Print this Article


නන්දක මහරහතන් වහන්සේ

නන්දක මහරහතන් වහන්සේ

නන්දක මහරහතන් වහන්සේ භික්ෂූණීන්ට අවවාද දෙන භික්ෂුන් අතුරෙන් අග්‍ර වූ සේක.එක් අවස්ථාවක නන්දක මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා අසා භික්ෂුහු පන්සියයක් රහත් වුහ.මෙම අගතනතුර ලැබීමට එක් හේතුවක් වුයේ මෙම සිදුවිම ය.නන්දක මහරහතන් වහන්සේ මෙම තනතුර ලබා ගැනීම සඳහා පෙර භවයන්හි අපමණ කුළුණු සිතින් යුතුව පින් දහම් සිදු කර ඇති ආකාරය පෙළ දහම තුළ විවරණය වේ.

කල්ප ලක්ෂයකට පෙර බුද්ධත්වයට පත්වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සමයෙහි හංසවතී නුවර සිටු කුල ගෙයක නන්දක මහරහතන් වහන්සේ සිටු කුමරෙකු ලෙස ඉපදුණේය.වැඩි වියට පත් සිටු කුමරු පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීම ස්වකීය ජිවිතයේ පුරුද්දක් බවට පත් විය.ධර්මය ශ්‍රවණය කරන එක් අවස්ථාවක එක් භික්ෂුන් වහන්සේ නමක් සඳහා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මෙහෙණින්ට අවවාද දෙන භික්ෂුන් වහන්සේලා අතර අගතනතුර ප්‍රදානය කරන ආකාරය ස්වකීය ජිවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් විය.ඒ අනුව මම ද මතු දවසක මෙම තනතුරට පත්වෙන්නෙමි'යි අධිෂ්ඨාන ඇති කරගත්තේය.සත් දවසක් දානාදී නෙකවිධ පින් දහම් සිදුකොට අවසානයේ දී තම ප්‍රාර්ථනාව බුදුරජාණන් වහන්සේට සැලකර සිටියේ ය.පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එය සඵල වන බව දැන කුල පුත්‍රය,මෙයින් අවුරුදු කල්ප ලක්ෂයක් ගිය තැන ලොව පහළ වන ගෞතම නම් බුදුන් වහන්සේගේ ශාසනයේ දී ඔබට මෙම අගතනතුර ලැබෙන්නේ ය යනුවෙන් විවරණ දුන් සේක.

එම කුල පුත්‍රයාණෝ දිවි ඇති තෙක් නොයෙක් කුසල් රැස් කොට එයින් චුතව බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විඳ අප ගෞතම බුදුන් වහන්සේගේ කාලයෙහි සැවැත්නුවර ඉපදුණේය.අනතුරුව දිනපතා බුදුරජාණන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කොට අපමණ පැහැදුණු සිතින් යුතුව පැවිදි විය.අනතුරුව බුදුරජාණන්වහන්සේගෙන් සුදුසු කමටහන් ලබා විදසුන් වඩා නොබෝ දිනකින් සව් කෙළෙසුන් නැසූ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුහ.උන්වහන්සේ පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණින්ද,බොහෝ දෙනාගේ සිත් ඇදගන්නා ආකාරයට ධර්ම දේශනා කිරීමෙහි ද දක්ෂ වූ හෙයින් ධර්ම කථික නන්දක තෙරණුවෝ යන නමින් ප්‍රචලිත වු හ.

බුදුරජාණන්වහන්සේගෙන් බණ අසා පැවිදි වූ පන්සියයක් ශාක්‍ය කුමාරවරුන්ගේ පෙර බිසෝ වරු ද එක්ව මහා ප්‍රජාපති ගෝතමී භික්ෂුණිය ළඟ පැවිදි වූ හ.මේ රජ බිසෝවරු පෙර ඒ ඒ ආත්ම භවයන්හි නන්දක මහරහතන් වහන්සේගේ පාදපරිචාරිකාවෝ වූ හ.එ සමයෙහි බුදුරජාණන් වහන්සේ භික්ෂුණින්ට අවවාද දෙන ලෙස භික්ෂූන්ට නියම කොට වදාළ සේක.එම නියමය අනුව එම කාර්ය නන්දක මහරහතන් වහන්සේ වෙත පැවරුණි. ඒ මෙහෙණින් වහන්සේලා පෙර ආත්ම භවයන්හි තමන්ගේ ම භාර්යාවන් බව දැන යම් හේතුවකින් පෙර විසූ කඳ පිළිවෙල දන්නා රහතන් වහන්සේ නමක් මේ භික්ෂුණින්ට අවවාද දෙන අයුරු බලා නන්දක භික්ෂුව තවමත් තමන්ගේ පෙර භාර්යාවරු පිරිවරාගෙන අවවාද දෙමින් හැසිරෙන්නේයැයි චෝදනා කළ හැකි ය.එම නිසා ඒ සඳහා වෙනත් භික්ෂුන් වහන්සේ නමක් යැවී ය.එහෙත් එකී මෙහෙණින් වහන්සේලා නන්දක මහරහතන් වහන්සේගෙන්ම අවවාද ඇසීමට දැඩිතර කැමැත්තක් දැක්වූහ.මේ බව දැනගත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ වාරය පැමිණි කල වෙනත් භික්ෂුන් වහන්සේ නමක නොයවා තෙමේම ගොස් භික්ෂුණීන්ට අවවාද කරවයි නන්දක තෙරුන්ට අවවාද කළ සේක.

නන්දක මහරහතන් වහන්සේට බුද්ධ වචනය ඉක්මවන්නට නොහැකි හෙයින් තුදුස්වක දිනයෙහි මෙහෙණින් වහන්සේලාට අවවාද දී සෝවාන් ඵලයෙහි පිහිට වූහ.එම මෙහෙණින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් තමන් සෝවාන් ඵලයෙහි පිහිටි බව දැන්වූහ.බුදුරජාණන් වහන්සේ කිනම් දහමක් අසා මෙම භික්ෂුණීන් වහන්සේලා රහත් වන්නේදැයි මෙනෙහි කොට නන්දක තෙරුන් වහන්සේගෙන් බණ අසා රහත් බවට පැමිණෙන බව දැන ඒ භික්ෂුණීන් වහන්සේලා දෙවන දිනයෙහි ද බණ අසනු පිණිස නන්දක මහරහතන් වහන්සේ වෙත යැවූ සේක.එම භික්ෂුණීන් වහන්සේලා දෙවන දිනයෙහිද නන්දක මහරහතන් වහන්සේගෙන් බණ අසා සව් කෙලෙසුන් නසා මහරහත් තෙරණින් වහන්සේලා බවට පත් වූ හ.බුදුරජාණන් වහන්සේ නන්දක මහරහතන් වහන්සේගේ ධර්ම දේශනා ශක්‍යතාවය පෙර දින තුදුස්වක සඳ සේ විය.අද බණ දෙසුම පූර්ණ චන්ද්‍රයා සේ වී යැයි වදාරා ඒ නිමිතිකොටගෙන නන්දක මහරහතන් වහන්සේට සාධුකාර දී භික්ෂුන්ට අවවාද දෙන භික්ෂුන් අතුරෙහි නන්දක මහරහතන් වහන්සේ අග්‍ර වේ යැයි වදාළ සේක.