Print this Article


සිත පිරිසුදු කර ගනිමු

සිත පිරිසුදු කර ගනිමු

අපේ බුදුහාමුදුරුවෝ කොච්චර වටිනවද?. ඒ තරම් පින් ඇති උතුමෙක් වෙනත් කාටද සමකරන්න පුළුවන්. පින්වතුනි පිරිනිවිලා අවුරුදු 2500 ගණනක් ගෙවිලා ගිහිනුත්, මිනිසුන් තවමත් වැඳුම් පිදුම් කරන, තවමත් මිනිසුන්ගේ වැඳුම් පිදුම් ලබන එකම උත්තමයා බුදුරජාණන් වහන්සේ විතරයි. පින්වතුනි,

මේ ලෝකයේ පිරිනිවිලා මෙතරම් කලක් ගිහිනුත් තවමත් මහා මන්දිර වගේ වැඩ ඉන්න බුදුමාලිගා හදලා පූජා කරන්නේ. අහස උසට ප්‍රතිමා හදලා වැඳුම් පිදුම් කරන්නේ වෙනත් කාටද?. මොන තරම් භාග්‍යවන්ත ද? තවමත් ඉඩකඩම් පූජා කරනවා. තවමත් උන්වහන්සේට දානය පූජා කරනවා. ලෙඩට බෙහෙත්, දැහැත්, ගිලන්පස පූජා කරනවා. සිවුරුපිරිකර පූජා කරනවා. මේ ලෝකයේ කිසිම කෙනෙකුට එහෙම පිනක් තියෙනවද? මොකක්ද මේ භාග්‍යය? සිව්පසය ලැබීමේ භාග්‍ය ඇති උන්වහන්සේට තවමත් භික්ෂු භික්ෂුණීන් උපාසක, උපාසිකා සිව්වනක් පිරිස උපස්ථාන කරනවනේ. අනේ මොනතරම් පිනක්ද, මේ බුදු කරුණාව මොන තරම් වටිනවද?.

ස්වාමීනි, බුදුහාමුදුරුවනේ, ඔබ වහන්සේ කීදෙනෙකුට පිහිට වුනාද? නමසිය අනූ නම දෙනෙක් මිනිසුන් ඝාතනය කළ අංගුලිමාල, අංගුලිමාල මහ රහතන් වහන්සේ නමක් කළේ ඔබ වහන්සේගේ බුදුකරුණාවයි. හැමෝම මිනී මරුවා, අපරාධ කාරයා කියලා පන්නා ගනිද්දී ඔබ වහන්සේ විතරයි බුදුහාමුදුරුවනේ අඟුල්මල්ට අනුකම්පා කෙරුවේ. අංගුලිමාලගේ සසරේ පින මතු කෙරුවේ ඔබ වහන්සේ විතරයි බුදුහාමුදුරුවනේ. අදටත් ගැබිණි මව්වරුන්ට අංගුලිමාල පිරිත කොච්චර වටිනවද? ඒ විතරක්ද? එදා ගාථා පාඩම් හිටින්නෙ නැති චුල්ල පන්ථක හාමුදුරුවන්ට, ස්වාමි දියණියගේ වද හිංසා ඉවසන්න බැරි තැන බෙල්ලෙ වැල දාගෙන මියැදෙන්න ගිය රජ්ජුමාලාවන්ට, සුනීත ,සෝපාක ඒ හැමෝටම පිහිට වුණේ ඔබ වහන්සේගේ බුදුකරුණාවෙන්. සිහිය විකල් වූ පටාචාරා හැමෝම එලවා ගත්තා. ඒත් ඔබ වහන්සේ විතරනේ බුදුහාමුදුරුවනේ පටාචාරාවන්ගේ දුකට පිහිට වුණේ, හිතට බෙහෙත් දුන්නේ, ඔබ වහන්සේ විතරයි බුදුහාමුදුරුවනේ. මූසල ගැහැනි, කාලකන්නි ගැහැනි කියලා ගල් මුල් වලින් පහර දීලා පන්න ගත්ත ඇත්තෝ ම නේද පින්වතුනේ විනයධාරි භික්ෂුණීන්ගෙන් අග්‍ර තනතුරට පත් වූ පටාචාරාවන්ට පටාචාරා මහ තෙරණියනේ...අද ඔබ තුමිය වඩිනවද අපේ ගෙදරට, ඔබතුමිය මොන තරම් ප්‍රභාස්වර ද? අපේ ගෙදරට දනට වඩින්න කියලා ඉල්ලා සිටියේ. පටාචාරාවන් ප්‍රභාස්වර කෙරුවේ බුදුකරුණාව නේද? පටාචාරාවන්ට අලුත් මුහුණක් ලැබුණායැ. නැහැ පින්වතුනේ සිත නේද සුවපත් කළේ. අනේ බුදු ගුණ කියලා නිම කරන්න පුළුවන් ද?. අපි බුදුහාමුදුරුවන් ළඟට ළං වෙමු. කවුරු අහක බැලුවත් බුදුහාමුදුරුවෝ අපිට අහක බලන්නෙ නැහැනේ. අපේ දුකට පිහිට වෙනවා පිහිට වෙනව මයි, බුදුහාමුදුරුවන්ට දුගී පැල්පතත්, මහ රජ මැදුරත් දෙකක් නෙමෙයි එකක්. දුගී පැලටත් වඩිනවා.රජ මැදුරටත් වඩිනවා. බුදුහදවතේ තියෙන කරුණාව කියලා නිම කරන්න පුළුවන් ද?. වීතරාගී සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුන්ගේ හදවතේ වැඩ ඉන්නවනම් කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැනේ. පින්වතුන්ට වරද්දන්න කාටවත් බැහැ. අපි බුදු ගුණ සුවඳට ළං වෙමු.

පින්වතුනේ, වැහි පොද ඇඟට වැටෙන කොට ඔබ බය වුණානේ. ඔබ හුඟාක් කලබල වුණා. ඒත් දෙයියනේ වැහිපොද ටික ඇඟට වැටුණම ඒවා පිස දමන්න පුළුවන්...කාටද කියන්න පුළුවන් සංසාරේ අපි මොන තරම් තෙමිලා ඇති ද කියලා. මේ භවයේ අපි මෙහෙම හිටියට සසරේ විඳි දුක් කවුද දන්නේ. අපි දන්නවද? අපි මොන මොන ආත්මවල ඉපදිලා ඇතිද කියලා. පේ‍්‍රත ආත්ම, යක්ෂ තිිරිසන් භවවල ඉපදී ඉපදී දුක් විඳ විඳ ආවද කියලා කියන්න කවුද දන්නේ. සතර අපා දුකේ වැටිලා හිටිය ද කියලා අපි දන්නේ නැහැනේ. ඇයි පින්වතුනේ පුංචි වැස්සකට ඔය තරම් ඔබ කලබල වුණේ. ඕනෑනම් සෙම්ප්‍රතිශ්‍යාව හැදෙයි. වැඩිම වුණොත් දවස් තුනක් උණ හැදෙයි. ඒක හැමදාම පවතිනව ද? ඒත් දෙයියනේ වැහි පොදක් ඇඟට වැටුණම, මඩ ටිකක් ඇඟේ තැවරුනහම කලබල වෙන අපි ඇයි සිත්වල තැවරුන මඩ ටික සෝදාගන්න මහන්සි වෙන්නේ නැත්තේ. ඇඟේ තැවරුනු මඩ ටික සෝදා ගන්න පුළුවන් නේද? ඒ මඩ ටික සෝදාගන්න මහන්සි වෙන අපි ඇයි පින්වතුනේ හිත්වල තව .තවත් මඩ තවරාගන්නේ. ඔබ මෙතරම් දුර ආවේ හිතට යමක් ඉල්ල ගන්න මිසක් අතට යමක් අරගෙන යන්න නෙමෙයිනේ.

වැහිපොද වැටිලා බිම මඩ වීලා
සිත මඩවී නැහැ පියාණනී
සසරේ තෙමෙන්නැති රාගිනි වැස්සට
නැවත තෙමෙන් නැහැ පියාණනී
සසර අඬපු හැටි වැහි බිඳු පරදී
සසර දිගයි බුදු පියාණනී
දුක් විඳ ආවෙමි බුදු හිමි සෙවනට
සුව දුන මැන බුදු පියාණනී...