පාඨය නිතර දැකීම, කියවීම තුළ අපි විඳ දරා ගන්නට හුරු වෙනවා. එය එක් උපක්‍රමයක්. දරුවනේ, මේ රටේ, මේ සමාජයේ, මුළු ලෝකයේ ම අඩුවෙන්ම දැකිය හැකි ගුණ ධර්මයක් වන්නේ ඉවසීමයි. විඳදරා ගැනීමයි. නිවෙසක මව්පියවරු, සහෝදර සහෝදරියන්, ගමේ අසල්වැසියන්, අතර ඇතිවන ගැටුම්, රණ්ඩු දබර වගේම, රට රටවල් අතර යුද්ධ, මනුෂ්‍ය ඝාතන, සොරකම, කය වරදවා හැසිරීම, බොරුකීම, මත්වතුර, මත්ද්‍රව්‍ය භාවිතය ආදියට යොමුවන්නේ ඉවසීමත්, විඳ දරා ගැනීමත් නැති නිසයි. බුදුසරණ පුවත්පත කියවන පින්වත් දූ දරුවෝ, පුංචි කාලයේ සිටම ඉවසීමත්, විඳ දරාගැනීමත් පුරුදු වුණොත් මේ රට, මේ මුළු ලෝකයම ලස්සන වෙනවා.

ලෝක සාමයේ, සමගියේ, සමානාත්මතාවයේ ප්‍රතිමූර්තිය, පරමාදර්ශය බුදුරජාණන් වහන්සේ.උන්වහන්සේගේ කාලයේ වැඩ සිටියා පුණ්ණ නමින් ස්වාමීන් වහන්සේ නමක්. මේ පුණ්ණ හාමුදුරුවෝ ඉවසීමේ අති දක්ෂයෙක්. වස් කාලය කියන්නේ වැස්ස කාලයටනේ. වස් කාලයේ දී ස්වාමීන් වහන්සේලා ගම් නියම්ගම් පාසා වස් වැසීම සඳහා වැඩම කරනවා. බණ භාවනා කරන්නට, බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන දුර පළාත්වලට වඩිනවා. ඉතින් පුණ්ණ හාමුදුරුවෝ, බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන සුනාපරන්ත දේශයට වැඩම කිරීම සඳහා අවසර ගන්නට පැමිණියා.

දරුවනේ, සුනාපරන්ත දේශයේ සිටියේ හරිම දරුණු මිනිස්සු. ඒ අයට වරදක්, අඩුපාඩුවක් පෙන්වා දෙන්නට නොහැකියි. නිතරම රණ්ඩු දබර කර ගන්නවා. මේ අයගේ දරුවෝ අම්මට, තාත්තට කීකරු නෑ. ඒ අය කියන දේ අහන්නේ නෑ. හරිම නපුරු සිතිවිලි තිබුණේ.තාපසවරුන්ට, හාමුදුරුවන්ට කැමැති නෑ. මුළු දඹදිව ම මේ ගැන දැන සිටියා. බුදුරජාණන් වහන්සේත් මේ බව දැන සිටියා. ඉතින් පුණ්ණ හාමුදුරුවන්ට ඕනෑ වුණේ එම දේශයට ම යන්නයි. බණ කියලා, පහදවලා ඒ අය හොඳ මිනිසුන් බවට පත් කරන්නට ඕනෑ කියලා උන්වහන්සේ අදහස් කරගත්තා.

“පුණ්ණ, ඔබ ගත් තීරණය නම් වැරැදියි. ඔය පළාත හරිම දරුණුයි. එහි ජීවත් වෙන්න හැකි වන්නේ ඉතා හොඳින් ඉවසන කෙනෙකුට පමණයි.” බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒත් පුණ්ණ හාමුදුරුවෝ අදහස් වෙනස් කළේ නෑ. නැවත වතාවක් අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “පුණ්ණ, සුනාපරන්ත වැසියෝ හරිම දරුණුයි. ඔබට බැණ වදින්නට පුළුවන්.”

“කමක් නෑ බුදුහාමුදුරුවනේ. මට නරක වචනයෙන් බණ වැදුණේ නෑ කියලා ඉවසන්නම්”

“ඉතින් ඔවුන් ඔබට නරක වචනයෙන් බැණ වැදුණොත්”

“බුදුහාමුදුරුවනේ, මට පහර දුන්නේ නෑ කියලා මම ඉවසනවා.”

“පුණ්ණ ඒ මිනිසුන් ඔබට පහර දෙන්නත් බැරි නැහැ. යම් හෙයකින් ඔවුන් ඔබට පහර දුන්නොත්.”

“බුදුහිමියනි, ඔවුන් මට දඬු මුගුරුවලින් පහර දුන්නේ නෑ කියලා ඉවසනවා.”

“පුණ්ණ, ඔවුන් ඔබට දඬු මුගුරුවලින් පහර දුන්නොත්.”

කඩු කිණිසිවලින්, ආයුධවලින් පහර නොදුන්නා යැයි ඉවසනවා.

“පුණ්ණ, ඔය ප්‍රදේශයේ මිනිසුන් බොහෝ දරුණුබව මම පැවසුවානේ. ආයුධ වලිනුත් පහර දුන්නොත් ඔබ කුමක් කරනවාද?”

“ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ඔවුන් මා ඝාතනය නොකළා යැයි ඉවසනවා.”

“පුණ්ණ ඔය ප්‍රදේශයේ පිරිස් ලෝභයෙන්, ද්වේෂයෙන් අන්ධවයි සිටින්නේ. යම් හෙයකින් ඔවුන් ඔබ ඝාතනය කළේ නම්?”

“බුදුහාමුදුරුවනේ, මේ ජීවිතයේ අපමණ දුක්විඳිනවාට වඩා එසේ ජීවිතය කෙළවර කරන්න ලැබීම හොඳයි කියලා මම ඉවසනවා.”

බලන්න දරුවනේ මේ දෙබස දෙස. පුණ්ණ හාමුදුරුවන්ගේ ඉවසීම මොනතරම් ද?

අපගේ ජීවිතයට පරමාදර්ශ කරගතයුතු චරිත බොහෝ තිබෙනවා. ලෝකයේ අනාගත පරපුර ගොඩ නැගෙන්නට ඕනෑ, ඒ පරමාදර්ශී චරිතවලින්. ඒත් දරුවනේ අද සමාජයේ බොහෝ අය තෝරා ගන්නේ දුර්වල චරිත. කාඩ්බෝඩ්, කාටුන් චරිත හැසිරෙන්නේත් ඒ විදියටමයි. ඒ චරිත, සජීවි නොවන, නිර්මාණය කළ බොරු චරිත කියලා ඒ අය දන්නේ නෑ. අපේ ශාසන ඉතිහාසයේ එන පුණ්ණ හාමුදුරුවන්ගේ වැනි චරිත ආදර්ශයට ගන්නවා නම් දරුවන්ගේ ජීවිත මොන තරම් ලස්සන වේවි ද?

ජයග්‍රහණයේ, දියුණුවේ පදනම ඉවසීමයි. ඉගෙන ගන්නා කාලය දුෂ්කරයි, කටුකයි තමයි. ඒත් දරුවනේ ඉවසීමෙන් ඉගෙන ගත්තේ නම් පමණයි අනාගතය සඵල වෙන්නේ. එය නියතයි. ගුරුවරයෙක් දඬුවම් කරනවා නම්, ඒ දරුවන් සමඟ ඇති තරහකට නොවෙයි. අනාගතය සඵල කරන්නයි. හොඳ මිනිසුන් කරන්නයි. අම්මා, තාත්තා දරුවන්ට දඬුවම් කරන්නේ අනාදරයෙන් නොවෙයි. ආදරය නිසයි. මේ නිසා එවැනි දඬුවම් ඉවසන්නට පුරුදු වෙන්න ඕනෑ.

දරුවනේ, ලෝකයේ යම් විශිෂ්ට පුද්ගලයෙක් බිහි වී තිබෙනවා නම් ඒ ඉවසීම නිසයි. සිරගෙවල් තුළ අනන්ත දුක් විඳින්නේ ඉවසීම නැති නිසා කළ කී දේ නිසයි. ඒ නිසා අම්මා, තාත්තාට, සහෝදර සහෝදරියන්ට ඉවසීමේ අගය ගැන කියා දෙන්නට ඕනෑ.

වයසට යාමත් සමඟ බොහෝ අයට නිතර තරහා යනවා. ඉවසීම අඩුයි. ඉතින් ඉවසීමෙන් තොරව, වෛරී සහගතව ඉන්නා මොහොතක මිය ගියේ නම් යක්ෂයින්, ප්‍රේතයින්, නයි, පොළඟුන් වැනි සර්පයින් වී ඉපදෙනවා. කවුද දරුවනේ සතෙක් වී ඉපදෙන්නට කැමැති. ඒ නිසා ආච්චිට, සීයටත් ඉවසීම ගැන කියා දෙන්න ඕනෑ.

මම මුලින් කී උපදේශය මතකයි නේද? අලුත් අවුරුද්දේ පාසල් යන විට තමන්ගේ පොත්වල පිට කවරයේ ඒ වැකිය ලස්සනට ලියා තබන්න. ‘ඉවසමි, විඳ දරා ගනිමි.’ කියලා. පසුගිය වසරට වඩා එළඹෙන නව වසරේ ඉවසීම දියුණු කර ගන්නට හැකි වේවි.