Print this Article


දුකෙහි දී පිහිට වී දනන් සිත සුව සදන මහා යතිවර ලකුණ

දුකෙහි දී පිහිට වී දනන් සිත සුව සදන මහා යතිවර ලකුණ

තමන් සතු යමක් තවත් කෙනෙකුට පිරිනැමීම හෙවත් දීම ලෙහෙසි පහසු නොවේ. ඊට ප්‍රධාන හේතුව නම් ලෝභය නම් වූ අකුසල මූලය සිත තුළ මුල් බැසගෙන ඇති හෙයිනි. එහෙත් එය තදංග වශයෙන් හෝ යටපත් කර ගත්තේ නම්, කරුණා පෙරදැරිව පරිත්‍යාග කිරීමේ කුසල චේතනාව හදවත තුළ පහළ වේ.

අනුන්ගේ දුකට පිහිට වී ඔවුන් සුවපත් කිරීම උදාර පින්කමකි. එසේ මහඟු පින්කම්හි නිරත වන ආදර්ශය බෞද්ධයන් ලෙස අප වෙත උරුම වූයේ අසිරිමත් සම්බුදු සිරිතේ හා සම්බුදු දහමේ ආශිර්වාදයෙනි.


මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි

ඒ සම්බුදු මග අනුව යන ලෝකවාසී බෞද්ධයන් අතර, අපේ රටේ ගිහි පැවිදි උභය සමාජයම පරිත්‍යාග කිරීමෙහි ගුණයෙහි පිහිටා කටයුතු කරන බව ඉතා ප්‍රකටය.මේ අතර සම්බුදු සසුන ශෝභාවත් කරමින් පූජනීය සම්භාවනීය මහ සඟරුවන ශාසනික, ආගමික සුවිසල් මෙහෙවරක නිරතුරුව යෙදී සිටින අතර සමාජ ශුභ සාධනය කෙරෙහි ද අප්‍රමාණව වෙහෙස මහන්සි වී ක්‍රියා කරති.

ආර්ථික වශයෙන් විවිධ අපහසුතා ඇති අය වෙත පිහිට වී ඔවුන්ගේ දිවිමග සවිමත් කර ගැනීමට දිරිදීම වෙසෙසින්ම පැසසිය යුතු ආදර්ශවත් ක්‍රියාවකි.

කෙනෙක් ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්වුව ද ඉගෙනීම හෙවත් අධ්‍යාපනය අඛණ්ඩව ලැබීම තුළින් සමාජයේ උසස් යැයි සම්මත කවර තරාතිරමක වුව ද සමාජ තත්ත්වයකට පත්වීමට එය මහඟු අත්වැලක් සපයනු ඇත. දිවිමග එළිය කර ගැනීමට නිරන්තරයෙන් මග කියනුයේ නිසි අධ්‍යාපනය ලැබීමයි.

අධ්‍යාපනය ලබන දරුවකුට ඊට කෙතරම් කැමැත්ත, හැකියාව, දක්ෂතාවය පැවතිය ද, ඇතැම් විට කෙනෙකුට ආර්ථික අපහසුතා පැන නැගීමෙන් අධ්‍යාපනය ලැබීම පවා අතරමග නතරවීමට ඉඩ ඇත.

එහි යථාර්ථය මැනවින් අවබෝධ කරගත් සම්භාවනීය පූජනීය මහ සඟරුවන එබඳු දරුවන්ගේ සිතුම් පැතුම් බොඳ වී යාමට ඇති ඉඩකඩ දෙස කාරුණිකව සිතා බලා පින්සාර සිතින් ශක්ති පමණින් ඊට පිහිටවන අවස්ථා අපට අසන්නට හා දකින්නට ලැබෙන වාර බොහෝ ය.

මේ අතර ප්‍රංශයේ ජේතවනාරාමාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ විසින් අඩු ආදායම්ලාභී පවුල්වල වෛද්‍ය සිසු දරුවන් වෙත මාසිකව ශිෂ්‍යාධාර ලබාදීමේ සද්ක්‍රියාවක් 1990 දී පමණ ආරම්භ කරන ලදී.

පාසල් අධ්‍යාපනය ලබන සමය තුළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වන දරුවන් අතරින් සියලු විෂයයන් සඳහා විශිෂ්ට සාමාර්ථ ලබන දරුවන් ද වේ. ඒ අතරෙන් දක්ෂ සිසු දරු දැරියන් විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරති. කවර තරග විභාගයකදී වුවද ඒ සඳහා ඉදිරිපත් වන සියලු සිසු දරුවන් සමත් නොවෙති. තරගයක ස්වභාවය ද එය ම වේ. එහෙත් දක්ෂයන් අතරෙන් අති දක්ෂයන් උසස් අධ්‍යාපනය ලැබීමට සුදුස්සෝ වෙති. ඒ සඳහා එම සිසු දරුවන්ගේ උනන්දුව, උත්සාහය, නොසැලෙන අදිටන ආදී සියල්ල බලපානු ලැබේ. ඒ සියල්ලෙන් ජයගෙන විද්‍යා අංශයෙන් සරසවි වරම් ලැබීම ද ඉතා දුෂ්කර අවස්ථාවකි. ඉන් ජය ගන්නා දරුවන්ගේ ආර්ථික අපහසුතා වෙතොත් ඊට අතහිත දීම යුතුකම සහ වගකීම ද වේ.


කුඩාබැදිගම ශ්‍රී සුදස්සනානන්ද විහාරයේදී ඤාණිස්සර නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා අක්ෂි වෛද්‍ය සායනයක් පැවැති අතර එහිදී ඇස් කණ්ණාඩි නොමිලයේ පරිත්‍යාග කිරීමද සිදු කෙරිණි.

විවිධ ප්‍රදේශවලින් වෛද්‍ය විද්‍යාල වෙත ඇතුළත්ව අධ්‍යාපනය ලබන, මූල්‍ය දුෂ්කරතා ඇති සිසු දරුවන් විසින් කරනු ලබන ඉල්ලීම් සලකා බලා ඒ අතුරින් 27 දෙනෙකු 2019 වසර සඳහා මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනම නවක ශිෂ්‍යාධාර ලාභීන් ලෙස තෝරා ගැනිණි. එම සිසු පිරිස ද සමඟ ලබන වසර සඳහා 150 කට අධික ලෙස සිසු දරුවන් සඳහා මසකට රුපියල් 3000 බැගින් ශිෂ්‍යාධාර ලබා දෙනු ඇත. මේ වන විට නාහිමියන් අතින් ශිෂ්‍යාධාර ලද වෛද්‍ය සිසුන් සංඛ්‍යාව පන්සියයකට අධික ය.

ඊට අමතරව පහ වසර ශිෂ්‍යත්වය සමත් ආර්ථික අපහසුතා ඇති දරුවන් දොළොස් දෙනෙකු වෙතද රට වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරු පවුල්වල සිසු දරුවන් නව දෙනකු සහ ආර්ථික දුෂ්කරතා ඇති පාසල් සිසු දරුවන් තිස් දෙනෙකු සඳහා මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනම මගින් මාසිකව ශිෂ්‍යාධාර පිරිනැමේ. අදාළ මූලික ශිෂ්‍යාධාර ප්‍රදානය මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (2) කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරයේ දී පැවැත්විණි.

මිද්දෙණිය, තලාව, මුරුංගාගස්යාය, කුඩගල්ආර,ආදි ගම්වල තෝරාගත් වියපත් හැටදෙනකු සඳහා මාසිකව ආධාර පිරිනැමීමද මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි පදනම මෙහෙයවීමෙන් සිදු කෙරේ.

මිද්දෙණිය ග්‍රාමීය රෝහල වෙත වාට්ටු සංකීර්ණයක් ද ඉදිකරවා පරිත්‍යාග කළ මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියෝ ආර්ථික අපහසුතා ඇති පවුල් රැසක් සඳහා නිවාස ඉදිකර ගැනීමට දායකත්වය පිරිනමා තිබේ. මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමේ වත්මන් ලේකම් ධුරය කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරවාසි ශාස්ත්‍රපති කිරින්දේ පේමසිරි හිමියන් විසින් හොබවනු ලැබේ.

නිහඩ සාමාජික මෙහෙවරක නිරත මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ එම සද්මෙහෙවර රට දැය සසුනට ආලෝකයක් ම වේවා.